අද
හවස හතරට විතර ඇති ඒ වෙනකොට. වහලා තිබුණු බැංකුවේ වීදුරු දොර ගාව මං හිටගෙන හිටියේ
කැඳවීමක් ලැබෙනකම්. මට පිටිපස්සේ හිටපු යුවතියක් ඊට පිටිපස්සෙන් තිබුණු පොඩි බිත්තියෙන්
පාරට මුවා වෙලා කොණ්ඩය දිග ඇරලා ආයෙත් කොණ්ඩ කටුව ගහනවා යාන්තමින් වගේ දැක්කා. මං
ඒ දිහා බැලුවා. එහෙමත් නැත්නම් ඉබේටම බැලුණා. ඒ ඇස් මගේ ඇස් තත්පරයකටත් අඩු කාලයක්
ඇතුලෙදි හම්බ උණා. මං ආපහු හැරිලා ඈ දෙස බැලුවේ ඈව හඳුනාගෙන. කවුරු පිළිගත්තත්
නැතත් ඒ කාලය තුල මං දැක්කේ එයාගෙ ඇස් දෙක විතරයි.
මං
ආපහු හැරෙනකොට එයාගෙ කටත් ඇරිලා.
“අකම්
ඔයා.........”
“__රිකා
ඔයා......”
අපි
දෙන්නටම එක පාරටම කියවුණා.
ඇත්තටම
අපි කතා කලේ වීදුරු දොරකින් චායාව දැකලා.
අනික තත්ත්පරයකටත් අඩු කාලයකදී දැකපු චායාවකින්. ඇත්තටම ජීවිතේ කියන්නේ මහා පුදුම
දෙයක්. අපි මේ පිරෙව්වේ අවුරුදු දහතුනක් තිස්සෙ පාළුවෙලා තිබුණු මිතුදමක මතකයක්.
ඔව්.... අවුරුදු දහතුනක්.......
කිලෝමීටර්
සියගානක් බයිසිකලේ රෝද කරකවන එක අපේ වෘත්තියේ අනිවාර්ය අංගයක්. අද මං ගියේ මං
කාලයක් ජීවිතේ අතරමං වෙලා ඉද්දි සිප් සතර හදාරන්න ගිය පාසලක් පැත්තේ. ඒ එනගමන් පාසලට හැරෙන හන්දියේ වෙලා තියෙන වෙනස්
කම් බලාගෙන එදා හිටපු යහළු යෙහෙළියෝ ගැන, ඒ කාලේ කරපුවා, දැන් හම්බ උනොත් කතා කරන
දේවල් ගැන හිත හිතා ආවෙ.
අපි
ඉස්කෝලෙදි කොල්ලෝ තුනයි කෙල්ලෝ තුනයි සෙට් වෙලා හිටියේ. ඕක තමයි අපේ ගැන්සිය. (සෙට්
වෙලා කිව්වේ ලව් එහම නෙවෙයි. හරිය..... හැබැයි ඔතනින් නිලූයි මායි අතරේ මුවින් පිට
නොවුණු මිත්‍රත්වයෙන් එහා ගිය දෙයක් තිබුණු බවනම් කියන්න ඕනි.)
වෙනදනම් ඉස්කෝලේ
ගාවින් එනකොට මුලින්ම මතක් වෙන්නේ නිලූව. ඊළඟට සුළු වශයෙන් තමයි අනික් උන්ව. එත්
අද මට මෙකිවමයි වැඩි හරියක් මතක් උණේ. කතරගම ගිහින් ඇවිත් මගේ අතේ බැඳපු රතු පාට
නූල... ඒ දඟකාර ඇස් දෙක.....
![]() |
තාමත් මගේ ඔටෝග්‍රාෆ් එකේ පරිස්සම් වෙලා තියෙන රතු පාට නූල |
මොනවා උනත්
ටවුන්
එකේදී මෙහෙම අහම්බෙන් මේකි හම්බවෙයි කියලා
හිතුනේම නෑ. මේකිනම් ඒ වගේමයි. ඒ දඟකාර ඇස් දෙක.... මගදිගට එනගමන් හිත
හිතා ආපු එකක්වත් කටේ අහලකවත් නෑ. යාන්තම් වචන දෙක තුනක් හුවමාරු කර ගත්තා. ඒ අස්සේ ඒ.ටී.එම් එක අස්සේ ඉඳන් හැන්ඩ්සම්
කොල්ලෙක් ආවා. කෙල්ලගේ මහත්තයා. පොරත් එක්ක කතා කරන්නනම් උණේ නෑ. ඒත් සුහද ශීලී
හිනාව නම් මගේ හිත පිරෙව්වේ ලොකු සන්තෝෂයකුත් එක්කයි.
අන්තිමේදී
මාත් මෙලෝ දෙයක් හිතන්නැතුව හරකා වගේ කොල්ලා ඉස්සරහම මේකිගෙන් නම්බර් එක ඉල්ලුවා. මූණේ
තිබුණු හිනාව පොඩ්ඩක් විතර අඩු උන වගනම් මට දැනුණා.
කෙල්ලේ,
ඔයා
මොන වගේ තත්ත්වයක ඉන්නවද කියලා මං දන්නෑ. සමහර විට සැකයකට භාජනය වෙලා. තමන්ගේ
ගෑණිව සැක කරන උන් ඕන තරම් ඉන්නවා. සමහර විට කොල්ලා වැරදි ඇති. සමහර විට ඔයා වැරදි
ඇති. අවුරුදු දහතුනක් කියන්නේ මිනිහෙක් පුදුම විදියට වෙනස් කරන්න පුළුවන්
කාලයක්නේ. සමහර විට
මනස්ගාත ඔලුවේ පුරෝගෙන තත්පර ගානක සිද්ධියකට අර්ථ කථන දෙන්න යන මං වැරදි ඇති.
හෙට උදේම කතා කරලා බලන්න ඕනි අපේ සෙට් එක ගැන තොරතුරු එහෙම.
එතකන්,
උඹලා
දෙන්නට ජයෙන් ජය!
ප.ලි.
මගේ ඔටෝග්‍රාෆ් එකේ සටහන් කරපු උඹේ සටහන මට හොයාගන්න බැරි උණා. සමහර විට මං උඹව හොයන්නේ වැරදි නමකින්ද දන්නෑ. නම වරදුනානම් සමා වෙයන්.