Wednesday, February 27, 2013

විසිඅටත් නැති උනානම්........


 ඇත්ත වශයෙන්ම නෝනාවරුනි, මහත්වරුනි,

              අද මම මේ අවස්ථාව අවස්ථාවක් කර ගන්නවා අපිව බේරාගත්තු උත්තමයන්ට ස්තුති කරන්න. මහා කෙරුමක් කොලා කියලා දවසකට පැයක් හමාරක් කට්ට එහාට මෙහාට කොරපු උන් ගැන මතක් වෙනකොට මට පට්ට විදියට හිනා යනවා අපෙ හාමුදුරුවනේ. අන්තිමේදී එව්වත් ආයේ අකුලා ගන්න උනානේ. හුහ්! එව්වයැ වැඩ. අපේ උත්තමයන් මාසෙකට කොරාපු වැඩ මුන් අහලවත් නැතුව ඇති.



           අපේ චාමික මලයා කියාපු හින්දා මාත් පොර වගේ කියන්නේ. ජුලියස් සීසර් උත්තමයා නැත්නම් අපි කොහොමද අප්පා ජීවත් වෙන්නේ. (ඇඩෙනවා ඕයි!) දවස් විසිහතක් වෙලා තිබුණු පුංචි මාසෙට තවත් දවසක් එක්කහු කොරලා යාන්තම් දවස් 28ක් අපිට හදලා දුන්නු එහෙව් උන්ට පිං දීලත් මදි. 



          ඇත්තටම සහෝදරවරුනි, ඇයි මේ අය 28 කැලැන්ඩරේට දැම්මේ? පුළුවන්නම් අර මල්ලි නැගිටලා කියන්න බලන්න. කෝ... කියන්න. ආ... බෑනේ.. මෙහෙව් දවසක වැදගත්කම රෝමේ ආදී කාලීනයොත් දැනන් උන්නු එකේ බොලා දන්නේ නෑ. ලැජ්ජයි ඕයි. 



             දැන් බලන්න මගේ ආච්චියේ, විසිඅටේ වැදගත්කම දැන් හැදෙන උන් දන්නැති හැටි. කඩේ පිලේ රස්තියාදු ගහනවා ඇරෙන්න මුන් මේ ලෝකෙ දෙයක් දන්නවයැ. අනේ මයේ අප්පේ, {ඉග්!!} (ඉකි ගහමින්) මට ...... --පොඩ්ඩකට සමාවෙන්න හොටු පොඩ්ඩක් හූරලා එන්නම් නැන්දේ.....-- ආ හරි..  අනේ මයේ අප්පේ, මට මතක් වෙන්නේ බොලාලා මාස් කන්නේ වී ගොයිතැන් කරලා කපලා ගත්තු වී ටික ගෙට ගන්න ඉස්සෙල්ලා මුරුගසන් වරුසාවට අහු වෙච්ච දවසේ දීපු අදෝනාව. ඉතිං තොපිලට පොඩ්ඩක් හරි තේරෙන්න ඕනි මං ගැන. සීසර් උත්තමයා නැත්නම් මටත් ඒ සන්තාසියම තමයි යකුනේ. {ඉග්!!}



           මාසයක් කඹුරපු මට පඩි දවසත් නැති කලානම් උගෙ අම්මට.. !@#!@%^@$@#@$##^^&*$@#$ 
        (සභාවේ ගාලගෝට්ටිය මැද අකමාගේ කට වැසූ හැඩි දැඩි පිරිසකගේ කර මතින් වේදිකාවෙන් නික්මෙන අකමා ගෑණු දැරිවියෝ දැක්කෙ නැත්තේ ආවේගශීලී වචන ඇඟේ ඇනෙන විටම උන් පැන දිව් බැවිනි)

ප.ලි.

     අද අකමගේ පඩි දවසනේ..... ආදී කාලේ වගේ මාසේ දවස් විසි හතකින් ඉවර උණානම්......
මේකත් බලලා හිටියනම්....................                                                                                     
                       ඔන්න සෙන්නෝ උඹට ෆුල් මාක්ස් :D

Monday, February 25, 2013

සිංග්ලිෂ්, ණන, ළල අච්චාරුව

         හැම භාෂාවකම සමාන පද ඕන තරම් තියෙනවා. ඒත් රූපමය සමාන පද? එහෙමත් නැත්නම් උච්ඡාරණයෙන් සමාන පද? ඔන්න එහෙනම් දන්නැත්නම් බලා ගන්නකෝ...


මේක දාන්න හේතු උනේ එක ෆීල්ඩ් එකක යෙදිලා ඉන්න කෙනෙක් තවත් ෆීල්ඩ් එකක ඉන්න සෙට් එකක් එක්ක වැඩ කරන්න උන වෙලාවට මුහුණ දෙන අකරතැබ්බ මතක් වෙලා.


---------------------------------------------------------------------------


කී බෝඩ්

ඔෆිස් වල/ කර්මාන්තශාලාවල තියෙන කී බෝඩ් තමයි මේ.  (මේකේ නියම නම කී කැබිනට් කියලා දැනුයි දැනගත්තේ)




ඕන දොරකට




ඊළඟට හැමෝම ගහන කී බෝඩ් එක.



මේ කීබෝඩ් එක නැත්නම් අපි බ්ලොග් ලියලත් ඉවරයි. එව්වා බලලත් ඉවරයි.




-------------------------------------------------------------------------------

වීල්


ඔරලෝසු හදන අයගේ ඉඳන් විවිධ යාන්ත්‍රික උපකරණ හදන අයගේ වීල් එක



එතකොට රියදුරෝ දන්න එක




ඔන්න හෙන්රි අයියගේ නිවැරදි කිරීම


මේක තමයි බජාර් එකේ වීල් එක



වීල් එකේ ක්‍රියා පදය තමයි වීල් කරනවා කියන්නේ. මෙන්න මෙහෙමයි වීල් කරන්නේ.





---------------------------------------------------------------------------

චූ කරනවා


මේක ක්‍රියා පද දෙකක්. පළවෙනි එක ගැන මුකුත් කියන්නේ නෑ.



මේ නංගිත් ඔන්න චූ කරන්න යනවා.




-----------------------------------------------------------------------


              අපි සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී වෙන වැරද්දක් තමා ණන, ළල මාරු වීම. ගොඩක් වෙලාවට අපි ගහන්න යන දේ ටයිප් නොවෙන ප්‍රශ්නෙකුත් තියෙනවා. (ප්‍රශ්නේ?) ඕකට මගේ විසඳුම එක වචනය දෙතුන් ගමනකට ටයිප් කිරීම. ඒත් එව්වා එහෙම කරනකොට කියන්න ආපු දේ මතක නෑ. ලියලා පස්සේ එඩිට් කරනකොට ඒක දාන්න වෙන්නේ දවස් ගානකට පස්සේ. වෙනී අයියත් ඔය ගැන කියලා තියෙන්නේ. ඔතනදි ආපු අදහස් කීපයක් තමයි ඔය ණන, ළල හෝඩියෙන් ඉවත් කිරීම. එහෙම උණොත්.......



කණ


කන
පේනවා නේද පෙරේතකම

----------------------------------------------------------------------

පැල


පැළ


--------------------------------------------------------------------

තණ

තන

පේනවද මේකිගේ තියෙන ආඩම්බරකම.
කොච්චර කිව්වත් අත අහකට ගත්තෙම නෑනේ.




        මේක දැම්මහම මතක් උනේ, ඉස්සර සිරස රේඩියෝ එකේ සූර්ය සිරස කළේ කිංස්ලියි, යුවනියි. ඔය යුවනි කියන නම මං අඳුර ගත්තේ දවස් ගානක් ඕක අහලා. එතකම් මං හිතාගෙන හිටියේ වෙන දෙයක්නේ. යුවනි නංගිගේ (ඒ කාලේ අක්කනේ :D) ෆොටෝ එකක් දාන්න බැරි හින්දා අනිකෙ ෆොටෝ එකත් අයින් කොලා ඕන්.

Saturday, February 23, 2013

ඉගෙන ගන්න ආස අයට


          අපි පොඩි කාලේ අපිට ඉගෙන ගන්න, කියවන්න ගොඩාක් අවස්ථාවල් අපේ දෙමවුපියෝ හදලා දුන්නා. මගේ තාත්තගේ විනෝදාංශය තමයි කියවීම. පුළුවන් හැම වෙලේම. ඉස්සර පුංචි පත්තරේ, බින්දු පත්තරේ, විජය පත්තරේ හැම සතියකම ගත්තා. ඒ ලංකාදීපයයි, සන්ඩේ ඔබ්සර්වර් එකටයි අමතරව. සමහරු හිනා උණා. මාස් පඩි කාරයෝ වෙච්චි අම්මයි තාත්තයි අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගනිද්දී පත්තර වලට සල්ලි නාස්ති කරනවා කියලා. සමහර දවස්වලට පත්තරේ ගන්න ළඟම ටවුමට තාත්තා යන්නේ පයින්. කිලෝ මීටර් දෙකක් වෙච්ච ඒ දුර බස් එකේ යන්නයි එන්නයි තරම්වත් මුදලක් පත්තර වලට අයින් කලාම ඉතුරු නොවෙන හින්දා..


           ඔය අස්සේ සාධන, වගේ ශිෂ්‍යත්වය උදෙසා නිර්මාණය උණු පත්තරත් ඊළඟට විදුසර, නව යුගය වගේ එව්වත් දක්වා කාලයත් එක්ක ගමන් කළා. එතකොට සමුදුර, පරිඝණක සඟරාව......

         තාත්තා ඉන්න දවස්වල ඉරිදා පත්තර ඔක්කොම වගේ කියවනවා. විශේෂයෙන්ම තාත්තා පැන්ෂන් ගියායින් පස්සේ. තාත්තගේ රාජකාරි යහළුවෙක් ගන්න ලංකාදීපය, එයාගෙ බෑණා ගන්න රාවය, හිටපු ග්‍රාමසේවක ගන්න සිළුමිණ, ඩොක්ටර් ගන්න ලක්බිම (එන හැම කෙනාම තාත්තගේ හිතවත්තු බවට පත් වෙච්ච නිසා හොඳයි) අපි ගන්න රිවිරයි, සන්ඩේ ඔබ්සර්වර් එකයි. මෙතැනදී කවුරු හරි ගන්න පත්තරේ වෙනස් උණොත් ඒකට හරියන්න අපේ එකත් වෙනස් වෙනවා. ඒත් පාඩුවක් නෑ. සතිය පුරාවටම පත්තර.


               මටත් ඔය කියවීමේ ඉතිහාසය මතක නැති කාලෙක ඉඳන්ම තියෙනවා. එව්වා මතක් කරලා දෙන්නේ ගෙදර කට්ටිය එකතු උණාම මඩකුත් එක්කම තමයි.
      ඒකත් කියන්න එපැයි. ඔන්න දවසක් කොල්ලෙක් ගියාලු තාත්තත් එක්ක ප්‍රධාන නගරෙක පුස්තකාලෙකට. තාත්තා පත්තරේ කියවනකම් මූ පත්තර බලනවලු. ඔන්න එක පාරටම “තාත්තේ තාත්තේ පුත්තකාලේ මූනෙක්” කිව්වලු.  ඒ වෙනකම් මූ හිතන් ඉඳලා තියෙන්නේ බත් කන වෙලාවට අපේ ගෙදරට විතරයි හූණෝ එන්නෙ කියලා. :D


          ඉස්කෝලේ අලුත් පොත් දීපු දවසට ගෙදරට එන්න කණවැල අල්ලන්නෙ අපේ අම්මා. පහුවෙනිදා උදේ වෙනකොට අළුත් පොත් මටනම් අළුත් එව්වා නෙවෙයි. ඔය කියවීමේ පුරුද්ද හින්දම වෙන්නැති අනිත් එව්වො ශිෂ්‍යත්වෙට පන්ති යද්දී (හැබැයි එච්චරම පන්ති මේනියාවක්නම් තිබ්බේ නෑ.) එක පන්තියකටවත් නොගිය මං ඉස්කෝලෙනුත් රෙකෝර්ඩ් එකක් තියලා ලකුණු 172ක් අරගෙන ගොඩ ගියේ. (සාපෙ ගැනත් කියන්න තිබුණත් එක පෝස්ට් එකකට එක නයෙක් හිටියම ඇති කියලා හිතුණා. :D)


          ඉතිං මං මේක ලිව්වේ තාත්තගේ විශේෂ ගුණයක් ගැන කියන්න. ඒ තමයි කියවීමට වගේම ඉගෙනීමට ඇති කැමැත්ත ගැන. තාත්තා ගෙදරට වෙලා ඉද්දි තමයි ඔය ටීවී එකේ දවල්ට යන නුග සෙවණ (අනිත් චැනල්නම් මතක නෑ) වගේ වැඩසටහන් පටන් ගත්තේ. ඉතිං එයාගේ වැඩේ ඕවයේ යන සාකච්ඡාවල සාරාංශය පොතක ලියාගෙන අපිට දෙන එක. ඒකත් පොඩි කාලේ බත් කවනවා වගේ තමයි. කන්න ගියාම, රෙදි හෝදන්න ගියාම ළඟට වෙලා එව්වා ගැන කියනවා. ඒත් කර දඬු උස් මහත් උණාම ඒවා වදයක් කියලා හිතපු වෙලාවල් අනන්තයි. (එහෙම හිතපු පවට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා කියලනම් දන්නවා.) ඒත් තාමත් සමහර වෙලාවට බලෙන් ඔලුවට දාපුවා ඕනි වෙනවා.
තාත්තගේ ඕල් ඉන් වන් පොත්
හොයාගන්න බැරි උණා. ඔක්කොම අම්මා ගාව.
ඉතිං මේ ලඟදි මට හම්බ උණු තාත්තා ලියපු කෙටි කතාවක් මේ.


               අර වැදගත් දේවල් පොතක ලියන කතාවක් මං කිව්වනේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි වචන පාඩම් කිරිල්ලත්. ඩික්ෂනරිය ළඟ තියාගෙන දවසකට නොදන්නා වචන 50ක් පාඩම් කරනවා. ඒ වගේම අපේ හොඳ පිටු ඉතුරු වෙච්ච පරණ පොත් අරගෙන ඒවා ලියලා මතකය අලුත් කර ගන්නවා. මොනවා උනත් එහෙම නොකලත් තාත්තට රැකියා තත්ත්වයත් එක්ක හොඳ ඉංග්‍රීසි පරිහරණය කිරීමේ හැකියාවක් තිබුණා. ඒත් නොදන්නා දේවල් අනන්තයිනේ.


              ඉතිං මෙච්චර දෙයක් කියලා වටෙන්ම ආවේ මේ වගේ ඉගෙන ගන්න ආස අය ඉන්නවනම් අතිශයින්ම වැදගත් සොෆ්ට්වෙයාර් එකක් හම්බ උණා. මේ ගැන දැනටමත් දන්නා ගොඩක් අය ඉන්නවා. ඒත් නොදන්නා එක්කෙනෙක් හරි ඇතිනේ කියලා තමයි මේ ගැන කියන්නේ.

             නාමල් ජයතුංග කියලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් හදාපු ඩික්ෂනරියක්.
    “The Namal Dictionary” හෙවත් “The NDictionary”.

            මේකේ මටනම් හැම ඔප්ෂන් එකක්ම වැදගත්. සිංහල යුනිකෝඩ් වගේම සිංග්ලිෂ් වලිනුත් ටයිප් කරන්න පුළුවන්. ප්‍රෝනවුන්ස් කරන හැටිත් තියෙනවා. ඉංග්‍රීසි-සිංහල වගේම ඉංග්‍රීසි-ඉංග්‍රීසි තේරුම ගන්නත් පුළුවන්. KMPlayer එකෙන් ෆිල්ම් බලද්දී සබ්ටයිට්ල් වල තේරුම බලන්නත් පුළුවන්. ග්‍රෑමර් චෙක් කරන්නත් පුළුවන් (ඒකනම් මාත් බැලුවේ නෑ) තව වැදගත්ම දේ තමයි දවසකට වචන දහයක් දෙනවා පාඩම් කරන්න.


               ඉතිං මේ දිරිය පුතණුවන් මහන්සි වෙලා හදපු මේ ශබ්ද කෝෂය පාවිච්චි කරලා බලලම මොකක් හරි ඒ ගැන එයාගෙ සයිට් එකේම කියන්නකෝ දිරි දීමක් විදියට.  මෙන්න මෙතනින් එයාගේ නාමල් යායට යන්න පුළුවන්.

මෙන්න ලින්ක් එකත්,
http://namalyaya.blogspot.com/2012/12/EnglishSinhalaDictionary.html

Tuesday, February 19, 2013

කට්ටි පැනලා ඉස්කෝල තුනකින්ම චාටර් උණා කියන්නේ....


            අදනම් කියන්න යන්නේ අකමට වෙච්ච චාටර් සිද්ධි ටිකක්. ආගිය කතා එතකොට පියසේන මාමට වගේම බාසුන්නහේලට මඩ ගහන එව්වා එතකොට කවි එහෙම කියා කියා හිටියා මිසක් මං ගැන හැඳින්වීමක් කලේම නෑනේ.  ඕන්එහෙනම් කට ඇරගෙන බලන් හිටිය හැමෝටම.

          මෙව්වා ලියනකොට පිළිවෙල කියන එකට වඩා රසවත් භාවයනේ වැදගත් වෙන්නේ. ඉතිං ඔන්න හොඳ හොඳ එව්වා එළිවෙන ජාමෙට කියලා 3,2,1 පිළිවෙලට ඉදිරිපත් කරන්නම්කෝ.....

------
ප.ලි. සිද්ධි දහසකට එකක් විතර තමයි මෙහෙම උණේ. වරදවා හිතන්නෙපා හැමදාම මෙහෙමයි කියලා. මතකනේ... දාහකට එකයි.
-------

කට්ටි පැනීමේ 3.
        මේක උනේ ඒලෙවල් කරන කාලේ. ඒ දවස්වල පන්තියටම එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා කම්පියුටරයක් ගෙදර තියෙන අය හිටියේ නෑ. ඉතිං අපේ සෙට් එකේ හිටපු අයගේ වැඩි හරිය රජයේ රැකියාවන්වල යෙදුණු දෙමව්පියන්ගේ ළමයි. ඒ කියන්නේ දවල්ට උන්ගේ ගෙවල් සුරපුර වගේ තමයි. ඒ කාලේ පාඩම් කරන්න, “ජීන් ක්ලූඩ් වෑන් ඩැම්”ගේ, “ආනොල්ඩ්”ගේ නැත්නම් “සිල්වියා සෑන්ට්”ගේ චිත්තර පටියක් බලන්න එහෙම සෙට් වෙන්නේ ඔය වගේ ගෙයක තමා.
ඉතිං ඔන්න එදා ඉන්ටවල් එක පහු උනත් එක්කම අපි හය දෙනෙක් විතර බෑග් එල්ලගෙන ඉස්කෝලේ මැදින්ම යනවා නිකං ගෙදර යනවා වගේ. :D (ඒ කාලේ හොරෙන් යනවා කියන එකත් නෝන්ඩියිනේ. අනික ඉස්කෝලේ එක මායිමක් වෙච්ච ගඟේ වතුරත් පතල් වලින් එන මඩ වතුරෙන් පිරිලා හින්දා ඕකෙන් එතෙර වෙන්න කාගේවත් උනන්දුවක් නෑ.)

        ඉතිං ඔන්න ඔහොම යනකොට මෙන්න මූණටම හම්බ වෙනවා කියන්නකෝ අංශ භාර සර්. හුටා..... ඒ මදිවට අන්තිම පීරියඩ් දෙකත් එයාට. මොකක්ද දන්නවද උණේ?

“පුතාලා යනවද? හා එහෙනම් මං හෙට උදේ පීරියඩ් එකෙන්ම අලුත් පාඩම පටන් ගන්නම්කෝ”
             කියලා සර් කියපි. දැන් ඉතිං හැමෝම සර්ට බනින්න පටන් ගන්න එපා නොදකින් කියලා. ඒ කියපු හැටියෙන් (ස්වරයෙන් කියන්නේ ඒකටමද මන්දා) අපිට නොහිතුණු දෙයක් නෑ අප්පා. අයියෝ ඊට පස්සේ බලපු එකේ සිල්වියා ඇන්ටි වෙච්ච මහන්සිය වතුරේ ගියා කියලා දන්නවනම් ආයේ එයා රඟපාන්නෙත් නෑ.


මෙන්න ඊට වඩා චාටර් දෙක.

 මේක ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියන්නම්කෝ..
            මේක උණේ දහය වසරේදී. බදාදට තමයි අපේ ඉස්කෝලේ සමිතිය තියෙන්නේ. ඉතිං එදත් අපේ සෙට් එක (මේක වෙන ඉස්කෝලෙක වෙන සෙට් එකක්) වේලාසන ගෙදර යන්න යනවා. අපේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ඇවිත් මහ පාර පැත්තට එනකොට පල්ලමක් තියෙනවා. ඔය පල්ලමේ අන්තිම හරිය එනකොට අපිට ඇහෙනවා අප්පුඩි හඬක්. නිකං පුරුද්දට වගේ හැරිලා බලනකොටයි දැක්කේ...... අපේ ප්‍රින්සිපල් තුමා...... අප්පොච්චියේ..... ඉතුරු ටික කියන්නත් ලැජ්ජයි ඕයි...... අපේ එකෙක් සින්දුවක් කිව්වා. අනිකා කයියක්. මංතුමා තේරවිල්ලක්.


මෙන්න හම්බ චාටර් එක.
මෙන්න අපේ වගේම තව සෙට් එකක්.

          හ්ම්ම්ම්ම්ම්.... දැන් ඔහෙලා හිතන්නෙ අකමගේ කට්ටි පැනිල්ලේ එක්ස්පීරියන්ස් එක කොච්චරක් කල් කියලද? හුහ් අපි එව්වයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන කොල්ලෝ බොලව්. අනික් එව්වො වගේ නෙවෙයි. පළවෙනි කට්ටි පැනිල්ල තුන වසරේදී.  J හරිය.... තුනවසරේදී.

        එක වසරෙයි, දෙක වසරෙයි උදේ එකොළහ වෙනකොට ඇරුනට තුන වසරේ ඉඳන් හවස එකහමාර වෙනකන් ඉන්න එපැයි. කොහොමත් මං ඉස්සර ඉඳන්ම හවස් වෙනකන් ඉස්කෝලේ හිටියා අම්මා වැඩ ඉවර වෙනකන්.  මායි තව අපේ පන්තියේ කෙල්ලෝ දෙන්නෙකුයි ඔහොම ඉතුරු වෙනවා. අපි ඉතිං දන්න සෙල්ලම් දදා ලොකු අයියලා විශේෂයෙන් අක්කලාගෙන් හුරතල් වෙවී නැත්නම් අම්මත් එක්ක පන්තියට ගිහිං හවස ගත කරනවා.

           තුන වසරට ආවම ඔය මුකුත් කරන්න හම්බ උණේ නෑ. ඔහොම ඉද්දි මායි අරුණයි (කංගාචෝරු - එහෙම කියන්නේ කංගෙක් චප්ප කරපු හින්දා) තව එකෙක් හරි දෙන්නෙක් හරියි ඉන්ටවල් එකේදී සෙට් උණා. අරුණයා කිව්වා ගෙදර තැඹිලි තියෙනවා බොමුද කියලා. අපිටත් ඉතිං වචන දෙකක් නෑනේ. අපේ කල්පනාව තැඹිලි බීලා ඉන්ටවල් එක ඉවරවෙන්න ඉස්සෙල්ලා ආපහු එන්න.

            මුන්ගේ ගෙදරත් වැඩි දුරක් නෑ කියලා කිව්වේ. ඉස්කෝලේ පිට්ටනිය මැදින් ගිහිං වැටෙන් පැනලා වැට මායිමෙන් තියෙන පාර (පාර?) දිගේ ගිහින් වංගු දාලා එකේක අඩි පාරවල් වලට හැරිලා ඔන්න උන්ගේ ගෙදරට සැපත් උණා. ඒක පොඩි කටු මැටි ගෙයක්. ගෙදර කවුරුවත් නෑ. කොටුවට ගිහිං. අපිත් ඉතිං ගේ පිටිපස්සට ගිහින් පිටිපස්සේ හදලා තියෙන වලං මැස්ස උඩ තියාගෙන අරුණයා කපලා දෙන තැඹිලිවල රහ බලනවා. වැඩි වෙලාවක් හිටියෙත් නෑ. ඉන්ටවල් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉස්කෝලෙට යන්නත් එපැයි.

              ඔන්න ඉතිං අපි ආපහු අර පහු කරපු වංගු කෙලින් කර කර ආපහු එනවා. ටික දුරක් එනකොට මෙන්න ඇහෙනවා බෙල් අටක් වදිනවා. අපිත් ෆුල් හොල්මන්. ඉක්මණට දුවලා ගියා ඉස්කෝලේ ගාවට. මෙන්න යකෝ මුන් ගෙදර යන්න ලැස්ති වෙනවා ඈතටම පේනවා. යකෝ අපි ගියාට ආතල් එකක් ගන්න රැඳුනෙත් නෑ. අනික අච්චර ඉස්කෝලේ ගාව තිබුණු ගෙදරට එක බෙල් එකක්වත් ඇහුනෙත් නෑ. මේක හරි අසාධාරණයිනේ අප්පා... කියලා හිත හිතා අපි වැටෙන් පැනලා පිට්ටනිය මැදින් ඇවිත් පන්තිය ගාවට කිට්ටු කළා.


          අපේ පන්තියේ හිටියෙත් ඉස්කොලෙන්ම සැරම ටීචර්. එයාගෙ වේවැල දැකපු ගමන් අපි සෙට් එකම පිට්ටනිය පැත්තට දුවනවා.

ශිෂ්‍ය නායක අයියලා අපේ පස්සෙන් පන්නනවා.

එයාලා අපේ පස්සෙන් පන්නනවා.

අපි දුවනවා.

ඒ අස්සේ මං දුවන ගමන් ඉකි ගහනවා. (අනිත් උන් නම් කොහොමද දන්නෑ)

මං ඉකි ගහනවා. 

ඒ අස්සේ අඬනවා.

අයියලා පස්සෙන් එනවා.

මං දුවනවා.

          කොහොමත් අපේ සෙට් එකෙන් අන්තිමටම තමයි මාව අල්ලගන්න පුළුවන් උණේ. ඉස්කෝලේ කට්ටියම ගාථා කියන එක පැත්තක දාලා දැල් වල එල්ලිලා බලන් ඉන්නවා. ශික් විතරක්. උන්ගේ කැත විතරක්! කූඩුවේ දාපු වඳුරෝ වගේ.

Saturday, February 9, 2013

මළ ගෙදර චාරිකාව


         මීගමුව ගුරු අභ්‍යාස විද්‍යාල සිසු සිසුවියන් උදෑසනම එකා වන්ව සූදානම් වූයේ තම සහෝදර සිසුවෙකුගේ පියාගේ අවමංගලෝත්සවයට සහභාගී වනු පිණිසය. ඒ 1980 වසර විය යුතුය. සූර්යයා අවදි වීමටත් පෙර පිණි පොද වැටෙන සීතලේ තමන් රැගෙන යාමට පැමිණි බස් රථය වෙත පිරිස ගොඩ වූයේ කලකින් නොගිය සුන්දර චාරිකාවක් බවටද චාරිකාව පත් කර ගැනීමේ අටියෙනි.

         සුවඳ හඳුන් කූරු දල්වා ඩෑෂ් බෝර්ඩ් එකෙහි ඇති සිදුරක ගසා තෙවරක් සුක්කානම වටා අත යවා වැඳ රියදුරු තෙමේ රථය පණ ගැන්වූයේ සැහැල්ලු සිතිනි. අද මෙන්ම එදාත් කොලු කෙල්ලන් කොලු කෙල්ලන්මය. සාධු කාරය වෙනුවට බසයේ හඬ පරදමින් ඇසුණේ විහිලු තහළුය. ගීතය. ඝන අඳුර මැදින් ඇද හැලෙන පින්න විනිවිද යාමට තැතනූ ප්‍රධාන විදුලි පහන් ආලෝකය සුළු දුරකින්ම පරාජය බාර ගත්තේය. පීඨ භූමියෙන් පිට වූ බස් රියට බාධාවකින් තොරව මාර්ගය දිගේ යාමට හැකි වූයේ සුළු දුරකි.

      “බරාස්” හඬින් බසයේ තිරිංග තද විය.

          බසයේ ඉදිරිපස රෝදයට යටවී ඒ වනවිටත් අවසන් හුස්ම පිට කර තිබූ කළු බළලාගේ ශරීරය ඉවතට ඇද දැමූ සිසුන් වාහනයේ ටයරයන්ට තබා දොස් යැවීම සඳහා රියදුරු විසින් බිත්තර ගෙන ඒමට සැදු යත්නයද වලකාලූයේ එය සමච්චලයටද භාජනය කරමිනි. තලතුනා රියදුරු කිසි කතාවකින් තොරව බැරෑරුම් පෙනුමක් මුහුණට ආරෝපණය කර ගනිමින් යලි ගමනාරම්භ කලේ විමසිලිමත් දෑසින් මාර්ගයටම දෑස යොමමිනි.

              උදෑසන කාලය නිමවීමට ආසන්නව තිබියදී දකුණු පළාතේ සුන්දර ගම්මානයක් අසලට පැමිණි බස් රිය නතර කලේ දැඩි වර්ෂාව මධ්‍යයේ යටවී තිබූ මාර්ගයේ තව දුරටත් ඉදිරියට යා නොහැකි බැවිනි. එතැන් පටන් පිරිසේ ගමන ගම්වැසි තරුණයන් විසින් සපයා දුන් අඟුල් ආධාරයෙනි. ඒ වන විටත් තමන් යන ගමන ගැන මොහොතකට අමතක කල පිරිස කලකින් ලද හෝ කිසි කලෙක නොලද ගංවතුරේ අඟුල් පැදීමේ ආශ්චර්යවත් අත්දැකීමට මුහුණ දෙමින් උන්හ. මළ ගෙදරට යාමට පැමිණි පිරිස විනෝද ගමනක් බවට පත් කරගත් එම ගමන ඇත්තටම සුන්දර එකක් විය.
මේ නම් පහුරක්...........

            අඟුල් අටකින් මළ ගෙදර පිහිටි ඉසව්වට පැමිණි ඔවුන් කඳු ගැටයක් මත පිහිටි මළ ගෙදරට සහභාගී වී සවස තුන පමණ වනවිට නැවත පැමිණීම සඳහා අඟුල් කරා ඇදෙන්නට වීය. ඒ වනවිට වැස්ස තුරල් කර තිබූ නමුදු ගඟ දියේනම් අඩුවක් නොවිණි.
             අඟුල් පෝලිම බසය පිහිටි ඉසව්ව කරා ඇදෙන්නට විය. ඒ විදුලි රැහැන් මග හරිමින් ජලයේ සැඩ තැන් මග හරිමිනි. පසු පසින්ම ඇදුනේ විසේකාර කොලු කෙල්ලන් පිරිසක් රැගත් ඊටම සරිලන අඟුල් පදවන්නෙකුත් සහිත අඟුලකී. අනෙක් අඟුල් වල සිටි තම නඩයට හූ තබමින් දඟලමින් ඔවුන් සිටි අඟුල ඉදිරියට ඇදුනේ අනෙක්වා පසු කරමින් වේගයෙනි. තුරු හිස් රැසකින් යුත් ගොමුවක් වටා වේගයෙන් වංගුවක් ගත් ඔවුන් නොපෙනී ගියහ. අනෙක්වා තම පාඩුවේ ඉදිරියට ඇදුණි.

              ගත වූයේ සුළු මොහොතකි. වේගයෙන් ඉදිරියට ගිය අඟුල නැවත ආපිට පැමිණියේ සියල්ලන්ම මවිත කරමිනි. එහි හුන් සියල්ලන්ම තෙත බරිත ඇඳුම් වලින් වෙලී සිටියාහ. එම අඟුලෙන් අතුරුදන් වූ සිසුවෙක් හා සිසුවියක් සොයමින් ඔවුන් නැවත මෙසේ පැමිණ ඇත. පිරිසේ විලාප හඬ පලාතම දෙදරුම් කවන්නට විය. ඒ වනවිටත් අඟුල් පැදවූ තරුණයන්ද අන්ද මන්ද වී සිටි හෙයින් ගමේ වැඩිහිටි පිරිසක් විසින් ජල තලය මත පාවෙමින් තිබූ අඟුල් සියල්ලම ගොඩ බිමක් වෙත ගෙන එන්නට කටයුතු ඉටු කලෝය.

                 අඳුර වැටී එන යාමයේදී අතුරුදන් වූ දෙදෙනා ගොඩට ගන්නට ගම් වැසියන්ට හැකි විය. විදුලි කණුවල රැහැන් පමණක් පෙනෙන්නට ජලයෙන් යටවී තිබූ ගම්මානයේ එක් විදුලි කණුවක ඉහළට ආසන්නයෙන් කණුව තදින් බදා සිටි ගුරු පියාද ඔහුගේ කකුලේ එල්ලී සිටි ගුරු මෑණියන්ද ගොඩ ගැනුණේ ජීවිතයේ සිනහව කඳුළක් කිරීමට ගතවන කාලය ඇසිල්ලක් බව සැමටම පහදා දෙමිනි. 

ප.ලි.
  පොඩි වැරදීමකින් විද්‍යා පීඨ කියලා දාලා තිබුණේ. ඒ දවස්වල විද්‍යා පීඨ තිබිලා නෑ. ගුරු අභ්‍යාස විද්‍යාල (Teachers Training Collages) තමයි තිබිලා තියෙන්නේ. ඊළඟට දුරස්ථ අධ්‍යාපන ඒකක. දැන් තමයි විද්‍යා පීඨ තියෙන්නේ.

ප.ප.ලි.
අඟුල යනුවෙන් සඳහන් කර දමා තිබුණේ පහුරක පිංතූරයක් වන අතර එම වැරැද්ද පෙන්වා නිවැරදි කර ගැනීමට උපදෙස් දුන් විචාරකතුමාට මාගේ ස්තූතිය.

ප.ප.ප.ලි.
විචාරකතුමාගේ මග පෙන්වීම යටතේ ලක්ෂිතගේ Blog අඩවියෙන් නිවැරදි අඟුලක පිංතූරයක් ලබා ගතිමි.