Tuesday, November 27, 2012

පියසේන මාමා.... පාර්ට් ටූ..(තවත් ඇම්ඩෙක්)

       මාර්ගයේ ඉහල ඉඳන් ආපු කැබ් එක පාර අයිනේ හද හදා තිබුණු පෙට්ටි කඩය ගාව නැවැත්තුවා. නෝනා කෙනෙක් බැහැලා එතනට ආවා.


     මොකක්ද බොල මේ අපබ්‍රන්සේ....බොලාලා එහෙම හිතනවද? හා හා කලබොල වෙන්න එපා මේ තමයි පියසේන මාමගේ කතා අංක දෙක. අර මන් එදා දෙන්නම් කිව්වේ. දැන් ඉතින් කතා අංක එක බලල නැති අය ඉන්නවනම් ගිහින් බලල එන්න.

      මේ සිද්ධිය වෙලා තියෙන්නේ කලින් සිද්ධියට පහුවදා හරි කලින් දවසේ හරි. ඕකේ දවස හොයා හොයා ඉන්න එකේ කතාව කියෝමුකෝ. කොහොමත් මේක සිද්ධ වෙලා තියෙන්නේ කඩේ හදද්දීමයි. 

      දැන් අර බවලත් තැනැත්තිය ආවට පියසේන මාමටනම් වගක්වත් නෑ. මොකද එක එක එන්.ජී.ඕ. වලිනුයි අරවයිනුයි මෙවයිනුයිත් ඔය හිටපු ගමන් විස්තර අහන්න නවත්තනවනේ.

නෝනා පියසේන මාමගේ ලඟට ඇවිත්,

    "ලොකු උන්නැහේ මේ කඩේ හදන්න අවසර ගත්තද?" කියලා ඇහුවා.

   පියසේන මාමත් ඔය එක එක ගෑනු ළඟ නැවෙන ජාතියේ එකෙක් නෙවෙයිනේ. දෙකට නවලා කැහැපොට ගහ ගත්තු සරම එහෙම්මම තියෙද්දී,

    "ඇයි නෝනේ, මේ පාර අයිනේ ඕන තරම් ඉඩ තියෙන්නේ? නිකන්  තියෙන එකේ අපි කඩ කෑල්ලක් අටෝ ගත්තොත් නරකද? ඊයේ RDA මහත්තුරුත් ඇවිත් ඔය මැනල කරලා නැට්ටත් අකුලන් ගියේ. ඕනි දෙයක් කොර ගනින් කියලා"

    පලවෙනි පාරම ඔක්කොම කියලා දාලා කරදරෙන් බේරෙන්න මාමගේ  ට්‍රයි එක.

  "එතකොට ලොකු උන්නැහේ මේකට ලී කපා ගත්තේ කාගෙන් අහලද?"

  "ආයේ ඕකේ අහන්න දෙයක් තියෙනවායැ. මහා කැලේ ගස් තියෙනවා. කැපුවා. ගෙනාවා. හැදුවා. කාගෙන් අහන්නද?"
       දැන් මෑන් ගඟෙන් එහා පැත්තේ කැලේට අත දික්කරගෙන සද්දෙන් කතාව. මේ ගෑනි සද්දෙටවත් බය වෙයිද බලන්න.

"ලොකු උන්නැහේ දන්නවද මං කවුද කියලා" නෝනා අහපි.

"මට කවුරු උනත් කමක් නෑ නෝනා. මන් දැන් ලොකු වැඩක් කර කර  ඉන්නේ"
පියසේන මාමත් අරින්නේ නෑ.

"මන් තමයි මෙහෙ අලුත් දිසාපති" 

       ඒකනම් පියසේන මාමට යාන්තමට වගේ ඇහුනලු. කඩේ හදන්න මහන්සි  වෙච්ච නිසා වැක්කෙරිච්ච දාඩිය හෝදගෙන යන්නම දැන් පියසේන මාමට දාඩිය දානවා.

       දඩ බඩ ගාලා දෙකට නැවිලා සරමේ කැහැපොට කඩලා ඔලුව ටිකක් පාත් කරලා දත් ටික විරිත්තලා හිනාවෙලා,
   "අනේ මේ අපේ නෝනානේ, මට එකපාරටම ගනිච්චියක් උනේ නෑනේ" 

   "හා දැන් කියමුකෝ බලන්න මේ කැලේ ලී කැපුවේ කාගෙන් අහලද කියලා" දෙවැනි වටේටත් කලින් වටේ ප්‍රශ්නෙමයි.

  "පිස්සුද නෝනේ, මන් මේ කැලේ ලී කපන්න තියා දරට කෝට්ටක්වත් කඩාගෙන නෑ. මේවා ඔක්කොම අපේ ඉඩමේ තියෙන ගස් වලින් කපාගෙන ආපුවා"

"එතකොට ලොකු උන්නැහේගේ ගේ තියෙන්නේ කොහේද?" 

   "අපේ ගෙදරට යන්න තියෙන්නේ නම් XXXX හන්දියෙන් හැරිලා ටිකක් දුර ගියාම. ඒත් මේ ගඟෙන් එගොඩ වෙලා අර කැලේ මැදින් වැටුණු අඩි පාරදිගේ කන්දෙන් එහා පැත්තට ගියොත් අපේ ගේ. හරිම ලඟයි"

Sunday, November 25, 2012

අල්ලපියෝ......

    මාරයා දැන් අපරාධ අල්ලන්න යනවලුනේ. ඇයි අපිට බැරිද ඔව්වා  කොරන්න. 

   හුහ්.....  මාරයා කොරන්නේ ලෝකල් ඉන්වෙස්ටිගේන්. හැබැයි බොලේ මන් ගැහුවේ ඉන්ටර්නැෂනල් එකකට ආයුබෝං.

  ඔය ලොකු ලොකු හිරකාරයෝ(වැඩවලින්) තියන් ඉන්නේ වෙනම දූපත්වලනේ. ඒ මොකද කියලා දන්නවනේ. ඉතින් එහෙව් එකෙක් දූපතෙන් මිසින්ලු. 

පොලිස් බල්ලො දාලා ඌව හොයන්න.


  කොහෙද...

        බල්ලා මීටර් සීයක් දුවනකොට සාගරේලු. ආයේ ඉතින්  මොන හෙවිලිද?  එතනින් එහා මුහුදු බල්ලෝ තමයි. ඒත් ඉතින් කරුමේ  කියන්නේ ඌ මීටර් සීයක් පීනනකොට මෙන්න ගොඩබිමක්ලු. ඔය  කේස් එක හින්දා අහල පහල රටවල උනුත් හරි බයෙන් ඉන්නේ. ඔය දූපත ලංකාවේම අහල පහල තියෙන එකක් හින්දා ඔය භීතිකාව මෙහාටත් බෝවෙලා. ලංකාවේ ඒජන්ට් හැටියට මන් තුමාට තමයි ඔය කේස් එක බාර උනේ.

ටේ ගියාට ඔය කියන පොරගේ හැඩහුරුකම් කියන්නත් බැරි උනානේ. මෙන්න  විස්තර.

*කලුයි. කලුයි කිව්වම කට්ට කලුයි. හිනා වෙනකොට නම් දත් සැට් එක පේනවා  කියලයි කියන්නේ.

*උසට හරියන මහත

*අඳින්නේ ඩෙනිම් විතරලු. සරම් ම්හ්හ්...

*භයානකයි කියන්නේ දුටු තැන කඩ්ඩෙන් කොටනවලු.

*පෙනුම මරුමුස්. (මන් නෙවෙයි ඕක කියන්නේ. උන්දමයි කියන්නේ පාරේ යනකොට පොලෝසියෙ සුදු හෙල්මට් දාගත්තු මහත්තුරු  නිතරම කරදර කොරනවා කියලා..)

තව තියෙනවනම් කියන්ඩලා....

මේකා මේ වෙනකොට මෙහාට ගොඩ බැහැලා කියලා තමයි ආරංචිය.  දුටු තැන කියපල්ලා..........


ප.ලි.
* වැසිකිලියක් හොයනවලු මේ දවස්වල ගජරාමෙට දැලක් එලන්න.
                      (ටියුබ් ලයිට්ද?
                                 Itisalat (මෙහි මුල් අකුර ආදේශකයකි.)
                                 It.is.a.lat.)

Sunday, November 18, 2012

පියසේන මාමා.... (තවත් ඇම්ඩෙක්)


    අද පොඩි රස කතාවක් ලියන්නයි යන්නේ. මේක ලුණු ඇඹුල් ඇතුව අහන්න ලැබුණු සත්‍යම සත්‍ය,  ඇත්තම ඇත්ත එකක්. මේකේ කතා නායකයා පියසේන මාමා. ඔය කවුරුත් දන්න ඇම්ඩන්, උඩු රාවණ වගේ  පොරක්. හැබැයි ඉතින් එහෙම කිව්වට එහෙමමත් නෑ. හැමෝටම වෙන දෙයක් මේකේ පොතේ ගුරා නොහොත් කතාව කියන්නාගේ හැකියාව මත අර අහිංසකයා උඩු රාවණ වෙලා ඉවරයි. හැබැයි ඉතින් මේකත් අර වගේ මෙගා ටෙලියක වගේ කොටස් බර ගානක් තියෙන සීරියස් එකක්. කතා නායකයා ගැන කිව්වනේ. දැන් ඉතින් මේවා අපිට කියපු එකා ගැන කිව්වේ නැත්නම් අර කතෘ අයිතිය ගත්තේ නෑ වගේ වෙනවනේ. මේවා කියන්නේ කන්දේ අයියා. පොර නැති මගුලක්,ට්‍රිප් එකක්, මල ගෙයක් උනත් අර මිනිහෙක් මැරිච්ච මල ගෙයක් වගේම තමයි. හිතාගත්තහැකිනේ තරම.


පියසේන මාමා මූ ගැන දන්නවනම්.... ග්ර්ර්ර්ර්.... බව්ව් වව්ව් බව්ව්........



හා හා එහෙනම් කතාවට යමුකෝ.




      මේක වෙලා තියෙන්නේ රත්නපුර- බලන්ගොඩ පාර කාපට් කරලා ඉවර උණු දවස්වල. ඉතින් දන්නවනේ වංගු කෙලින් කලාම ඉතුරු වෙන ඉඩට වෙන දේ. ඔය සමහර අය සුනාමි දවසේ මුහුදේ ඉඩම් අල්ලන්නත් ගිය එකේ මේක කියන්නත් දෙයක්යැ. දැන් ඉතින් පාර අයිනේ පොඩි පෙට්ටි කඩ ඉදිවෙනවා ගජරාමෙට. ඇයි යකෝ අනිත් උන්ට හොඳනම් මට විතරක් නරක වෙයි යෑ කියලා පියසේන මාමත් ගියා පුත්තු දෙන්නත් එක්ක පොඩි කඩ කෑල්ලක් අටෝ ගන්න. මන් ඉතින් මුලින්ම කිව්වනේ පියසේන මාමා මොන වගේ කෙනෙක්ද කියලා. හැම එකාම පාරේ රිසවේෂන් එකට ඉඩ තියලා කඩ හදනවා. 

"හුහ් එතකොට පාරට දුර වැඩියිනේ."

         කියලා ඔන්න මෑන්ස් ටිකක් ඉඩ තියෙන තැනක් බලලා පාරට හේත්තු කරලා නොවුනත් ටිකක් විතර කිට්ටුවෙන් ඔන්න හදනවා කඩ පොඩ්ඩ. මේ වෙනකොට කණු හිටෝලා වහල ගහන්න හදනවා. ඔය අස්සේ ආවා කැබ් එකක්. කළු අකුරින් ගහලා තියෙනවා RDA කියලා. 


"ලොකු උන්නැහේ මේක ටිකක් පාරට වැඩියි වගේ නේද?"

    කැබ් එකෙන් බැහැගත්තු කලිසමක් ගහගත්තු තරුණ මහත්තයා ලොක්කා ලඟට එන ගමන් ඇහැව්වා.

       අපේ ලොක්කා ටිකක් කතාවටත් දස්සයා. පොර ඉතින් කැහැපොට ගහපු සරම එහෙම කඩලා (වැරදියට හිතනවා නෙවේ ඕන්. දන්නැති ගෑල්ලමයි එහෙම ඉන්නවනම් අපේ මහත්තයගෙන් අහගන්න) බොහොම ගරු සරුව බුවා ගාවට ගිහින් කට ඇරියා.

"අපොයි මහත්තයෝ, පාරට වැඩියි වගේද? මන් අරුන්ගෙන් අහලා (එහා පෙට්ටි කඩේට ඇත දික් කරලා) උන් කියපු ගානම තිබ්බා" 



"නෑනේ ලොකු උන්නැහේ. බොරුනම් අපි බලමු"
        ඔන්න ලොක්කත් ටේප් එක අරගෙන පාර මැද ඉඳන් මනිනවා.


  "මේ බලන්න ලොකු උන්නැහේ අඩි පහක්ම පාර පැත්තට ඇවිත්නේ. අපිට බොරු කරන්න බෑ. දැක්ක ගමන් කියන්න පුළුවන් මේක රිසිවේෂන් එකේද නැද්ද කියලා. ලොකු උන්නැහේ පිළිගත්තේ නැති හින්දයි මැනලම පෙන්නුවේ."


"පිස්සුද මහත්තයා. මහත්තයට වරදිනවයැ. ඔය ගානම තමයි මාත් මැන්නේ. බලන්න මහත්තයෝ අර වගේ කාලකන්ණි බල්ලො ටිකක්. එකෙක් හැදෙනවට තියෙන ඉරිසියාව. මට කිව්වේ ඔය ගාන තිබ්බහම ඇති කියලනේ. දැන් ඉතින් හිනා වෙවී බලන් ඉඳියි අපි මේක ගලෝනකොට"
         මෙලෝ සංසාරයක් නොදන්න ඈතින් පේන කඩේ ඉන්න උන් දිහා අත දික් කරගෙන අපේ පියසේන මාමත් නෙලනවා.



"අපි එහෙනම් හවස එන්නම් ලොකු උන්නැහේ" කියාගෙන කැබ් එකේ ආපු මහත්තැන් යන්න ගියා.



    ආ.... මට කියන්න බැරි උනා. මේ සිද්දිය වෙනකොට උදේ 10.00ට විතර ඇති. පාරේ තත්ත්වය බලන්න හැමදාම වගේ RDA එකේ වාහනයක් උදේ ගිහින් හවස එනවා.



"කොල්ලෝ, ඔය අලවන්ගුවත් අරන් මෙහෙට වරෙන්."
       පියසේන මාමා පොඩි පුතන්ඩියාට කතා කළා. දැන් ඉතින් කට්ටියම බලන් ඉන්නවා ඇති කඩේ කඩන්න වෙන්නැති කියලා. හුහ්... එව්වා හඳේ.



"කොල්ලො ටේප් එක අරගෙන මෙතන ඉඳන් (කඩේ ඉස්සරහා කණු දෙක පෙන්නලා) අඩි පහක් මැනලා වලවල් දෙකක් හාරපන්."

        දැන් කොල්ලට මඥන්. අඩි පහක් පස්සට ගන්න කිව්වම දැන් අඩි පහක් ඉස්සරහට. වාද කරන්නත් බෑ. තාත්තනේ. ඔන්න ගොනාසේ වල හාරනවා.

"හරි තාත්තේ"
           වලවල් දෙක හෑරුවයින් පස්සේ ලොක්කට සිග්නල් එකක්.

"හා දැන් එහෙනම් වහපන්" ඔන්න තාත්තා.



"#@$%^%^&^&*%^" මෙන්න පුතා.
               
(සද්දෙනම් පිටවෙලා නෑ. පිට උනානම් කොල්ලගේ පිංකම් ගෙදර අපිටත් යන්න තිබුනා)



        ඇයි යකෝ. අවුරුදු ගානක් (පරම්පරාම කීයක්ද?) වාහනවලට තැලිලා තැලිලා අඩිය අඟල වෙලා තිබුණු තැනක දවල් 11ට විතර දාඩිය පෙරාගෙන හාරපු වල වහන්න කිව්වම. එකක්නම් මදෑ. දෙකක්ම.



මොනා කරන්නද ඉහලින් අණක් ආවම කොරන්නත් එපැයි.



       ඔන්න ඉතින් කඩේ වහල ගහනවා. ඉනි කපනවා. වැඩ ගොඩයි. ඒ අස්සේ ඈතින් කැබ් එක එනවා පේනවා පියසේන ලොක්කට. දිව්වා පාරට සරමේ කැහැපොටත් කඩාගෙනම. පාරට පැනලා අත දැම්මා.

        "ඔන්න මහත්තයෝ මහත්තයා කියපු වැඩේ තිතටම කළා. අපි ඉතින් මහත්තේලගේ වචනෙට ගරු කරන්න එපායැ. බලන්න මහත්තයෝ බැහැලා" පියසේන මාමත් දෙනවා හිටගෙන.



"හරි ලොකු උන්නැහේ අන්න එහෙම තමයි ඉන්න ඕනි. එහෙනම් ඉතින් ඕක ආයේ මනින්න දෙයක්යැ. බලපු ගමන් තේරෙනවා. මොකෝ අපි අද ඊයෙයැ මේ රස්සාව පටන් අරන්" මහත්තයා ඊට එහා.



"එහෙම බෑ මහත්තයෝ., කොල්ලො මේ ටේප් එක අල්ලපන්"

              පුතාවත් අල්ලගත්තු පියසේන මාමා කඩේ එළිපත්තේ ඉඳන් වපු වලවල් දෙකට ටේප් එක ඇල්ලුවා.



"අඩි පහයි මහත්තයෝ"



අනේ ඉතින් එදා ඉඳන් ඒ කඩේ දිහා නෙවෙයි ඒ මහත්තයා බැලුවේ.




බලපු අනිත් කෙනා ගැන ඊළඟට... අදට මේක ඇති.

Saturday, November 17, 2012

ජීවිතය.... ඉතින් අවසරයි මට



දිය ඇල්ල නුඹ සමවෙයි
සුන්දරයි නෙතු පිනයි
නුඹෙ ලස්සනට වහල් වූ මම
පිහිනන්නට සැදුවෙමි නොදැක එහි ගැඹුර

සැමට ආලෝකය බෙදන
සොඳුරු පහන් සිල නුඹම විය
මා එහිම දිස්නයට වශී උනු
කුඩා මැසි ප්‍රාණියෙකි අද

නුඹ ජීවිතය නම් විය
සොඳුරු බව පසෙකලා 
යා යුතුය මා අද
නියම ජීවිතය කරා

කඩා හැලෙන දිය දහරට පසුව ඇති
නිසල නිල් ජල තලය සොයා
ආලෝකයෙන් මත් නොවී
එයින් මා ගත යුතුය බොහෝ දේ

ඉදින් මා හල යුතුය අත්
නෙතේ රසඳුන් සිතේ සැනසුම්
කවදා හෝ සොයා එනතුරු මා
ජීවිතය මගෙ තුරුලට

ජීවිතය ඉතින් අවසරයි මට
වින්දනයට තිත තබන්නට
කවදා හෝ එන තුරා
සැනසිල්ල ගෙ දිවියට




Friday, November 9, 2012

අම්මේ......

          අම්මේ.......





      දඩාන්... හඩින්දොරට ගහමින් දොර අරවගන්න මන් ට්‍රයි කළා. ඒ වෙනකොටත් අනෝරා වැස්ස. අම්මා විතරයි තනියම ගෙදර හිටියේ. අද මන් නිවාඩුවක් දැම්මේ අම්මත් එක්ක දවල්ට ටවුම පැත්තේ යන්න හිතාගෙන. ඒත් අද අම්මට උන හැදිලා. අපේ අම්මා දැන් කොහොමත් අසනීප තත්ත්වයේ ඉන්නේ. අවුරුදු දෙකකට විතර කලින් ගෙදරට  මීටර් පනහක් විතර එහායින් තිබුණු කඩේට ගියායින් පස්සේ අද වෙනතුරු තනියම කොහෙවත්  ගිහින් නෑ.

           ඉතින් හවස අම්මට බෙහෙත් අරන් දීලා එනකොට අයියා කතා කරලා කිව්වා එයාලයි, ඔෆිස් එකේ අයයි කතරගම යනවා නංගිටත් යන්න ලැස්ති වෙන්න කියලා. ඒ පාර නංගිවත් එක්කරගෙන අනෝරා වැස්සේ මන් පැල්මඩුල්ලට ගියා එයාව අයියගේ වාහනේට නග්ගවන්න. ඊට පස්සේ රෑට කෑම එකකුත් අරගෙන මන් ගෙදර ආවා. එතැනදී තමයි මේ සිද්ධිය සිද්ධ උනේ.

          මන් දොරට ගහන ගමන් අම්මට කතා කළා. ජනේලෙන් බලනකොට මන් දැක්කා අම්මාට සාලේ පුටුව උඩ වාඩිවෙලා ඉන්න ගමන්ම නින්ද ගිහින්. ටී.වී. එකත් දාලා. ජනේලේ වීදුරුවටත් ගැහුවා. ගේ ඇතුලේ හිටපු බලු කුක්කත් බුරනවා. අම්මගේ කන ඇහීම දුර්වලයි. ඉතින් අවධානය ගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ.


අම්මට නින්ද ගිහින් හොඳටම.


        අපේ අම්මා තනියෙම ඉන්න ටිකක් බය කෙනෙක්. ටිකක් නෙමෙයි, තාත්තා ඉන්නද්දී තනියෙම කාමරෙකින් කාමරේකට යන්න බයයි. දැන්නම් ඒ ගතිය ටිකක් අඩුයි. ඉතින් එහෙව් එකේ  අනෝරා වැස්සේ රෑක අම්මව තනියෙන් දාල ගිය එකට මන් මටම සාප කරගන්න ගමන් ආයෙත් කතා කළා.


අල්ලපු ගෙදර අක්කත් ඇවිත් කලබලේ බලන්න.


     මගේ හිතටත් මොකක්ද වගේ.   මහා පවුකාර සිතිවිල්ලකින් මගේ ඇඟ හීතල වෙලා ගියා. ත්‍රීවීල් එකේ ආයුද සෙට් එක ගත්තු මට ගරාජ් එකේ දොර අරින්න තත්පර තිහක්වත් ගියේ නෑ.  

        ගේ අස්සට පැනපු මන් අම්මට කතා කළා. එතකොට තමයි අම්මට ඇහැරුනේ. බෙහෙත්වල සැරටද කොහෙද නින්ද ගිහින් තදටම. මට ඒ වෙලාවේ ඇත්තටම  ඇඩේන්න ගියා. ඒ මොකද කියලා මටවත් හිතාගන්න බෑ. මන් එහෙම්මම එතනින් අයින් උනේ අම්මා මගේ හිත කියවයිදෝ බයෙන්. මොකද අපි අම්මා ගැන වදවෙනවා කියලා හිතුවොත් එයාට තවත් දුක හිතෙන නිසා.

අම්මේ තිසරණ සරණින් ඉක්මනට ඔයා සනීප වෙන්න ඕනි.

Thursday, November 8, 2012

ඉගිලෙන්න වරම්..



සමබර කරන්නට දරයි දත් මිටි කාලා
පස්සෙන් හෝන් ගැහුවොත් මුන් යයි වැනිලා
පා යුග්මයම මහා පාරේ බිම තබලා
රහසඟ තැෙලයි සිටගත් පසු බර දීලා


ඩෙනිම් ස්කර්ට් ඇඳ කෙල්ලන් යති ගසලා
බලනා උන්ට එය සැපතකි රස දීලා
ඔටෝ ඒ.සී. ඔන් කර මොටෝවෙ නැගලා
අයියෝ කෙල්ලෝ යති අප හට අලි එක දීලා

  (දින කීපයකට පෙර දුටු දෙයක් හිරුවගේ පොස්ට් එක කියවද්දී මේ රෑම දාන්නට සිත් විය. දැන් ඉතින්  හෙට දවල්ට නිදි කිර කිර තමා ඉන්න වෙන්නේ)

Saturday, November 3, 2012

මුල අමතක කිරීම හා ඉල්ලං ටින් කිරි ගා ගැනීම.....

        අප්පොච්චියේ...... වැරදීමක මහත.



         කේක් කනවද.... කියලා පොස්ට් එකක් දැම්මට මොකද, ඒකෙ මං ආතක් පාතක් නැතුව කියෝලා නින්දට ගියා නොවැ. ලිව්වේ මොකටද? ලියන්න ගියේ මොකක්ද? ලියන්න ආපු දේ ලිව්වද? කියලා හොයල බැලුවේ නෑනේ. අද උදේ ඒ ගැන මතක් උනත් පොස්ට් එක එඩිට් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. මොකද උදේ පහට බස් එක අල්ලගන්න දුවන්න තිබුන හින්දා. 

එහෙනම් ඉතිං මුලින්ම ගම්මුකෝ ලිව්වේ මොකටද කියලා. 

         වර්ෂ දෙදහස් දොළහක් වූ අගෝස්තු මස පලමුවෙනි බුධ දින නිකිණි පුන් පොහෝ දින යෙදුණු නිවාඩුව මුල් කොට ගෙන අකමා කල එලි බැස්සා. අවුරුද්දක් විතර බ්ලොග් කියෝ කියෝ හිටියට ප්‍රොෆයිල් එකක් හදාගත්තේ එදා. දාන්න නමක් හොය හොයා ඉඳලා කටට ආපු නමක් දැම්මා. නමේ ගුණාගුණ බලන්න නැකත් හෙව්වේ නෑ. මොකද පෝය කියන්නෙත් නැකත් දවසක්නේ. :-)
           ඉතින් ඔන්න ඔහොම පලවෙනි පොස්ට් එක දිග ඇරුනා. එදා ඉඳන් ඊයෙ දවස වෙනකොට මාස තුනයි මගේ මේ පුංචි එකාට. ඉතින් අවුරුද්දක් යනකන් ඉවසන් ඉන්න බැරි කමටයි මාස තුනක් කියන්නේ සමරන්න ඕනි දෙයක් හින්දයි ලියලා දැම්මා. ඒත් යකඩෝ ඒකෙ මුල්ලකවත් කියන්න බැරි උනානේ මාස තුනක් හින්දා ලියනවයි කියලා. ඔන්න ඉතින් කට්ටිය පෝලිමට වරද්දගෙන එනවා. ඇත්තටම වැරදුණේ මට උනත් වැරදීමේත් පොඩි ගතියක් තියෙනව කියල හිතෙන්නේ දැන් තමයි. හික්ස්.. (අකමා කියන්නෙ බොක්කෙ එකක් තියාන හක්කෙන් තව එකක් කියන එකෙක් නොවන නිසා විහිළු වරදවා වටහා නොගනු ඇතැයි හිතනවා)
   ඉතිං ඒ.කේ.එම්.අඩවිය කියන නම හැදුන එක ගැන කිව්වනේ.  අකමා කියන නම හැදුනෙත්  ඔය අකුරු  තුනෙන්මයි. "අකමා ඇලි බලපු හැටි" කියන පොස්ට් එක ලියද්දි හිතුනා නමක් දාගන්න. ඉතිං දැම්මා.

ඉතිං ලිව්වේ තුන සමරන්න.

එතකොට ලියන්න ගියේ.....
           ලියන්න ගියේද? ලියන්න ගියේ මාස තුනක් තිස්සේ මේක ලියාගෙන යන්න උදවු කරපු අයට ස්තුති කරන්න. කමෙන්ටු පල කල, එමගින් උපදෙස් දීපු, දිරි ගන්නපු වගේම හොරෙන්ම ඇවිත් බලලා ගිය හැමෝටම ස්තුති කරන්න. මුලින්ම දාපු පොස්ට් එක වෙච්චි "රන් කිරි කට ගෑම"  පොස්ට් එකේ මුල්ම දිරි ගැන්වීම වෙනී අයියගෙන්. ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා මං මුලින්ම පොස්ට් එකක කමෙන්ට්  එකක් දැම්මෙත් වෙනී අයියගේ පොස්ට් එකක. ඒ කමෙන්ට් එකයි රිප්ලයි එකයි දෙකම තාම මං ගාව තියෙනව screen shot එකක් විදියට සේව් කරලා. 

     හෙන්රි අයියා..... මගේ පොස්ට් හැම එකකටම වගේ කමෙන්ට් කරලා මාව දිරි ගන්වපු තවත්  යෝධයෙක්. ඒ වගේමයි ලැබුණු උපදෙස් ටිකත්. සුමිත් අයියගේ උපදෙසුත් මේ අතර ඉහලින්ම තියෙනවා. 
      
       එතකොට "ම" යන්න, "මාරයා", "පියුමි මධුෂාණි", "ලකී සිරි", "ප්‍රදීප් ගුණරත්න", "සිහින", "ලිෂාන්", "සබිත්", "මාධව", "එස්.ඒ.", "සෙන්නා", "සෑම්", "අටම්පහුර", "ඔබ නොදුටු ලොවක්", "අලුත් මල්ලි", "බණ්ඩා", "හිරු", "ගයනි", "රාජ්", "හිරුහිමවී", "සිරාගෙ කාමරේ", "චන්දන" එහෙම මේ පැත්තෙ ඇවිත් මාව දිරිමත් කරලා  යන අය. ඒ ඇරෙන්න නොකියාම යන අය.ඔන්න ඒ කට්ටිය අල්ලගන්න තමයි මීටරයක් හයි කරලා තියෙන්නෙ. ඉතිං ඔයාලගෙ පැමිණීම, ගුණ දොස් විවේචනය ඉහලින්ම අගයනවා.
          
     බ්ලොග් කියවන කාලෙ කමෙන්ටුවක් කියන දේ එච්චර අගයක් තිබුනේ නැති උනත් ලියන්න ගත්තම  තමයි එකේ අගය තේරුනේ. අනික හෙන්රි අයියා කියලා තියෙන රිප්ලයි කිරිල්ල. මං අනිත් බ්ලොග් වල දාපු කමෙන්ට් වලට රිප්ලයි එනකම් දවස් ගණන් ඒ පැත්තෙ යනවා. ඒ වගේම තමයි මගේ බ්ලොග් එකේ කමෙන්ට් වැටෙන හැටි, හිට් කවුන්ටරේ කැරකෙන හැටි බලන්න දවස ගානේ මං ලොග් වෙනවා. කවුරු කොහොම කිව්වත්  මං මෙච්චරක් කාලයක් මේ පැත්තෙ ආවෙ මගේ නිර්මාණ අගයනවා බලන්න කවුරු හරි එනවනේ කියලයි.  ඒක ඉදිරියටත් එහෙම්මම තමයි.
       
    අන්තිමට මේ දේත් කියන්න ඕනි. බ්ලොග් ඒකට ගොඩවෙන්න මට තියෙන කාල වේලාව  ඉතාම සීමිතයි. (ඒකෙන් මං අදහස් කරන්නෑ අනිත් අයට එහෙම නෙවෙයි කියලා.) සතියේ දවස් හයක් ෆුල් ටයිම් වැඩ කරලා ගෙදර ඇවිත් කම්පීතරේ ගාව වාඩිවෙන්න තියෙන්නෙ පැය දෙකයි තුනයි. ඒකත් මං ෆීල්ඩ් නොගිය දවසට. ගොඩක් වෙලාවට සතියෙන් භාගයක්ම එනකොට රෑ වෙලා. ඉතිං නෙට් ගිය ගමන් කරන්නෙ මග ඇරුණු පොස්ට් කියවන එක තමයි. එතකොට දන්නෙම නැතුව 11 පහුවෙලා.  ඉතිං කොහෙද පොස්ට් එකකට වෙලාවක්. ඉරිදා කියන්නෙ වැඩ වැඩිම දවසක්. පොලේ යන්න, රෙදි හෝදන්න, ගේ අස් කරන්න....  හප්පා...
        අදනම් මං ගෙදර ආවෙම (9.45ට විතර) කම්පීතරේ දාගෙනමයි. ඇඳුම් මාරු කරපු ගමන් ඊයෙ පොස්ට් එකේ අඩුපාඩු හදන්න හැදුවා. එතකොට පරක්කු වැඩියි. ඉතිං මේක ලිව්වා. දැන් 1.30යි. තාම මං  වොශ් එකක් දැම්මෙත් නෑ. රෑට කාලත් නෑ. හෙට උදේ වැඩට යන්නත් තියෙනවා. ඒත් ඔයාල මතක්  වෙනකොට බඩගිනිත් නෑ.නිදිමතත් නෑ. මහන්සිත් නෑ.

        ඉතින් ඊයෙ පටන් ගන්න කොටම කිව්වා නොවැ ගෙදර ආවෙ හොම්බෙන් කියලා. ඔන්න ඒක මං මගේ ස්ට්‍රෝන්ග් පොයින්ට් එකක් හැටියට මතු කරගෙන අර මොකක්ද එකේ හිලෙන් රිංගුවා හොඳේ. සොරි ඈ. හි..හි..

    කට්ටියටම ජයවේවා!!!

Thursday, November 1, 2012

කේක් කනවද?......

          අද ගොඩාක් කටු කාලා ගෙදර ආවේ පාන් කියාගන්න බැරුව ඇඳ දිහා බලාගෙන. ඒත් ඉතින් මේ පැත්තෙ ආවෙ නැත්නම් නිකම් මොකක්ද මොකක්ද වගේ. ඉතින් මුලින්ම මං ඊයෙ ආගිය තැන්වල දාපු කමෙන්ටු වලට තියෙන රිප්ලයි බැලුවා. ඊට පස්සෙ මේ පැත්තෙ ආ ගිය අයට තේකක් එහෙම දීලා [ : D ] ආයෙත් ගියා බ්ලොග් කියවන්න. ඒ ඉවර උනාමනෙ මතක් උනේ අද තියෙන විශේෂත්වය...

හුටා....

උපන් දිනේ.....



හතර විලි ලැජ්ජාවයි. පිස්සුද අකමෝ තොට? මේකට උපන් දිනේ කියන්න පුලුවන්ද?

ඒත් ඉතින්..... නිකම් මොකක්ද මොකක්ද මෙව්වා එකක් තියෙනවා වගේනෙ. ඒක නිසා ඔන්න ඔහේ පොස්ට් එකක්ම දානවා කියලා හිතුනා. 

කෝ බලන්න එහෙනම් කොච්චරක් ලොකු වෙලාද කියලා?

ම්ම්ම්ම්..... මේ තියෙන්නේ....
          පොස්ට් විසිහයයි.
                    ඒකෙන් දහනවයයි නෙව පබ්ලිෂ් කොරලා තියෙන්නේ. එතකොට ඉතුරුවා.....

           ඇයි දෙයියනේ කමෙන්ටු එකසිය පනස් දෙකක්නේ.....

                         ආආආ...... එතකොට උඹ දාපු රිප්ලයි? ඔතනින් බාගයක්ම උඹේ නේද?

          හා... හරි එහෙනම් හිට්ස් හයසිය හැටතුනක්නේ.. ඒකට මොකද කියන්නේ?

                       මොනා කියන්නද? උඹේ තියෙන අමාරුවට කමෙන්ට් බලන්න සැරින් සැරේ රිංගලා හිට් ගාන වැඩි කරගත්තට පේජ් විව්ස් තියෙන්නෙ පන්සීය හතලිස් නවයයිනේ.

හ්ම්ම්ම්..... ඒ කියන්නේ මං වැඩක් නෑ?

    නෑ තමයි. දැන් බලහන්. උඹ ආපු ගමන් දැම්මා "රන් කිරි කට ගෑම" කියලා එකක්. ඒකෙ කමෙන්ටුම තිහක්. හා කියහන් දැන් එහෙම එකක්.
 

කියන්නේ තොට කේක් එපා?

     කවුද එහෙම කිව්වේ. 

එහෙනම් මාව නෝන්ඩි කර කර කෑ ගහන්නේ. දැන්වත් කට පියා ගෙන හිටපිය.

     
              පේන්ට් වලින් ඕපන් කරපු කේක් ඒක crop tool  එකෙන් කපලා දීපු අකමා උගේ  යටිහිත මෙල්ල කරගෙන  හෙට පාන්දර 4ට කොඹල යන්න ඕනි හින්දා නින්දට යන්න ගියා.