Sunday, August 19, 2012

නිවාඩුවට කෙල විය

         මන් ලඟදි කෙටි කතාවක් ලියලා දැම්මා. එකේ ඉතුරු කොටස ලියාගන්න වෙලාවක් හොයාගන්න ඉරිදා වෙනකම් බලන් හිටිය මදැයි. අද හදිසි ට්‍රිප් එකක් යන්න සෙට් උනා.
   අපේ අම්මා ලෙඩ උනාට පස්සේ වැඩිය මහන්සි වෙන්න එහෙම බැහැ. ගේ ළඟ තියෙන කඩේටවත් තාම  තනියෙම යන්නෑ. ඉතින් මම දවස් 6ක්ම කම්පනියට කඹුරලා ගෙදර එනකොට 6.30-7.00 විතර වෙනවා.  නංගිටත් ඒ/එල් පටන් ගත්ත හින්දා ඉස්කෝලෙයි පන්තියි. අම්මා ගේ ඇතුලේ නිල නොලත් හිරකාරියක් වෙලා. අපේ අම්මගේ පුන්චිඅම්මා ඉන්නේ කල්තොට. (බලන්ගොඩ ඉඳන් කි.මී.31 දුරින්). අපේ තාත්තගේ නංගි කෙනෙකුත් එහෙ. ඉතින් හදිසියේ සෙට් උනු ට්‍රිප් එක (නෑදෑ ගමන) කොහාටද කියලා හිතා ගත්තහකිනේ . 
        අම්මයි, මායි, නංගියි, ගෙවල් ගාව ඉන්න අම්මගේ හොඳම හිතවතියක් වන ශීලා මිසුයි ගමනට එක් උනා.  ඩයිවර්කොලුවා ඉතින් මම තමා. උදේම ප්‍රාඩෝ එක හෝදලා කරලා නමෝ විත්තියෙන් යන්න පිටත් උනා.  ගමන දුෂ්කරයි එත් හොඳයි. මුලින්ම ලොකු මාමලයි ගෙදර. එතනින් පොඩි මාමලාගේ ගෙදරට ගිහින් දිවා  ආහාරය. ලොකු මාමලාගේ ගෙදර ඉඳන් පොඩි මාමලාගේ ගෙදරට හැතැම්මක් විතර තියෙන්නේ. එත් නියං  සහනාධාර පොඩි මාමලට හම්බ වෙනකොට ලොකු මාමලට හුලං.  ඕක තමයි සිතියමේ ඉරි ගැහුවහම වෙන දේ. පරිපාලනේට අනුව එගොඩට පවතින නියඟය ගඟෙන් මෙගොඩට බලපාලා නෑ. මේ දවස්වල ලොකු මාමලා චන්දෙට  දඟලනකොට පොඩි මාමලා කිසි හා හූවක් නැතිව ඉන්නවා. හැබැයි මේ පැතිවල එච්චරම චන්දෙට මරාගන්නෙත් නෑ වගේ. 

නැන්දගේ  ගේ ඉස්සරහින් යන ඇල පාර 
          ඊට පස්සේ නැන්දගේ ගෙදර ගියා. ඒ ගේ ඉස්සරහින් යනවා ඇල පාරක්. ඊට එහායින් මාස 8කට විතර කලින් කොන්ක්‍රීට් කරපු, දැන් කාපට් කරන්න පාස් වෙලා හින්දා ලබන සතියේ විතර කඩලා අයින් කරන්න  නියමිත මාර්ගය. ඊට ඉහලින් තෙකලා නල ජලය. හෙහ් හෙහ්.
            අනේ ඉතින් දුක්බරම සීන් එක පටන් ගත්තෙ එනකොට තමයි. හැන්දෑවේ 4ට විතර තමයි එන්න පිටත් උනේ. ඒ පැත්තේ ගෙවල් වල ඉන්න දිය කිඳුරියෝ ඇල දිගට සෙට් වෙලා. කොහෙද, අතුරු ආන්තරාවක් නැතුව එන්නනම් වටපිට නොබලා එන්න එපැයි. මොකද වමට කැපුනොත් කුඹුරේ. දකුණට ඇලේ. ඒ නැතත් කට්ටිය ඉස්සරහ මගේ කාඩ් එක. මෙච්චරක් කාලයක් පරිස්සම් කරගෙන ආපු පතිවත.  මේ ඇල පාර දිගේ කි.මී.1ක් විතර එනකොට මහා ඇල හම්බ වෙනවා. එකේ පොටෝවක් අල්ලන්න ගියේ නැත්තේ   ඒ ගමෙන් අතක් පයක් කඩා ගන්නැතුව එන්න ඕනි හින්දයි, අම්මලා ඉස්සරහ වල් කොල්ලෙක් නොවී ඉන්න තිබුන උවමනාවයි හින්ද කියලා හිතාගත්තොත් හොඳයි ඕන්. එතන ඉඳන් කි.මී.10කට වැඩි මිස අඩු නැති  දුරක් මේ දුක වින්දා කියලත් කියන්න ඕනි. 

           ඔහොම ඇවිත් ගියා බුදුගල විහාරයට. ඊට ටිකකට කලින් නටඹුන් හම්බ උනත් රෑ උණු නිසා ගියේ නෑ. මේවා වළගම්බා රජතුමාගේ කියලා කියනවා.  ඒ වගේම පූජ්‍ය කිරම නන්දරතන හිමියන්ට (ශ්‍රී සුධර්මාරාමය, පොල්ගස්ඕවිට) අනුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ  ස්ථානය බව කියවෙනවා. හැබැයි ඕවයෙ ඇත්ත නැත්තනම් මන් දන්නෙ නෑ ඕන්. ඉතින් මන් කලින් ගිය පාර ගත්තු පොටෝවක් දෙකක් දාන්නම්කෝ. 






         මෙච්චරයි ඒකෙනුත් හොයා ගන්න පුළුවන් උනේ. ඉතින් කොහොමින් කොහොම හරි අපි අවා බුදුගලට. විහාරයත්, බෝධියත් වන්දනා කලාට මොකද, චෛත්‍යය වන්දනා කරන්නනම් අම්මලාට බැරි උනා. හේතුව තමයි ගල් පව්වක් මත චෛත්‍යය පිහිටා තිබීම. අවුකන පිළිමයක්, ශ්‍රී පාදස්ථානයක් වගේම ඝණ්ටා කුළුණක්ද පර්වත මුදුනේ පිහිට තිබේ.අම්මලාට යන්න බැරි නිසා නංගියි මායි කරුණා කරන්න ගත්තා. මුලින්ම ශ්‍රී පතුල පිහිටි ස්ථානය. එතනින්බැහැලා අවුකන පිළිමය.

ශ්‍රී පතුල දක්වා ඇති මාර්ගය 


ගල් දෙබෝක්කාවක් අතරින් පහල 

සිරි පතුල පිහිටි ස්ථානය ඉහලින් පෙනෙන අයුරු.

මේ ඉන්නේ මගේ නංගි සිරි පතුල පිහිටි ස්ථානයේ.
වරදවා වටහා ගන්න එපා මේක පිටුපාල ගත්ත එකක් නෙවෙයි.
පල්ලම බලන්න බයේ කණුව බදාගෙන ඉන්නවා ගත්තු එකක්.

විහාර භුමිය සිරිපතුල තිබෙන ස්ථානයට
පෙනෙන අයුරු


එතනට චෛත්‍යය පෙනෙන හැටි 

අවුකන බුදු පිළිම වහන්සේ
පහලට බහින පඩිපෙළ


           ඊළඟට එතනින් බැහැලා සතර වරම් දේවාල. ඇත්තටම ශාන්ත පරිසරයක පිහිටි පන්සල පිලිබඳ  ගාම්භීරත්වය, භක්තිය  වැඩි වෙන අයුරින් විශාල පර්වත අතුරින් මාර්ග සාදා ඔබ මොබ යන්න සකස් කර ඇති අයුරු අතිවිශිෂ්ටයි.
සතර වරම් දේවාල වලින් පළමු වැන්න 

පිටවීම


            ඊළඟට තමයි චාටර්ම සිද්ධිය. ඝණ්ටා කුළුණ පහු කරගෙන චෛත්‍යය වෙත යන්න පියමන් කල නංගියි මායි දිහා වටේ ඉන්න මිනිස්සු අමුතු විදියට බලනවා වගේ මට තේරුණා. මොකද ඒ වෙලාවේ අපි ඇරෙන්න තව එක නඩයයි පන්සලේ හිටියේ. ඒත් කැබ් 1කින් ආපු 4-5දෙනෙක්. ඉතින් පන්සල පාලුයි. මේවයේ සමහර විට රූම් වලට නොයන කපල්ස් එහෙමත් එනවද දන්නැනේ. අපි ගැනත් එහෙම හිතුවද දන්නේ නෑ. චිකේයියා. ඒ ගියේ නංගියි මායි හොඳේ.



ඝණ්ටා කුලුනට ඉහලින් චෛත්‍යය පෙනෙන අයුරු


මෙන්න ඉස්සෙල්ල නැගපු පර්වතය චෛත්‍යය අසලට පේන හැටි

මගේ ප්‍රාඩෝ එකේ දර්ශනයක්

ඈතින් පේන්නෙ කූරගල


මෙන්න චෛත්‍යය රාජයාණන් වහන්සේ

       


          කූරගල ගැනනම් ගොඩක් කට්ටිය දන්නවා ඇතිනේ. (නොදන්නා අයට).


            බුදුගලින් නික්මුණු අපි කාර්පට් ඇතිරූ මාර්ගය දිගේ ඉදිරියටම ගියා. තව කි.මී.5ක් විතර යනකොට දියවිනි ඇල්ල බලාගන්න පුළුවන්. මේ දවස්වලනම් වතුර හිඳිලා.
මේ දවස්වල ඈතට පේන හැටි

මේක ගත්තේ මෙතනින් 

       ඉතින් අපි දුර ඉඳන් දිය ඇල්ලත් බලලා කපුගල හරහා (කපුගල කියන්නේ සමනලවැව විදුලි බලාගාරය තියෙන  ප්‍රදේශය) බලංගොඩට සැපත් උනා යාන්තම් 7 විතර වෙනකොට. එනකොට කට්ටිය සතුටින් ආවත් මගේනම් බොක්ක කූල් වෙලා තිබුනේ. මොකද කි.මී 20ක් විතර ගෙවල් දොරවල් නැති පාලු කඳුකර පාරක හවස 6.30ත විතර එනකොට. ඒ වෙනකොට පෙට්‍රල් රිසර්ව් ඔන් වෙලා තිබුනේ. ඕන් ඔහොමයි මගේ නිවාඩුව ගෙවුනේ.


Thursday, August 16, 2012

දුකම කොයි තරම් සතුටක්දෝ......

"වරක් නෙතඟ කඳුලැලි පිරුනාදෝ........"
මට තේරෙනවා නංගියෝ.....
ඌ ඔයාව දාල ගිය දවසෙ ඔයා දුක උහුලගන්න විඳපු දුක
මන් මුල ඉඳලම ඔයාට කිව්වේ
හැම දෙයක්  ගැනම ඕනැවට වඩා බලාපොරොත්තු තිය ගන්න එපා කියලා
ඒත් ඔයා...
හීන දාහක් පුරෝගෙන
මුළු ජීවිතේම උගේ දෝතින් තියනකොට
ඔය ඇස්වල තිබුන දෝරේ ගලන සතුට
මට උදුරා ගන්න හිතුනෙ නෑ..
ඒ ආදරේම නේද ඔයාගෙ ඇස් තෙත් කලේ......

"සිතට දරා ගනු බැරි දුක්වීදෝ......."
ඔයාලගේ සම්බන්දෙ ගොඩක් දුර යන බව දැනෙන කොට
මම කිව්ව දේවල් ගැන පොඩ්ඩක් හරි හිතුවනම්...
ඌ  ඔයාව මග අරිනකොට
ඔයා....
ඔයාගෙ ජීවිතේ විතරක් නෙවෙයි උගෙන් ඉල්ලුවෙ
නූපන් පැටියගෙ ජීවිතේ...
ඔයාගේ අම්මගෙ....අක්කගෙ...
ඇයි...
තාත්තගෙ ජීවිතෙත්....
එතකොට පවුලෙ නම්බුව....
ඒ ඔක්කොම වෙරළට ආපු රලක් වගෙ විසිරිලා යද්දි....

හ්ම්ම්....

"දිවිය මොන තරම් සුන්දරදෝ...."
මොනදේ උනත්....
ඔයා ඒ වෙලාවෙ තනිවෙලා හිටියෙ නෑ පැටියෝ...
ඔයා ළඟ මම හිටියා ඔයාගෙ අක්කා... අම්මා..
එතකොට තාත්තා...
ඇයි ඔයා එයාල ගැන හිතුවෙ නැත්තෙ
අපි ආයෙත් හැරිලා බැලුවොත්....
මොන දේ උනත් අපිට සතුටු වෙන්න පුළුවන් නේද
අපේ ජීවිතේ ගැන...
ගෙවුණු බාල කාලේ ගැන...
ආදරේ ගැන..
විඳපු දුක් ගැන...
ගත කරපු කාලය ගැන...

"දුකම කොයි තරම් සතුටක්දෝ....."
එහෙම උනානම්
අද හිනාවෙන්නෙ ඔයා විතරක් නෙවෙයි..
ඔයාගෙ පැටියා...
එතකොට
ඇහි පිල්ලම් ගහන හැටි අත් මිට මොලෝගෙන හිනා වෙන හැටි
කොච්චර දරුණු උනත්
ඌ ලඟට අරන් හුරතල් කරන තාත්තා......

තුවාලයක් උනහම රිදෙනවා තමයි..
එතකොට බෙහෙත් දානකොට....
ඊට එහා..
ඒත්...
පස්සේ..
අන්තිමට දැනෙන සනීපය..
උන හැදුනම බොන කසාය....
ඒකත් තිත්තයි ඒත්...
සනීප උනහම..
අපි හැමෝම දුක් විඳින කාලයක් තියෙනවා..
වැටෙන කාලයක්....
ඒත් නැගිටින්න ඒකම ශක්තියක් වෙද්දි
එදාට..
රස කර කර
ඒ කාලේ ගැන ආඩම්බරයෙන් කියවන්න පුළුවන් නේද
මම මෙච්චර දුක් විඳපු එකෙක් කියලා...
මම ගෙව්වෙ මෙහෙම කාලයක් කියලා...
ඒක කොච්චර සතුටක්ද....

"පෙරුම් පුරාගෙන ආ සංසාරේ....."
ඔයාට ටිකක් හිතන්න තිබුනා නේද
ඒ කාලේ දහම් පාසලේ උගන්නද්දී
නංගිලා මල්ලිලාට
කට උල් කර කර කියපු හැටි
මනුස්ස ආත්මයක් ලබන්න කොච්චර අමාරුද....
ඒ ලබපු ආත්මෙදි පින් කරලා
ආයෙමත් මනුස්ස ආත්මයක් ලබන්න
කොච්චර අමාරුද කියලා....
ඔයාට අමතක උනාද..
නැත්නම් අමතක කලාද...
ඔයා කෙටි කර ගන්න ජීවිතෙන් සංසාරේ දික් වෙනවා කියලා...

 "පැතුමද සුනු විසුනුව වැටුනේ...."
ඔයාට මතකද...
පොඩි කාලේ
බෝනික්කියො, හාවො  ඉන්න
සෙල්ලම් බඩු කඩවල් වළලු පිරුණු
ලැබෙන්නැති බව දැනෙනකොට හීල්ලුනා...
රෑට හඳ ඉල්ලලා අඬලා අඬලා
නිදාගත්තා...
ඇයි එහෙනම් අද විතරක්...
අද විතරක් ඉවසන්න බැරි උනේ...
ඔයා ලොකු කෙනෙක් හින්දද...
ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ගන්න ඔයාට අයිතියක් ලැබුණු හින්දද...
අයිතියක් තියෙනවා කියලා හිතපු හින්දද....

"කාටද රිදුණේ... කවුරුද හැඬුවේ....."
සෙල්ලම් කරද්දී බෝලයක් හයියෙන් වැදුනත් අඬපු ඔයාට
කොහොමද....
කොහොමද... මෙච්චර දුකක් උහුලන්න පුළුවන් උනේ....
මෙච්චර දුකක් විඳින්න වෙන බව දැන දැන
කොහොමද....
කොහොමද.... මෙහෙම දරුණු තීරණයක් ගන්න පුළුවන් උනේ..
කියන්න මට...
කියන්න
පලාතම දෙදරගෙන එනකොට
ඒ වේදනාව බය විඳින්න හිටියෙ කවුද කියලා
ඔයාම විතරයි නේද සුදූ.....
අන්තිමේදී එතනදී ඔයා තනි උනා නේද....
එතකොට
ආපු උන් ඔක්කොම කිව්වෙ  මොකක්ද
කාලකන්ණියෙක් කියලා නේද...
පව් කාරියෙක් කියලා නේද....
බැල්ලියෙක් හින්දා ගෙදර යන්න පරක්කු උනා කියලා නේද...
කියන්න...
මට කියන්න..
පව්.. අහිංසක කෙල්ලෙක් කියලා කවුද කිව්වෙ
එතන හිටපු කවුද කිව්වෙ...
කියන්න...
කියන්න...
අන්තිමේදී....

"දුම්රිය මොහොතක් නතර උනේ...."

හදවතින්ම රස විඳින්න මෙන්න. 

Friday, August 10, 2012

සරිලන සේවයක් ගත යුතුය ගෙවන මුදලට....

පැටියෝ මම අද
දෙනවා සැපක් හොඳ
කියල නැග්ගට ඇඳට
හුහ්....
සැප ඕකද
කොඳුරයි මුළු හිතම

නැතිවාට මට සැපක්
අපරාදෙනේ සල්ලි
පන්දහක්ම අහක
විනාඩි දහයෙන්නෙ ගියෙ

ගනින් පොන්නයෝ තෝ
මීට පස්සෙවත් පෙත්ත
දවස් දහයෙ පඩි සල්ලි
දිය නොකර ඇසිල්ලෙන්

.
.
.
.
.
.

අවවාදයයි : අක්කලා එහෙම කිව්වට මාරක පෙති මගින් අහිතකර ප්‍රතිපල ඇති විය හැක.

Monday, August 6, 2012

ආදරයක් හින්දා... (පළමු ඉකි බිඳුම)

         පාලු නිහඬ රැයේ බස්සෙකුගේ මූසල හඬ දෝංකාර දෙමින් මධුරංගට ඇසෙන්නට විය. ඇඳෙහි කොනකින් වාඩිවී සිටි ඔහු, දණහිස් මතට බර කල දෑතට තම අවුල් වූ  කෙසින් යුතු හිස බර කර ඇඟිලි තුඩු හිස කෙස් අතරින් යවමින් ගත වූ කාලය ගැන සිහි කරන්නට විය. ඔහුට තවත් හඬා වැළපීමට ඇවැසි නොවෙයි. එමෙන්ම සිදුවූ දෙය ගැන, ගතවූ කාලය ගැන පසු තැවිය යුතුද නොඑසේ නම් සතුටු විය යුතුද යන්න ගැන අදහසක් නොමැත. ඔහුගේ සිත හිස්ව ගොසිනි.

       සයනය මත දිගාවී හුන් සයුරංගීගේ දෑස  පියවී ගොසිනි. දෑස අග වියලී ගිය කඳුළු බින්දුවකි. මුවඟ රැඳී ඇති සිනහව සතුටු සිනහවක්ද, දුක්බර එකක්ද යන්න තේරුම් ගැනීමට අපහසුය. එය තේරුම් ගැනීමට සමත් කිසිවෙකුත් මෙලොව සිටීදැයි පවා සීතීමටද අපහසුය. ඇගේ එක් අතකින් පසෙකින් වූ කොට්ටය මිරිකා ගත් ගමන්ය. කකුලක් නිදහසේ දිග හැර සිටි සයුරංගී සිටියේ අනෙක නවාගත් ගමන්ය. තරමක් ඉස්සුනු පාදය නිසාවෙන් හැඳ සිටි ඇඳිවත ඉස්සී ගොස් විලි වැසී තිබුනේ යාන්තමිනි. කොහු මෙට්ටයකින් යුතු සයනය මත වූ ඇඳ ඇතිරිල්ල සුළු මොහොතකට පෙර තෙත්වූ ගමන්ය.

                    හිස් බැල්මෙන් සයුරංගී දෙස බැලූ මධුරංගගේ සිත වසරක පමණ අතීතයට දිව යන්නට විය.

       දිනය මතක නැතත් තවමත්  මධුරංගට තවම  එදවස මතකය. එය ඉරිදාවකි. වැහි වලාකුලකින් හිරු රැස් මුවා වී තිබුණු අඳුරු ඉරිදාවකි. විසිළු බස් දොඩමින්, හිනාවෙමින්, කෑ ගසමින් පන්තියට යන ළමුන් අතරින් සයුරංගී තමා වෙත ආවේ වෙනදා මෙන් සතුටින් පිරී ගිය දෙනෙතින් යුතුව නොවන වග හඳුනා ගැනීමට මධුරංගට අමුතුවෙන් සිතීමට කාලය අවශ්‍ය නොවිණි. විඩාබර, රතුවන් දෙනෙත් යුග අමුතු කතන්දරයක් කියා පෑමට  උත්සහ දරන බව ඔහුට වැටහුණි.

               "ඊයේ රෑ ඔලුවේ කැක්කුමක් හැදුනා මධූ"

      තනි වූ මොහොතේම කතාවට මුල පිරූ ඇය තමා විසින් මෙතෙක් මුවින් පිට නොකළ නමුත්, දෙනෙතින් ඇසු ප්‍රශ්නයට පිළිතුරු බඳින්නට වුවාය. ඉතා සියුම් වේදනාවක්වත් උසුලා සිටිය නොහැකි සයුරංගී  රාත්‍රිය පුරා නිදි නොමැතිව වේදනාවෙන් මිරිකෙමින් රැය පහන් කරන්නට ඇති බව  මධුරංගට වටහා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවුයෙන්, දිග සුසුමක් තම මුවටත් හොරෙන් පිට වන්නට විය.

               "මටම පුදුමයි වෙලාවකට මන් ඒක ඉවසන් හිටියා"

        සුසුමකින් හුමිටි තබමින් කතාවට සවන් දෙන පෙම්වතාගේසුරතේ එල්ලෙමින් සයුරංගී තව දුරටත් දොඩමලු වන්නට වුවාය.

               "උදේ බෙහෙත් ගන්න ගියා. ස්කෑන් වගයක් කර ගන්නෙයි කියලා කිව්වා." මධුරංගගේ ඊළඟ පැනයට පිළිතුරු ලෙස ඇය පවසන්නට වුවාය.

   දින සති වලට පෙරලී කාලය ගලා යන්නට විය. ඇගේ රෝගී තත්ත්වයද දිනෙන් දින උග්‍ර අතට හැරෙන්නට වූ අතර  වරින් වර ක්ලාන්තය සෑදීමද වන්නට විය. වෛද්‍ය පරීක්ෂණද යුහුසුළුව පැවැත්වුයේ නමුදු කිසිදු සාර්ථක ප්‍රතිකර්මයක් ලබන්නට තරම් ඇය වාසනාවන්ත නොවූවාය.

         සති මාස ගණන් බවට පත් වන්නට විය. ඇයගේ රෝගී තත්ත්වය කෙමෙන් සුව අතට පත්වන බව  ඇය පවසන්නට වූ අතර, ඒ වනවිට ඇය කෙරෙන් මධුරංග කෙරෙහි තිබූ ආදරය ද කෙමෙන් ගිලිහෙන්නට විය. සයුරංගී ගැන සයුරංගීගේ චරිතය ගැන විවිධ කට කථා පැතිරෙන්නට විය. ඇයගේ වෙනස් වීම මධුරංගගේ සිත පාරන්නට වූයේය.

     සයුරංගී පන්තියට නොපැමිණි දින ගණන, පැමිණෙන දින ගණනට වඩා වැඩි වන්නට වන විට මධුරංගගේ  දින චර්යාවද ඒ හා සමාන වන්නට විය. එසේ ගෙවුණු එක් දිනෙක සයුරංගී එනතෙක් මග රැක සිටි මධුරංග  සුන්වූ බලාපොරෝත්තුද සමගින් වෙරල තීරයට පා නැගුවේ සිත සැහැල්ලු කර ගැනීමේ අටියෙනි. එහෙත් සියල්ල කණපිට හැරෙන්නට විණි. දෑස බොඳ වී යන්නට විය. මේ තමාට ආලය කල සයුරන්ගීමද? ඒ පැනයට පිළිතුරු සොයනුවස්  පිසදා ගත් දෙනෙතින් මධුරංග යලි ඒ දර්ශනය දෙස බලන්නට විය. පෙර දිනකදී ඇයගෙන් ආදරය සිඟමන්  යදිමින් පැමිණි අයෙකුගේ උරහිසට තුරුළු වෙමින් අයිස් ක්‍රීම් කන සයුරන්ගීය.  ඔව්. මේ ඇයමය. දෙලොවක් අතර තනි වුනු මධුරංග තීරණයක් ගෙන වට පිට බැලුවේය. ඇය තවමත් තමා  දැක නොමැත. නැතිනම් නොදැක්කා සේ සිටිනවා විය යුතුය. ආදරය කල තැනැත්තියගේ සතුට පමණක් තම සතුට විය යුතු බව මධුරංගගේ තීරණය විය. ඇගේ සතුට වෙනුවෙන් තම සතුට පූජා කල ඔහු, බොළඳ  පෙම්වතාගේ චරිතයට සමු දෙමින් බැස යන හිරු රැසින් දෝවනය කරගත් ගතට තම සිතෙහි බරද පටවා  එතනින් නික්ම  යන්නට හැරුනි.
   
            " මධුරංග මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" සයුරංගීගේ හොඳම යෙහෙළිය වූ භාග්‍යා දිනෙක අතර මගදී හමුවී නොකී රහසකට මුල පුරන්නට වුවාය.

      "සයූ තාමත් ඔයාට ආදරෙයි. එයා එයාගේ ලෙඩේ ගැන හිතනවා වැඩියි  මධුරංග. ඒකි කියනවා ඔයත් එක්ක ගියොත් එයාගේ පවු වලටත් ඔයාට කර ගහන්න වෙයිලු. ඒකයි ඔයාව මග අරින්නේ."

        "එතකොට මාලක? ඒක බොරුවක්ද?" තමාට ඇසුණුදේ අදහා ගත නොහැකිව  මධුරංග ඇසීය.

        "ඔව්. මාලක කියන්නේ ඔයාව රවට්ටන්න අල්ලගත්තු ඉත්තෙක් විතරයි."

         "ඇයි භාග්‍යා ඔයා මට මේ ටික කියන්න මෙච්චර කල් ගත්තෙ? මේකිට ඔච්චර දුක් උහුලන්න බැරි බව ඔය දන්නවා නේද?" දුක වේදනාව මෙන්ම ශෝකයද පිට කරමින් මධුරංගට කෑ ගසන්නට විය.

         "සොරි  මධුරංග සයූ මාවත් රැවැට්ටුවා. මේ කතාව මට කිව්වෙත් ඔයාට කියන්නෑ කියල පොරොන්දු කරගෙනයි."
     
        භාග්‍යාගේ මැදිහත් වීමත් සමඟින් සයුරංගී නැවතත් මධුරංගගේ තුරුලට පැමිණියේ ඒ සඳහා ගත්  අප්‍රතිහත ධෛර්යයේ ප්‍රථිපල මල් පල ගන්වමිනි.

Friday, August 3, 2012

ටිකට් නැතුව ගිය දුර

        ඊයේ උදේ මන් වැඩට යද්දි බස් එකේ නන්ස්ටොප් ඒකක් දාලා තිබුනා. ඇත්තටම ඒක ඇහුවේ අවුරුදු දහයකට විතර පස්සේ. අපි ඉස්කෝලේ යන කාලේ සෙනිත්ලගේ ගොඩක් හිට් වෙච්ච එකක්. ඒකත් එක්ක මගේ හිත අපි දහයේ එකොලහේ පන්ති වලදී පිස්සු කෙලපු කාලය දක්වාම ඇදිලා ගියා. හ්ම්ම්...
ඒ කාලේ වයස ගෙවෙනවා තේරුනේ නැති  හැටි, ඉක්මනට ලොකු වෙන්න රස්සාවක් කරලා හම්බ කරන්න හිතපු හැටි මතක් වෙනකොට ගිහින් කනට දෙකක් ගහල එන්න හිතෙනවා.
    
        ඉතින් ඒ දවස්වල මම ඕලෙවල් කරපු ඉස්කෝලේ (9-11) ටිකක් දුප්පත් එකක්. අපේ සෙට් එකේ මම, දිනේශ්, සුමිත් වගේම රුවන්, මිලින්දත් හිටියා. මේ කතාවෙ කතා නායකයා රුවන්. ඌට සංගීත පිස්සුවක් ගහල තිබුන. ඩ්‍රම්ස් තමයි ප්ලේ කලේ. මන් ගාව තිබුනෙ ප්ලාස්ටික් කවකටු පෙට්ටියක්. තව එකෙකුට ඔක්ස්ෆර්ඩ් එකක් තිබුන. ඒක යකඩ. ඕවා තමයි ස්නෙයාර්ස්. ලී කකුල් තියෙන, හයිය, ඒ උනාට උඩ ලෑල්ල නියම පදමෙට තියෙන ඩෙස් එකක් තට්ටු කරලා බලල ගන්නවා ෆුට් එකට. පියන බාගෙට ඇරපු යකඩ කවකටු පෙට්ටියක් හරි ඩෙස් එකට අඟලක් විතර උඩින් තව එකෙක් අල්ලන් හිටපු පෑනක් හරි තමයි සිම්බල් එක. කාගේ හරි පෑන් දෙකක් තමයි ඩ්‍රම්ස්ටික්. ඔන්න ඔහොම තමයි අපි දුක් මහන්සියෙන් ඩ්‍රම් එක හදාගත්තෙ. 
        අපිට ඉන්ටවල් එකේදී කෑම ගැන කිසිම සිහියක් නෑ. ඇත්තම කිව්වොත් ගොඩක් කට්ටිය කෑම ගෙනාවේ නෑ. ලොකු කමටවත්, උස්සන් එන්න බැරි කමටවත් නෙමෙයි.   ගේන අපිත් ප්‍රිෆෙක්ට් බල තල භාවිතා කරලා හතර වෙනි පීරියඩ් එකේ අන්තිමට කැන්ටිමට ගිහින් හරි පන්තියේදී හරි ගේම දෙනවා.   ඉතින් ඉන්ටවල් වෙලාව අපි උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා. 
          සන්ෆලවර් රැල්ල, ප්‍රොමිසස් රැල්ල වගේම තව තව රැලි ආවේ ඒ කාලේ තමයි. සෙනිත්, ප්‍රොමිසස් නන්ස්ටොප් වල හින්දි ඉංග්‍රීසි සින්දු ඇරෙන්න අනිත් ඔක්කොම එක අකුරක් නෑර අපිට කටපාඩම්. අතුල ශ්‍රී ගමගේ, කපුගේ, හෙන්රි කල්දේරා, සනත් නන්දසිරි, විජය බණ්ඩාර වැලිතුඩුව, ආත්මා, මාලිනි බුලත්සිංහල, දයාරත්න රණතුංග, අසංග, ප්‍රියා, ටී එම් වගේම අමරදේවත් අපේ සින්දු කොපි කරලා තමයි සන්ෆලවර් එක්ක ගැහුවේ. (අමරදේව මාස්ටර් විතරයි කොපි කලේ නැත්තේ). "යෝවද තම්පව".... අප්පේ, ඒක අපි කිව්වේ ඉස්කෝලේ අරිද්දිනම් නෙවෙයි ඕන්. 
            ඉතින් රුවන්ගේ මුල පිරීම යටතේ අපේ සහය ගායනයෙන් වගේම තට්ටු බට්ටු වලිනුත් හෝල් එකම දෙවනත් වෙනවා. හැබැයි අපි කියපු සින්දු වලට උපරිම සාධාරණයක් කලා. ඒක හින්දම ඉහලින් කිසිම බාධාවක් අවෙත් නෑ. අනික දහය එකොලහ පංති වලදි  මිලින්ද ඇරෙන්න අපි ඔක්කොම සිස්ස නාකියෝ. අනික දිග කලිසම් ගහපු අයියලා. ඉතින් දොළහේ දහතුනේ ඉන්න එව්වොත් අයියලද? 
   බස් එක ටිකට් නැතුවම මගේ මතකය අරගෙන ගිය දුර..... ඊයේ රෑම මන් සෙනිත්ලගේ නන්ස්ටොප් එක බාගන්න දැම්මා. අද උදේ තමයි ඇහුවේ.

උපාසකම්මාගේ සිල්

යකෝ මගේ ඉඩම
දෙන්න බෑ මැදින් පාර
ඕක විතරයි තියෙන්නෙ මට
ඉන්නකන් සැනසෙන්න

හතර පෝයට ගන්න සිල්
මදි බව නිර්වාණයට
අවබෝධ කර ගත්තෙ
තොපි කියන්නත් පෙර

මාරයා ශේප් කරගන්න
සදෙව් ලොවේ දොර අරින්න
දෙන්න තියෙන කොමිස් එක
ඔය ඉඩම බව දැනගන්න

තොපි එනවා ඒකත්
වෙන්කර මැදින් යන්න
වලත්ත පර හැත්ත

Thursday, August 2, 2012

දිනක් ගතවී ගියා

පොඩි එකී ලොකු උනා
කල වයස ලං උනා
සුදුසු නැකතක් බලා
කටයුත්ත ඉටු උනා

විලි රුදා ඇති උනා
මෙලොව එලි දුටි පොඩි එකා
දිනක් ගතවී ගියා
නෑයෝ එයි බැලුමට කියා

පොඩි එකා ලොකු වෙත්ම
එන එවුන් අඩු වේද
ලැබෙන සැලකිලි එහෙම
කුඩම්මටම සම වේද

වැදු එකාමයි දන්නේ
වැදුවේ ඌ නොම පමනක්නේ
බලාපොරොත්තු ගොඩකුත්නේ
ඒ අස්සෙන්ම එලි දැම්මේ

ලොකු උන්ගේ උපදෙසුත්
අවවාද අනුශාසනුත්
මහා මෙරක් සේ දැනුනේ
කුලුදුල්ම හින්දලුනේ

තොපි එකෙක් නාවත් මට
පුළුවන් මූ හදා ගැනුමට
කියන්නේ කෙලෙසින්ද
හිත තුටින් එන කලට

මාමේද බාප්පේ
නැන්දේද පුංචි අම්මේ
අයියේද අක්කේ
නන්ගියේද මල්ලියේ

ඔන්න මන් එනවා
තොපේ අහත් බලන්නට
මේ අහත් බලාලා
ඔවදනක් දී යන්න ...!

Wednesday, August 1, 2012

රන් කිරි කට ගෑම......

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියලා බ්ලොග් ලෝකයට එකතු උනා......
                 න්‍යාය පත්‍රයට අනුව මුලින්ම තියෙන්නේ බ්ලොග් ලෝකෙට එන්න පාර කැපුනු හැටි පැහැදිලි කරන එක තමයි ඕන්.  

     කාලෙකට ඉස්සර කෆීර් 2ක් හැප්පුනු සිද්ධිය  නෙට් එකේ සර්ච් කරනකොට  තමයි මුලින්ම මාරයා මහත්තයා මුණ ගැහුනේ. හැබැයි ඉතින් දෙයියනේ කියලා නිව්ස් එක බැලුවා, ඒත් එක්කම තිබුන මාරයා 
පැවිදි වීමේ පොස්ට් එක බැලුවා එච්චරයි. ඊට පස්සේ ප්‍රොෆයිල් එකේ ඇඩ් කරලා තියෙන ලිස්ට් එකෙන් ගිහින් ප්‍රසාගේ ෆන් ලෝකය බැලුවා. ඊට පස්සෙනේ යකෝ දන්නේ මේ ඔක්කොම ලියන්නේ එකෙක් නෙවෙයි කියලා. (මාරයාගෙ ප්‍රොෆයිල්  එක හරහා ගිය හින්දා රැවටුනා නේ.) ෆන්ලෝකය ඉවර කළා,  ඊට පස්සේ බ්ලොග් ගඩොල් ඉවර කළා. රත්ගමයාටත් ඒ සෙතේමයි. ආයේ අවා මාරයා ඉන්න ඉසව්වට. එයාවත් ඉවර කලා බුදු ගේමක් දීලා. ඇයි දෙයියනේ මන් නිවාඩු පාඩුවේ පෝස්ට් එකක් දෙකක් කියෝනකොට මෙහෙන් පෝස්ට් තුන හතරක් දාලනේ. 
        බෝලකලුවලානේ දුමී (නම හැදීමේ ගෞරවය බ්ලොග් කලාවේ දෑවෙන්තයෙකුට හිමි වන අතර භාවිතය පමණක් අහිංසක මම විසින් සිදුකරන ලදී.) ගේ ඉසව්වෙත් පදිංචි වෙලා ඔක්කොම කියෙව්වා. අපි හැමෝගෙම ආදර ගෞරවයට පාත්‍ර උනු ඔබා මාමාගේ බ්ලොග් එකත් කියෝලා ඉවර කලා. ඇත්තටම මන් ඒ දවස්වල ඉඳලම හීන මැව්වේ ඔබා මාමා මගේ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් දානවා දකින්නයි. අන්තිමේදී ඒක හීනයක්ම උනා. ඔබාල, මාරයල කින්ඩි දාන්නේ මොකාටද කියල බලනකොට මෙන්න ඉන්නවා වෙනී අයියා. වෙනී අයියාගේ කතා සේරම ලස්සනට ලියලා තියෙනවා. (අහල පහල හින්දා කිව්වා නෙවෙයි ඕන්. පොඩි මෑන්, ඔබ නොදුටු ලොවක්, සෑම් ලගේ බ්ලොග් අකුරක් නෑර කියෝලා ඉවර කලා. අද දවස ඇතුලත ඕන මැන්ටලෙත් කියෙව්වා. 
              මීට අමතරව විචාරකසත්සමුදුර වගේම තව ගොඩක් ඒවා වෙලාවක් ලැබුනු විගස ගිහින් බලනවා. ප්‍රසන්න අයියගේ එකත් බැලුවා හරිද?.

        මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් හීන මැව්වා. ඒ හීනේ හැබෑ උනා. මෙතනින් එහාට 
තියෙන්නේ. දෙයියනේ කියල සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් පවත්වා ගෙන යෑම තමයි. ප්‍රසන්න අයියා විතයි අද වෙනකන් අති සාර්ථක බ්ලොග් එකක් කරලා තියෙන්නේ. ට්‍රයි එකක්  දීල බලන්න ඕනි ඒ රෙකොර්ඩ් එක මට ගන්න.
         හා හා වැඩි කතා ඕනි නෑ. හෙට උදේට වැඩට යන්නත් එපායැ. ඕන් මන් පටන් ගත්තා එහෙනම් ඈ.