Monday, August 6, 2012

ආදරයක් හින්දා... (පළමු ඉකි බිඳුම)

         පාලු නිහඬ රැයේ බස්සෙකුගේ මූසල හඬ දෝංකාර දෙමින් මධුරංගට ඇසෙන්නට විය. ඇඳෙහි කොනකින් වාඩිවී සිටි ඔහු, දණහිස් මතට බර කල දෑතට තම අවුල් වූ  කෙසින් යුතු හිස බර කර ඇඟිලි තුඩු හිස කෙස් අතරින් යවමින් ගත වූ කාලය ගැන සිහි කරන්නට විය. ඔහුට තවත් හඬා වැළපීමට ඇවැසි නොවෙයි. එමෙන්ම සිදුවූ දෙය ගැන, ගතවූ කාලය ගැන පසු තැවිය යුතුද නොඑසේ නම් සතුටු විය යුතුද යන්න ගැන අදහසක් නොමැත. ඔහුගේ සිත හිස්ව ගොසිනි.

       සයනය මත දිගාවී හුන් සයුරංගීගේ දෑස  පියවී ගොසිනි. දෑස අග වියලී ගිය කඳුළු බින්දුවකි. මුවඟ රැඳී ඇති සිනහව සතුටු සිනහවක්ද, දුක්බර එකක්ද යන්න තේරුම් ගැනීමට අපහසුය. එය තේරුම් ගැනීමට සමත් කිසිවෙකුත් මෙලොව සිටීදැයි පවා සීතීමටද අපහසුය. ඇගේ එක් අතකින් පසෙකින් වූ කොට්ටය මිරිකා ගත් ගමන්ය. කකුලක් නිදහසේ දිග හැර සිටි සයුරංගී සිටියේ අනෙක නවාගත් ගමන්ය. තරමක් ඉස්සුනු පාදය නිසාවෙන් හැඳ සිටි ඇඳිවත ඉස්සී ගොස් විලි වැසී තිබුනේ යාන්තමිනි. කොහු මෙට්ටයකින් යුතු සයනය මත වූ ඇඳ ඇතිරිල්ල සුළු මොහොතකට පෙර තෙත්වූ ගමන්ය.

                    හිස් බැල්මෙන් සයුරංගී දෙස බැලූ මධුරංගගේ සිත වසරක පමණ අතීතයට දිව යන්නට විය.

       දිනය මතක නැතත් තවමත්  මධුරංගට තවම  එදවස මතකය. එය ඉරිදාවකි. වැහි වලාකුලකින් හිරු රැස් මුවා වී තිබුණු අඳුරු ඉරිදාවකි. විසිළු බස් දොඩමින්, හිනාවෙමින්, කෑ ගසමින් පන්තියට යන ළමුන් අතරින් සයුරංගී තමා වෙත ආවේ වෙනදා මෙන් සතුටින් පිරී ගිය දෙනෙතින් යුතුව නොවන වග හඳුනා ගැනීමට මධුරංගට අමුතුවෙන් සිතීමට කාලය අවශ්‍ය නොවිණි. විඩාබර, රතුවන් දෙනෙත් යුග අමුතු කතන්දරයක් කියා පෑමට  උත්සහ දරන බව ඔහුට වැටහුණි.

               "ඊයේ රෑ ඔලුවේ කැක්කුමක් හැදුනා මධූ"

      තනි වූ මොහොතේම කතාවට මුල පිරූ ඇය තමා විසින් මෙතෙක් මුවින් පිට නොකළ නමුත්, දෙනෙතින් ඇසු ප්‍රශ්නයට පිළිතුරු බඳින්නට වුවාය. ඉතා සියුම් වේදනාවක්වත් උසුලා සිටිය නොහැකි සයුරංගී  රාත්‍රිය පුරා නිදි නොමැතිව වේදනාවෙන් මිරිකෙමින් රැය පහන් කරන්නට ඇති බව  මධුරංගට වටහා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවුයෙන්, දිග සුසුමක් තම මුවටත් හොරෙන් පිට වන්නට විය.

               "මටම පුදුමයි වෙලාවකට මන් ඒක ඉවසන් හිටියා"

        සුසුමකින් හුමිටි තබමින් කතාවට සවන් දෙන පෙම්වතාගේසුරතේ එල්ලෙමින් සයුරංගී තව දුරටත් දොඩමලු වන්නට වුවාය.

               "උදේ බෙහෙත් ගන්න ගියා. ස්කෑන් වගයක් කර ගන්නෙයි කියලා කිව්වා." මධුරංගගේ ඊළඟ පැනයට පිළිතුරු ලෙස ඇය පවසන්නට වුවාය.

   දින සති වලට පෙරලී කාලය ගලා යන්නට විය. ඇගේ රෝගී තත්ත්වයද දිනෙන් දින උග්‍ර අතට හැරෙන්නට වූ අතර  වරින් වර ක්ලාන්තය සෑදීමද වන්නට විය. වෛද්‍ය පරීක්ෂණද යුහුසුළුව පැවැත්වුයේ නමුදු කිසිදු සාර්ථක ප්‍රතිකර්මයක් ලබන්නට තරම් ඇය වාසනාවන්ත නොවූවාය.

         සති මාස ගණන් බවට පත් වන්නට විය. ඇයගේ රෝගී තත්ත්වය කෙමෙන් සුව අතට පත්වන බව  ඇය පවසන්නට වූ අතර, ඒ වනවිට ඇය කෙරෙන් මධුරංග කෙරෙහි තිබූ ආදරය ද කෙමෙන් ගිලිහෙන්නට විය. සයුරංගී ගැන සයුරංගීගේ චරිතය ගැන විවිධ කට කථා පැතිරෙන්නට විය. ඇයගේ වෙනස් වීම මධුරංගගේ සිත පාරන්නට වූයේය.

     සයුරංගී පන්තියට නොපැමිණි දින ගණන, පැමිණෙන දින ගණනට වඩා වැඩි වන්නට වන විට මධුරංගගේ  දින චර්යාවද ඒ හා සමාන වන්නට විය. එසේ ගෙවුණු එක් දිනෙක සයුරංගී එනතෙක් මග රැක සිටි මධුරංග  සුන්වූ බලාපොරෝත්තුද සමගින් වෙරල තීරයට පා නැගුවේ සිත සැහැල්ලු කර ගැනීමේ අටියෙනි. එහෙත් සියල්ල කණපිට හැරෙන්නට විණි. දෑස බොඳ වී යන්නට විය. මේ තමාට ආලය කල සයුරන්ගීමද? ඒ පැනයට පිළිතුරු සොයනුවස්  පිසදා ගත් දෙනෙතින් මධුරංග යලි ඒ දර්ශනය දෙස බලන්නට විය. පෙර දිනකදී ඇයගෙන් ආදරය සිඟමන්  යදිමින් පැමිණි අයෙකුගේ උරහිසට තුරුළු වෙමින් අයිස් ක්‍රීම් කන සයුරන්ගීය.  ඔව්. මේ ඇයමය. දෙලොවක් අතර තනි වුනු මධුරංග තීරණයක් ගෙන වට පිට බැලුවේය. ඇය තවමත් තමා  දැක නොමැත. නැතිනම් නොදැක්කා සේ සිටිනවා විය යුතුය. ආදරය කල තැනැත්තියගේ සතුට පමණක් තම සතුට විය යුතු බව මධුරංගගේ තීරණය විය. ඇගේ සතුට වෙනුවෙන් තම සතුට පූජා කල ඔහු, බොළඳ  පෙම්වතාගේ චරිතයට සමු දෙමින් බැස යන හිරු රැසින් දෝවනය කරගත් ගතට තම සිතෙහි බරද පටවා  එතනින් නික්ම  යන්නට හැරුනි.
   
            " මධුරංග මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" සයුරංගීගේ හොඳම යෙහෙළිය වූ භාග්‍යා දිනෙක අතර මගදී හමුවී නොකී රහසකට මුල පුරන්නට වුවාය.

      "සයූ තාමත් ඔයාට ආදරෙයි. එයා එයාගේ ලෙඩේ ගැන හිතනවා වැඩියි  මධුරංග. ඒකි කියනවා ඔයත් එක්ක ගියොත් එයාගේ පවු වලටත් ඔයාට කර ගහන්න වෙයිලු. ඒකයි ඔයාව මග අරින්නේ."

        "එතකොට මාලක? ඒක බොරුවක්ද?" තමාට ඇසුණුදේ අදහා ගත නොහැකිව  මධුරංග ඇසීය.

        "ඔව්. මාලක කියන්නේ ඔයාව රවට්ටන්න අල්ලගත්තු ඉත්තෙක් විතරයි."

         "ඇයි භාග්‍යා ඔයා මට මේ ටික කියන්න මෙච්චර කල් ගත්තෙ? මේකිට ඔච්චර දුක් උහුලන්න බැරි බව ඔය දන්නවා නේද?" දුක වේදනාව මෙන්ම ශෝකයද පිට කරමින් මධුරංගට කෑ ගසන්නට විය.

         "සොරි  මධුරංග සයූ මාවත් රැවැට්ටුවා. මේ කතාව මට කිව්වෙත් ඔයාට කියන්නෑ කියල පොරොන්දු කරගෙනයි."
     
        භාග්‍යාගේ මැදිහත් වීමත් සමඟින් සයුරංගී නැවතත් මධුරංගගේ තුරුලට පැමිණියේ ඒ සඳහා ගත්  අප්‍රතිහත ධෛර්යයේ ප්‍රථිපල මල් පල ගන්වමිනි.

2 comments:

  1. කතාව හොඳයි. ඉවර වුනාමයි කෙටි කතාවක් කියලා දන්නෙ. මොකද මම හිතුවා ඉකිබිඳුම කිව්වම පරිච්ඡේද වලින් මෙගා එකක් බාන්න යනවා කියලා...
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  2. සාදරයෙන් මේ පැත්තට පිලිගන්නවා හෙන්රි අයියා,
    දවස් දෙක තුනක් තිස්සේ කොටලා ඉවර කරන්න බැරි උන හින්ද තමයි මෙහෙම දැම්මේ. නැත්නම් මේ පැත්ත පාලු වෙනවනේ. මෙගා නම් මන් ලියන්නෙත් නෑ. මට ලියන්නත් බෑ.

    කතාව ගැන අදහස් දැක්වුවාට ස්තුතියි. ඉතුරු කෑල්ලත් බලන්න එන්නකෝ එහෙනම්.

    ReplyDelete