Sunday, July 28, 2013

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....


 සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ......

වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ...

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....

නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....




              ඒ 1997 අවුරුද්ද විතර වෙන්න ඇති. ඔය කාලේ තමයි මේ ගීතයත් එක්ක තව ගීත පහක් විතර ඇතුලත් TDK නයින්ටියක්  (TDK 90) හම්බ උණේ. TDK 90 කියන්නේ කැසට් එකක්. අපේ භාෂාවෙන් කියනවනම් කැසට් පීස් එකක්.  TDK කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන විනාඩි අනූවක් රෙකොර්ඩ් කරන්න පුළුවන් පීස් එකක්.  අයියනම් කිව්වේ මේක ඉන්දික ප්‍රසාද්ගෙන් හම්බ උණා කියලා. මටනම් හිතෙන්නේ එහෙම උණත් ඒ ආශ්‍රය දවසකට දෙහෙකට වැඩිය තියෙන්න නැතුව ඇති. නැත්නම් ඉතිං මගේ කන් දෙක මේ තරම් හොඳට ඇහේවියැ. කොහොම උණත් ඔය පීස් එක දාගෙන අපි ඉන්නේ ටිකක් උජාරුවෙන්. මොකද අනික් අය ගාව නැති ඇල්බම් එකක් අපි සතු වෙනවා කියන්නේ ගෙදරට ඉල්ලන් එන අය වැඩිවෙනවා කියන එකනේ. අනික ඔය කාලේ මාත් අයියගේ නැට්ටේ එල්ලිලා කීබෝඩ් පන්ති යන දවස්. ඉතිං කීබෝඩ් එකක් යාන්තම් ටාං ටාං ගාලා කොටාගන්න පුළුවන් කියන්නෙත් ඒ කාලේ හැටියට ලොකු දෙයක්නේ.



               ඔය කාලේ තමයි අකමා ට්‍රැක් එකෙන් පිට පැන්නේ. ඉස්කෝලේ එපා වුණේ. ඒ වගේම ගෙදරත්. ජීවිතයත්. මැරෙන්න ක්‍රම හොය හොයා හිටපු කාලයක් ඒක. මැරෙන එක, එක පාර මැරෙන්නත් එපායැ. ඉතිං එකක් බැරිනම් එකක් විදියට බැකප් ප්ලෑන්ස් කීපයක්ම තිබුණා.


             
ගහක ටිකක් උස අත්තක් යට පිහි ටිකක් උඩ අතට වෙන්න හිටෝලා ඒ ටික වැහෙන්න ගිනි ගොඩක් ගහලා ගහේ අත්ත උඩට ගිහින් වහ බෝතලයක් බීලා අරකට පනින එක. එහෙමත් නැත්නම් අපේ ගඟේ මැද තිබුණු ලොකු ගල උඩට නගිනවා අමාරුවෙන් උස්ස ගන්න පුළුවන් ගල් දෙකක් අරගෙන. එකක් කකුල් දෙකේ ගැට ගහ ගන්නවා. අනික බෙල්ලේ එල්ල ගන්නවා. ඊළඟට පිහියෙන් බඩට ඇනගෙන ඇනගෙන ගිහින් වතුරට වැටෙනවා. මිනියත් නෑ. :D



        තවත් ඔය වගේ සිම්පල් ප්ලෑන් කීපයක් තිබුණා. වැදගත්ම දේ තමයි ඔච්චර ප්ලෑන් ගහපු එකාගේ වයස 12යි. ඕක ක්‍රියාත්මක කරන්න බැරි උනේ වෙන මුකුත් හින්දා නිසා නෙවෙයි. අවුරුද්දේ මාස දොළහම එක එකා බෙදාගෙන හිටපු නිසයි. මැරෙන්න හදනකොට ඔන්න නංගිගේ බර්ත් ඩේ එක. ඔය අස්සේ මැරුණොත් ආයේ එයාගේ බර්ත්ඩේ වලට පාටි දාන්න වෙන්නෑනේ. දාන පාටි මිසක්. ඊළඟ මාසේ අයියා. මාර්තුවේදී හිතෙනවා අවුරුද්දත් කාලම මැරෙනවා කියලා. අප්‍රේල්නම් කොහොමත් බෑ. ඊළඟට අම්මගේ බර්ත් ඩේ එක...... ඔන්න ඔහොමයි මගේ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියේ.



          ඔන්න ඔය අතරේ දෙසැම්බරයේ දවස් තුනක ට්‍රිප් එකක් ගියා. අපේ බස් එකේ හිටියා ඒලෙවෙල් කරන අක්කා කෙනෙක්. දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට අපි දෙන්නා ෆිට්. දැන්නම් එයා අම්මා කෙනෙක්. අනික මෙලෝ රහක් නෑ. ඒත් ඒ දවස්වල මං එයාව දැක්කේ අමුතුම කෝනෙකින්. හප්පේ.. එයා තරම් ලස්සන කෙල්ලෙක් මීට කලින් මං දැකලම නෑ. දඟකාරකමත් ඒ වගේමයි. දැන් ඒලෙවෙල් කෙල්ලෝ ඇටිකිච්චියෝ වගේ පෙනුණට එදා කෙට්ටුම කෙට්ටු ඒ අක්කා දිහා බැලුවෙත් පතාක යෝධියෙක් දිහා බලන්නැහේ උඩ බලාගෙන. ඔය කාලේ අතේ බඳින බෑන්ඩ් හදන පිස්සුවක් තිබුණා නූල් කැරලි වලින් එකේක නම් මතුවෙන විදියට හදාගෙන. ඔය වැඩේ හැමෝටම කරලා දුන්නත් මං වෙනුවෙන් එකක් හදා ගත්තේ එයාගේ නම දාලා හාර්ට් දෙකකුත් දෙපැත්තෙන් එන විදියට හයි රෙසලුෂන් විදියට. ඒ කිව්වේ පික්සල් ගැන වැඩි කරලා බුදු කට්ටක් කාගෙන. ඕක කරන්නත් ඕනි ගෙදරට හොරෙන් නෙව. පස්සේ බලද්දී ඒකිගේ නම මං කොටපු නමේ රයිමින් එකට යන වෙනත් එකක්. හයියෝ සංසාරේ.......



ඕක තමයි මගේ ෆස්ට් ලව් එක. ගෑණියෙක්ගේ අහවල් එක මොන පාටද කියලවත් දන්නැතුව නුහුරු කඳුළු හෙළුවේ ඒකි වෙනුවෙන්.

  


             ඊළඟට ඔහොම කැරකිලා ගිහින් වැටුනේ වියලි කලාපයේ දුෂ්කර පළාතක ඉස්කෝලෙකට.අපේ පුංචි අම්මා උගන්නන ඉස්කෝලෙට. එයා හරියට කාලගුණේ වගේ. හරි හොඳයි. හොඳට සලකනවා. කන්න බොන්න දෙනවා. ඒත් හිටපු ගමන්........ කුඩම්මා කියන්නේ ඒකටද මංදා.....





    අලුත් පන්තියේ තුන් වෙනි පේලියේ දකුණු පැත්තේ කෙරෝලේ පුටුවක් මං වෙනුවෙන් වෙන් උණා. එතනින් පොඩි ස්පේස් එකක්. ඊළඟට කෙල්ලෝ. දුඹුරු පාට දිලිසෙන ඇස් දෙකක් තියෙන කෙල්ලෙක් මට දකුණු පැත්තේ. ඒකිගේ පොතක් බිමට වැටුණා දිග ඇරලා තිබුණු විදියටම. මාත් වැඩිය හිතන්නැතුව එක අර ගත්තා. එතකොට දැක්කේ ඇතුල් පිටු දෙකේ දූවිලි. ඒකත් අතින් පිහ දාන ගමන් මං පොත දුන්නා. ඒක එතැනින්ම ඉවරයි. ඒත් මාස දෙක තුනකට පස්සේ මෙන්න අපි දෙන්නගේ නම් අල්ලලා.. හයියෝ කියන්නත් ලැජ්ජයි වගේ.



          ඒ කාලේ අපි පුදුම සැහැල්ලුවකින් ජීවත් උණේ. මාත් එක්ක උජියා, සුමියා හොඳටම ෆිට් උණා. නිලූ, මධූ, ස්නේහා ත් එහෙමයි. ඕ ලෙවෙල් අවුට් වෙනකන්ම අපි හය දෙනාගේ ගැන්සිය අවුරුදු තුනක් විතර එහෙම්මම තිබුණා. 



             පන්ති භාර සර්රුත්, ඒ හින්දා එයා උගන්නන ගණිතය විෂයත්, ඒ හින්දා ඉස්කෝලෙත් එපා වෙච්චි මට අලුත් ඉස්කෝලෙට ඇවිත් හිටපු තරුණ ගුරුතුමියගේ පිහිටෙන් ආසම විෂය බවට ගණිතය පත් කර ගන්න පුළුවන් උණා. ඊළඟ පුදුමේ තමයි වාසගම ඇරෙන්න මගේ නමේ පාට් වන්, පාට් ටූ දෙකේම ස්ත්‍රීලිංග පදේ තමයි ඒ මිස්ට තිබුණේ. 



              ඕලෙවෙල් වෙනකන් මුළු පන්තියම යාළුවෝ. අපි හය දෙනා අඹ යාළුවෝ. අපි කොල්ලෝ තුන්දෙනාට ඔය අස්සේ තමයි පියාපත් හම්බ උණේ. ශිෂ්‍ය නායක පදවි. එකොළහ වසරට පා නගන කොට උජියට ලව් මාන්දම. අට වසරේ කෙල්ලෙක් පස්සේ ගියා. අපි ඔක්කොම බොක්කෙන් සපෝර්ට්. කට කතා ඇත්තක් වෙමින් නිලූයි මායි අතරේ සම්බන්දෙ තවත් වැඩි උණා. ඒත් කටින් පිට උණේ නෑ. ගොළු ආදරයක්. (හා හා බනින්න එපා. මං කොහොමත් ගොනෙක් තමයි) ඒ කාලේ කරපුවා කියපුවා මෙහෙම සාරාංශ කරලා ලියන්නත් අමාරුයි. ඉස්කෝලේ හවස පන්ති වලට නැවතිලා කරපුවා, ළඟ පන්සලේ පෙරහැරවල් සංවිධානය කරපු හැටි, පන්ති කට් කරලා ෆිල්ම් බලපු හැටි, කෙල්ලොත් එක්ක කැලේට යටවුණු ගුරු නිවාස අස්සේ කරපුවා........ හැබැයි එක දෙයක්. ඉස්සර ගොන් වැඩ අත ඇරලා ඉගෙන ගන්න එකට මුල් තැනක් දුන්න ඒ දවස්වල. 



             ඉස්කෝලේ ඇරිලා ගිනි කාෂ්ටක අව්වේ ප්‍රධාන පාරට කිලෝමීටර් එක හමාරක් විතර තියෙන දුර එන්නේ නිලූයි මායි එක කුඩේ යටින්. පුංචි වැවක් පහු කරන් එන්න තියෙන දුර අපි ආවේ මීටර් සීයක්වත් දුර නැති ගමනක් විදියට. ඔය විදියට ගිහින් ඕලෙවලුත් කළා. මං මාසයක් විතර ඒ ගෙදර ඉඳලා අපේ ගෙදර ආවා. ආයේ ගියෙ රිසාල්ට් බලන්න. ඒ වෙනකොට නොහිතපු දෙයක් සිද්ධ වෙලා තිබුණා. නිලූ ජීවිතය වරද්දගෙන. ඒ කිව්වේ කොල්ලෙක් එක්ක පැනලා ගිහිං. එහෙම සම්බන්ධයක් ඔච්චර යාළුවෝ වෙලා අපිවත් දැනන් හිටියේ නෑ. සමහරවිට මාස දෙක තුනක ලව් එකක් වෙන්න ඇති. හැබැයි නිලූට ගෙදරින් ඉස්සර ඉඳන්ම වැඩි සැලකිල්ලක් නෑ කියන එකනම් අපිටත් තේරිලා තිබුණේ. සමහරවිට ඒක වෙන්නත් ඇති ගෙදරින් යන්නත් හේතුව. 



          දැන් බලනකොට අපි දෙන්නා අතර යාළුකමකට වඩා දුර සම්බන්දෙකට අවශ්‍ය ගැලපීම් වගේම නොගැලපීමුත් තියෙනවා කියලා හිතුනට හිමි උන ආදරේට වඩා අහිමි උන ආදරේ තාමත් හිත පාරවනවා. වෙලාවකට හිතෙනවා කවදාහරි දවසක එයා මං ගාවට ආවොත් කියලත්.



හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....
නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....



      තවත් වෙලාවකට හිතෙනවා කොච්චර බහුසෘත කියෙව්වත් මාත් මේ සමාජයේම එක පුද්ගලයෙක් විතරක් නේද කියලත්.

Wednesday, July 3, 2013

මී අඹ වනයේ ගී හඬ පතුරා..... (කොල්ලන්ට විශේෂයි)


"මී අඹ වනයේ ගී හඬ පතුරා
                කාවද අමතන්නේ......"


              එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬ ගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මත තාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. 

                   කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලට යටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප් රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත, රේඩියෝ චැනලයෙන් කැසට් පීසයටද පසුව පරිගණකය හරහාද රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවම කරමිනි.

                මෙකල ගීතයේ කොටසින් කොටස පටිගත කලද හරියාකාරව ගායනා කර ගැනීමට නොහැකි ගායකයින් සිටිද්දී කිසිම පෙරහුරුවකින් තොරව පළමු වතාවෙන්ම නව ගීතයක් පටිගත කිරීම සඳහා හඬ දායකත්වය ලබා දුන් ගායකයාගේ පුරාජේරුව පවසන තාත්තාගේ හඬ ඒ කනින් ඇතුල්ව මේ කනින් පිටව ගියේ ඔළු ගෙඩියේ ඇති පුස්ස මොනවට පෙන්වමින්.

ගී හඬ නැවතත් පැතිරෙයි....

"මී අඹ වනයේ ගී හඬ පතුරා
             කාවද අමතන්නේ......"

           දෑස පියා ගතිමි... සිහි වනුයේ ඒ රුවයි. නැවතත්.. නැවත නැවතත් ගී හඬ දෝංකාර දෙයි. සිහි වනුයේ ඇයගේ හඬයි.

"මී අඹ වනයේ ගී හඬ පතුරා
            කාවද අමතන්නේ......"

       දෙසවන පිරී යන්නේ ගී හඬින්ද ඇගේ හඬින්ද යන්න කිසි විටෙකත් නොහැඟෙයි. පියා ගත් දෑසින් යුතු වත කමලෙහි මද සිනාවක් පිරී යන්නේ ආඩම්බරයෙනි.

"ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
                   ඔය හැටි හිනැහෙන්නේ..."

        ලෝකයම පරදා ඇය උරුම කරගත් ආඩම්බරය..... ඒ හා පල නොකෙරෙන තරවටුව...

"මිහි බට දෙවඟන ඇවිදින තාලෙට
                 ඔහොමද ඇවිදින්නේ...."

      කවුරුවත් දකීදෝ’යි නැගෙන නෝක්කාඩු සිත යටින් මගේ කර ගත් ඇගේ ලාලිත්‍යය, ආඩම්බරයෙන් කාට හෝ පෙන්වීමේ උවමනාව...

"ලා නිල් පාටට දිලිසෙන හින්දද
                 ඇස් දෙක නලවන්නේ...."

            ලොවක් දිනූ පෙම්වතෙකුගේ හඬින් මිමිණෙන පද වැල.....

         එදා නොරිස්සූ හඬ සමඟ මෙකල දැහැන් ගතවූ අපූරුව...... පලා ගිය නිදි දෙව් දුව වෙනුවට තුරුලට පැමිණි ඇය.... 


Monday, July 1, 2013

මනුසත්කම......

හැඳින්නෙමි මිනිස්කම

නසනු නැතිනම් නැසෙනු

බැරි විනිය නසන්නට

දැන් ඉතින්......