Monday, December 31, 2012

"ලොකු උනාම වෙන්න හිටපු එකා හා උන එකා" නොහොත් "Goals & Achievements"

     පුංචි කාලේ මගේ හිතේ තිබුනේ තාත්තා වගේ කෙනෙක් වෙන්න. මොකද කාලේ මගේ ලෝකෙ හිටපු වීරයා තාත්තා. ඒ හීනේ  එහෙම්මම තියාගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඔය කාලේ වෙනකොට අපේ රටේ යුද්දෙත් ටිකක් සැරට ගිය කාලයක්. රෑට ප්‍රවෘත්ති  බලනකොට පෙන්නන්නේ මැරිච්ච කොටි පෝලිමට තියලා සුදු රෙදි වලින් ඔතලා තියෙන දර්ශනයි, අල්ලගත්තු ආයුධ පෝලිමට තියලා ගල් රෝලකින් කුඩු කරන ඒවයි තමයි. ඉතින් සොල්දාදුවා කියන චරිතේ මගේ හිතේ හොඳට කාවැදිලා  තිබුණා. නිකම්ම නිකං සෙබළුත් නෙවෙයි, ගුවන් හමුදා සෙබළු තමයි මගේ වීරයෝ. ඔය අස්සේ ඉස්කෝලේ මිස්ලා   සර්ලා අහනකොට කවුරු වෙන්නද කැමති කියලා එකෙන්ම පැනලා  දෙන්නේ මොන උත්තරේද කියලා දන්නවානේ. 

මේක ගත්තේ...
     ඔය අව් අස්සේ මගේ නමේ පරහක්  ආවා. ඕකේ දිග පළල තරු වල දිග පළලට හරියන්නේ නෑ කියලා එව්වට හරියන නමක් දැන් කස්ටිය හොයනවා.  හුහ්.. උන්දැලට විතරක් මහන්සි වෙන්න දෙන්න පුලුවනෑ.  මංම එපායැ මගේ නම හොයාගන්න. 

මුලින්ම තිබුනේ "ධනුෂ්ක <Middle name><Surname>"

   පුංචි අකමා ගේමට බැස්සා. එතකොට වසරේ නැත්නම් වසරේ. දැම්ම නමක්.

  "ගුවන්  <Middle name><Surname>" කොහොමද නමේ ලස්සන? රයිමින් එකත් හරියටම හරි.  එකෙක්වත් ගණන් ගත්තේ නැති උනාට මං මක්කොරන්නද? මගේ පරණ පොත් අදිද්දීත් මුල් කවරේ ඔය  නම ලස්සනට ලියලා තියෙනවා හකුරු වගේ අකුරින්.

     ඊ ළඟට ලොක්කෙක් වෙන්න හිතාගෙන පහේ සිස්සත්තේ ගොඩ දාගෙන ගියා ලොකු ඉස්කෝලෙකට. අකමා ෆුල් මඥන්. තැනින් තැන තිබුණු හෝල් වෙනුවට ගිනිපෙට්ටි ඇහිරුවා වගේ ළඟ ළඟ බිල්ඩින්. මදිවයැ. ඒවත් තට්ටු පිට තට්ටු. ඒ කාලේ ඉස්කොලෙටම සුදු  සපත්තු දාන කිහිප දෙනාගෙන් එකෙක් වෙච්ච අකමා අලුත් ඉස්කෝලේ නිකංම නිකං සුදු කැන්වස් සපත්තු දාන කීප දෙනාගෙන් එකෙක් උණා. එහෙදි හිටපු මිස්ලා මෙහෙදී ටීචර් වෙලා.  අනාගත බලාපොරොත්තු "Future ambition" වෙලා. 

    හතර වෙනි පීරියඩ් එක ඉවරවෙනකන් අකමා ඉස්සර බලන් හිටියේ  මොනවා හරි කොටාබාන්න. එතකන් ඉන්න බැරිනම් දුවලා ගිහින්  අම්මගේ සාරි  පොටේ එල්ලිලා කන්න දෙයක් ගන්න එක හරි,  කැන්ටිමට දුවලා  අම්මගේ නම විකුණලා මොනා හරි කටේ ඔබන් දුවන  එක හරි සාමාන්‍ය  දෙයක්. ඒත් ලොකු ඉක්කෝලේ පස් වෙනි පීරියඩ්  එකට  පස්සේ තමයි ඉන්ටවල්. 

   ඔන්න ලොකු ඉස්කෝලේ ෆියුචර් ඇම්බින් අහනකොට මං කිව්වේ සෙබලෙක් වෙනවා කියලා. පන්තියේ උන්ගේ නෝන්ඩි හිනා අස්සේ  අන්තිමේදී අපිට ලැබුන උපදෙස් උනේ දොස්තර කෙනෙක්  හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න. ටික කාලෙකට පස්සේ උපදෙස් ලැබුණා රටට  වැඩදායී යහපත් පුද්ගලයෙක් වෙන්න කියලා. ඕක අපි ගිරව් වගේ  කටපාඩම් කරගෙන අහන අහන හැම එකාටම පොර වගේ කෙලලා  ඇරියට ඕකේ හරි තේරුම දැන ගත්තෙත් පස්සේ. 

   ඉතින් ඔහොම යද්දී වතාවක් කකුල පැටලිලා වැටුණා. මං නැගිට්ටා.  ආයෙමත් වැටුණා. දැන් ආයෙමත් නැගිටින ගමන්. ඒ කාලේ  බලාපොරොත්තුවෙන් හිටි සොල්දාදුවාවත්, දොස්තරවත් වෙන්න බැරි  උණා. ඉංජිනේරුවෙකුත් වෙන්න බැරි උණත් අරෙහෙන් මෙහෙන් කෑලි  අමුණන් වැඩ කරන්න දන්න හින්දා තාක්ෂණ ශිල්පියෙක් වෙන්න වරම් ලැබුණා. හැබැයි අර අමාරුවෙන් තේරුම හොයා ගත්ත වාක්‍යයේ රටට වැඩදායී කෙසේ වෙතත් කාටවත් ණයත් නැති, බයත් නැති, කරදරයකුත් නැති එකෙක් උණා කියන එකනම් ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒකත් ඉතින් මම මං ගැන හිතන හැටි මිසක් අනික් උන් මං ගැන මොන  විදියට හිතනවද කියලා කවුද දන්නේ. නෙහ්.. :D

   රටට බරක් නොවෙන්නනම් ඉතින් අපි මුලින්ම පටන් ගන්න ඕනි  දේශීය දේවල් අගය කරමින්. (හෝව් හෝව් දැන් දේශීය දේවල් අගය කරන්න කියලා කැලෑ අස්සේ රිංගන්න යන්න එපා) ඕක අගයන්නත් ඉතින් නිකන් බැහැ නෙව. ආකල්පමය වශයෙනුත් වෙනසක් වෙන්න  ඕනි. සුද්දගේ දේවල් හොඳයි කියා කියා හිටියොත්, අපේ මුතුන් මිත්තෝ වගේ අපිට බෑ කියා කියා හිටියොත් වලේම තමයි. දැන් බලන්න අපේ  රටේ ඕන තරම් පොල් ලෙලි තියෙනවා. ඒත් අපේ උන් සෝබනේට  ගන්නේ ප්ලාස්ටික් කෙඳි තියෙන කොහු. වැලි කැට මග හල හලා සුද්දට  පින් දිදී අතුගානවා. 
   
   බිත්තරයි බටරුයි සුද්දගේ පිටියි දාගෙන අතේ  ජොයින්ට්  ගෙවෙනකන් කේක් බීට් කරනවා. ඊට පස්සේ ඒවා ගිලලා කොලෙස්ටරෝල් ෂුගර් කියා කියා නහිනවා. අර යසට තියෙන අඹ අන්නාසි අමතක කරලා ඇපල් ගෙඩි කනවා. කැප්පෙටියා කොළ අමතක කරලා වහ බෝතල් කුඹුරට වක් කරලා තමුන් ලෙඩ වෙනවා මදිවට  ඇලේ ඉන්න මාළු ටික මැඩියෝ ටික විනාශ කරනවා. බත් කූරෝ සමනල්ලු මරාගන්නවා.

        දෙයියනේ කියලා  අපේ රටේ දේශීයව නිෂ්පාදනේ කොරන සංස්ථා ටිකකුත් තොල ගාගෙන "සුද්දා අපිට පුරුදු කරපු බීම" ගැන ආදීනව කියා කියා හවහට සෙට් එක මැද පණ්ඩිතයා වෙනවා. ඒත් පොඩ්ඩක් හිතුවොත් ඔය දේශීය පානේ සුද්දට කලින් අපේරටේ තිබුන්නැද්ද? එකම වෙනස සුද්දගේ නීතියෙන් ඕවට තියෙන  "ලජ්ජා බය නැති කරපු" එහෙමත් නැත්නම් ඉස්සෙල්ලා ඇඳ යටට රිංගලා බීලා කට පිහදාගෙන එන එකා වෙනුවට පොඩි එකාගේ  බර්ත්ඩේ එකට පොඩි එකාව උකුලේ තියාගෙන බෝතල් හිස් කරන සමාජයක් බිහි කරපු එක විතරයි.

  මම ඇමෙරිකන් විරෝධී ෂෝ කාරයෙක් නෙවෙයි. ඒත් අපේ රටේ දේවල් වලට මුල් තැන දීලා අපේ කමට මුල් තැන දීලා රටට බරක් නැති, සිංහල කමට බරක් නැති මනුස්සයෙක් කියන එකනම් කියන්න පුළුවන්. ඒ කාලේ පොඩි පොඩි  බලාපොරොත්තු ලොකු වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනත්  අන්තිමේදී සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා.

 ඉතිං,

ලබන්නා වූ 2013 අලුත් අවුරුද්ද 

රටට බරක් නැති
රටට ණයක් නැති
රටට දැයට වැඩදායී

යහපත් පුරවැසියෙක් වේවා!


කියලා ඔබ සැමට සුභ ප්‍රාර්ථනා කරනවා.

Friday, December 21, 2012

සී යූ! බයි බායි!!!

අනේ ඉතින් මන් මොනා කියලා කියන්නද?


     මන් මේ බැක්පැක් එකත් දාගෙන කන්දක් උඩට  යනගමන්.

එහෙනම්,


එහෙදිනම් එහෙමයි! 
මෙහෙදිනම් මෙහෙමයි! 

ආයේ
හම්බවෙනකම් බායි!!!


Sunday, December 16, 2012

බාසුන්නැහේ

         මේ ලෝකේ බාස්ලා වර්ග ගොඩාක් ඉන්නවා. මේසන් බාස්, වඩු බාස්, ගරාජ් බාස්, පේන්ට් බාස්, වයරින් බාස් වගේ ඉදිකිරීම් වලට සම්බන්ධ අය. ඊළඟට ඉන්නවා ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අය, කම්පියුටර් හදන අය, ප්‍රින්ටර්, ඒ/සී, මහන මැෂින් හදනඅය. මෙයාලත් බාස්ලා. තව බාස්ලා සෙට් එකක් ඉන්නවා. ඒ තමයි කොත්තු බාස්, ආප්ප බාස්, බේකරි බාස් වගේ අය.

       ඔය කොයි කවුරුත් ගත්තම ආයේ බෙදන්න පුළුවන් ටොප් බාස්, යන්තම් බාස්, නිකම් බාස්, දඩි බිඩි බාස්, මක බාස්, චක බ්ලාස් කියලා.
*"ටොප් බාස්" කියන්නේනම් කවුද කියලා දන්නවනේ. වැඩේ කොලිටියටම කරන එකා ටොප් බාස්.

*"යන්තම් බාස්" කියලා කියන්නේ මාසයක් දෙකක් බාස් කෙනෙක් ගාව වැඩ කරලා. බාස් ගෙන් කටු කන්න (රැග් කන්න)තියෙන අකමැතිකම නිසාත්, ගෝලයාට වඩා බාස්ගේ තැන (පිළිගැනීම) හොඳ නිසාත්, මුදල් ලැබීම අතින් හොඳ නිසාත් පට ගාලා බාස් වෙන ගෝලයින්ට. උන් ඔක්කොම දන්නේ බාගෙට.

*"දඩිබිඩි බාස්" - වැඩිහරියක් කොන්ත්‍රාත් ගන්න අය. එයාලා බලන්නේ වැඩේ පට ගාලා ඉවර කරලා වෙන තැනක වැඩට යන්න. ලොකුම අවුල තමා කාගෙත් ඇස් වහලා වැඩේ කරලා ගියායින් පස්සේ තමයි මුන්ගේ ඇද පෙන්නේ. එතකොට පරක්කු වැඩියි.

*"නිකම් බාස්" කියන්නේ දවසේ පඩියට වැඩ කරන අයට. වැඩි හරියක් ඉන්නේ නිකම්.

*"මකබාස්" කියන්නේ කරන කොයි වැඩෙත් කොස්සක් තියෙන අයට

*"චකබ්ලාස්" කියලා එකෙක්නම් මේ වෙනකම්ම් හෙව්වත් හම්බ උනේ නෑ. රයිමින් එකට ගැලපෙන හින්දම ඔන්න ඔහේ එබුවා. :D



    ඔය ටික කිව්වේ මගේ කතාවට මූලාරම්භයක් ගන්න. එහෙනම් දැන්  කියන්නම්කො කතාව.


      අපේ ගමේ ඉන්නවා යන්තම් බාස් කෙනෙක්. නිකම් බාස් වගේම  මක බාස්  කියලත් කටක් ඇරලා කියන්න පුළුවන් විදියේ පොරක්. පොරට අපි ජේමිස් කියමුකෝ. මිනිහා අපේ ගෙදර වැඩවලට මුල ඉඳම්ම  අල්ලගත්තු පොරක්. හේතුව තමයි වෙයිටින් ලිස්ට් එකේ නැතුව ගිය ගමන් අල්ලගන්න පුළුවන් වෙන එකයි, ගෝලයාගේ වැඩි බාස් වැඩෙයි 2 ඉන් 1 කරන නිසයි. හැබැයි බුවා එක්ක ඉන්නකොට පාලු නෑ. එක එක කතා කියෝ කියෝ ඉන්නවා. 

   පොරගෙන් දැනගත්ත වැදගත්ම ආදර්ශය තමයි දවල් වරුවෙන් පස්සේ බාස්ලට බනින්න හොඳ නෑ කියන එක. (ඒ නැතත් තමන්ගේ වැඩේ ඉවරවෙනකම්වත් ශේප් එකේ තියාගන්න ඕනි ජාතියක්) මොකද බුවා  කලින් (දැන් අවු:20කවත් කලින්) වැඩ කරලා තියෙනවා කොළඹ කොන්ත්‍රාත් කාරයෙක් ගාව. ඒ වෙනකොට පස්වෙනි තට්ටුවේ සැටලිම  ගහනවලු කොන්ක්‍රීට් දාන්න. එදා දවල් කත් පහුවෙලා. රෑ කොන්ක්‍රීට් එක දාන්න ඕනි නිසා දඩ බඩ ගාලා වැඩ. පොළොවේ ඉන්නවා වගේ  නෙවෙයිනේ. ඉරටත් කිට්ටුයිනේ. අනික කාලත් නෑනේ. කස්ටිය මල  පැනගෙන වැඩ කරද්දී කොන්ත්‍රාත් ගත්තු බාස් (හෙඩ් බාස්) ඇවිත් අපේ  බාසුන්නැහේට සද්දයක් දාලා. බුවා මොකක්ද දන්නවද කරලා තියෙන්නේ. තට්ටු පහේම වයරින් බට අග්ගිස්සට කොළ ගුලි ගහලා බට ටික කොන්ක්‍රීට් කරලා එදාම ඇවිත්.

--------------------------------------------------------------------------------------------

   පොර ආයෙම වතාවක් (ආයෙම කිව්වට ඊටත් ගොඩක් ඉස්සර) පාන්  බාස් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඔය වැඩේ කොච්චර අමාරුද  කියලා දන්නා කට්ටිය දන්නවා ඇතිනේ. රෑ එකොළහ විතර වෙනකම් පිටි මෝලිය අනලා තියලා ආයේ දෙකට විතර නැගිටලා පෝරණුව ලැස්ති කරලා පාන් පුච්චන්න ඕනි. ඊට පස්සේ නියම ගානට පෝරණුව රත් උනාම අඟුරු ඇදලා දාලා පාන් තැටි බනිස් තැටි දාන්න ඕනි.  වැදගත්ම දේ තමයි වෙලාවට බාන්න ඕනි එක. පොඩ්ඩක් එහෙ මෙහෙ  වුන ගමන්  අඟුරු ටිකක් තමයි බාන්න වෙන්නේ. ඔන්න ඉතින් දා මහ පාන්දරම  මුදලාලි මූට බැනලා. පොර රිටන් එක දීලා තියෙන්නේ සත  විසිපහකින්.  හෙහ්... හෙහ්... හෙහ්.. දැන් කට්ටිය බලනවා ඇති  කොහොමද කියලා. අත්‍යවශ්‍යම නොවන බල්බ් එකක් ගලෝලා සත විසිපහ හෝල්ඩරේට  දාලා බල්බ් එක හයි කරලා. පාන් ටික බාන්න ඔන්න මෙන්න කියලා ස්විච් එක න් කරලා. හිතාගත්තහැකිනේ වෙච්ච දේ. ෆියුස් හදනකම් පන්දම් එහෙම අරගෙන පාන් ටික බානකොට අඟුරු තමයි එලියට ඇවිත් තියෙන්නේ.

      මුගේ තව කතා තව ගොඩක් තියෙනවා. හැබැයි ඔක්කොම කඩාකප්පල්කාරී දෙකයි පණහේ වැඩ.  ඒ හින්දමද කොහෙද අදටත් එදා වෙලාවත් හරියකට කන්න බොන්න නැතුව ඉන්නේ. යාන්තම් ආධාරයකින් හම්බ උනු සල්ලි ටිකක් හින්දා කාමර දෙහෙකකට බිත්ති  බැඳලා දොර ජනෙල් මුකුත් නැතුව වල් දඬු දාලා ඇස්බැස්ටස් හෙවිල්ලගෙන ඉන්නවා.

Friday, December 14, 2012

රෙද්ද තමයි.......

           උඹ එදා ඉඳම්ම මගේ ළඟ  රැඳීලා මගේ පස්සේ උණුසුම සුවඳ විද දරා ගෙන මා තුරුලටම වෙලා උන්නා. වෙලාවකට "රිදුනද?" කියලා අහන්නත් හිතුනා මන් උඹේ උඩ වාඩිවෙලා ඉද්දි. කී පාරක් කියලනම් උඹව ඇතුලට දදා එලියට ගත්තද? මාසෙකට දවස් දෙක තුනක් උඹට හුස්ම ගන්නවත් බැරි විදියට පුරෝගෙන හිටියත් වේලි වේලි හිටිය දවස් ගාන මතකද? 

            "අපි කන හැටි ලිපා දනී" කියලා ඒ කාලේ කිව්වත් මන් හිතන්නේ අපි කන හැටි උඹ තමයි දන්නෙ කියලා කිව්වොත් දැන් කාලෙට හරියටම හරි කියලයි. එහෙම කියන එකත් උඹට කරන ලොකු ගෞරවයක් කියලයි හිතෙන්නේ.

            බස් එකට නගින හිඟන්නෝ දැන් කියන්නෙම "අනේ පුංචි රුපියල් දහයකින් මට ආධාරයක් කරන්න" කියලා. එතකොට එකේක දේවල් විකුනන්න නගින උන් කියන්නේ "අද කාලේ බල්ලෙක් තරම්වත් වටින්නැති රුපියල් දහයක් දීලා මේක ගන්න" කියලා. අම්මගේ රෙද්ද තමයි. උන්ට වටින්නැත්නම් අපිට දීපන්කො. උඹ දන්නවා උන්ට පුංචි උනත් රුපියල් දහය උඹට, මට කොච්චර ලොකු වෙලා උන්නද කියලා. සී.ටී.බී බස් එකක් එනකන් පැය ගණන් හිටන් ඉන්නකොට, සීසන් ගන්නෑ කියලා කොන්දා බනිනකොට අනිත් උන්ට පුංචි උන එකාගේ ආඩම්බර හිනාව දකින්න උඹයි මමයි පවු කරපු තරමක්. ඌත් නැති උන දවසට උඹේ පාළුව මකන්නේ එහෙමත් නැත්නම් උඹේ රාජකාරිය ඉටු කරන්න නමට හරි ඉන්නේ රුපියලක් විතරයි කියලා දන්නේ කීයෙන් කීයද?

            දවස ගානේ කෙල ගහලා මදින එහෙමත් නැත්නම් පොල් තෙල් බින්දුවක් ගාලා පොලිෂ් කරන සපත්තු දෙක දාගත්තහම කලිසමක් ඇඳලා කමිසයක් ඇන්දම බලන් ඉන්න උන් කියන්නේ අන්න බර කාරයෙක් එනවා කියලා. එදාට උඹේ උජාරුව පෙන්නන්නේ හතරට පහට නැමුණු කඩදහි ටිකක් කියලා උන් දන්නවනම්.

           අම්මගේ බෙහෙත් ටික සතියකට අරගෙන තුණ්ඩුව උඹේ තුරුලට එන්නේ හදිස්සියේ හරි වාසියක් උනොත් ඇති කල්හි ලඟට එන මිතුරෙක් වගේ. ඒ ඇති කාලය ගැන හීන මවන්න නම් උඹේ ගාව තියෙන හොඳම සාක්ෂිය තමයි අද රෑට අදින හීන මල්ල. වතුරේ ගිලෙද්දී ජල තලයට ඉහලින් පේන්න තියෙන අඹ අත්ත දිහා බලන්නැතුව වතුරෙන් යටවෙලා තියෙන පිදුරු ගහ ගාවට කිමිදිලා ඒකෙ එල්ලෙන්න හදනවා කියලයි උඹ මට කෝචෝක් එක දාන්නේ. ඒත් ඉතින් ඇදුනොත් එපා කියනවද? නෑනේ. එහෙමනම් හැම අවුරුද්දකම අලුත් කර කර ඉන්න මාලෙයි මුද්දෙයි පෝනින් රිසිට් එකේ බර හෑල්ලු කර ගන්න පුළුවන්. එහෙම නේද?

              හැබැයි එතකොට උඹේ තුරුලේ ඉන්න එකෙකුටනම් වැඩ වැඩිවෙයි වගේ නේ? හිතාගත්තහකිද ඒ කවුද කියලා. ආ... හරි හරි ඒ.ටී.එම් කාර්ඩ් එක තමයි. ඉස්කෝලේ කාලේ මූණත් තහඩුවක් අලෝලා තියෙන අපේ ඉස්සර හිටපු ගෙදර ඇඩ්රස් එක දාලා තියෙන ඉලක්කම් ටිකක් කොටලා අගට වී අකුර ගහපු කාඩ් එකටත් එතකොට වැඩ වැඩිවෙයි නේ. ඒ මොකෝ දන්නවද? කොච්චර ලොක්කා වගේ උන්නත් ඒ.ටී.එම් ලොක්කටත් මහා වැඩක් කරන්න උන්ගේ අයිතිකාරයෝ ඉඩ දෙන්නෑනේ.

    හුහ් හීන මැව්වා ඇති. කෝ බලමු උඹ ගාව තියෙන්නේ මොනවද කියලා.

 
                      රුපියල් දහයේ කොලයක්
                      පසුම්බියේ පාළුව මැකීමට අලුත් රුපියලේ කාසියක්.
                      චේන් එකක සහ පෙන්ඩන්ට් එකක උකස් පත්‍රිකා.
                      හවසට ගෙන යා යුතු බඩු ලැයිස්තුව
                      බෙහෙත් තුණ්ඩුව
                      ස්වීප් ටිකට් දෙකක්
                      හැඳුනුම්පත
                      බැංකු කාඩ් එක
                      රියදුරු බලපත්‍රය
                      දින කැලැන්ඩරය
                      ලංගම වාර ප්‍රවේශ පත්‍රය

     කවුරු හරි මට හොරෙන් උඹව ඉස්සුවොත්..... අප්පේ... මටමනේ  ලැජ්ජාව. එදාට මන් උඹව හොයන්න උගේ පස්සෙන් දුවන්නම ඕනිද? කියාපන් මට..... 

Sunday, December 9, 2012

දඩයම් දෙකක් මැද තනි වූ හාවියක්


        තම වාරය පැමිණෙන තෙක් පියුමි, නිසල් සමඟ ගැහෙන හදවතින් යුතුව රැදී සිටියාය. මොහොතකට පෙර වෛද්‍යවරයා හමුවට ගිය තරුණියගේ විලාපය ඇගේ සිත බෙහෙවින්ම චංචල කරවන්නක් විය.

       "අපි බඳිමු........"

        "පිස්සු කියවන්නෙපා පැටියෝ. අපේ අප්පච්චි තාම කම්පැණි එකේ වැඩට එන්න කියලා තාම මාසයයි. දැන්ම කොහොමද මේවා අහන්නේ. අපි තව ටික දවසක් මේවා සෙට්ල් වෙනකම් ඉඳලා අහමු. නැත්නම් දන්නවනේ අප්පච්චිලගේ හැටි."

         ඇගේ සිත කොතරම් දුර ගියද කෙඳිරියක් බවට පත්වෙමින් තිබූ විලාපය හමුවේ නැවතත්, නැවත නැවතත් පියවි ලෝකයට පැමිණෙයි.

           "බය වෙන්නෙපා නංගි. ටිකක් විතර රිදෙයි. ඒත් ජීවිත කාලෙම විදෝනවට වඩා මේක හොඳයි."
        වෛද්‍යවරයා හමුවට යාමට පෙර උපදෙස් ලබාගැනීම පිණිස ගිය අලුතින් හඳුනාගත් යෙහෙළිය කීවාය.

       "ඒත් මට බයයි අක්කේ"

     "බයවෙන්නෙපා ළමයෝ.  ඒ ඩොක්ට හරි හොඳයි. අනික නර්ස් කෙනෙකුත් ඉන්නවනේ. ඔයාට කරදරයක් වෙන එකක් නෑ."

      හිත හදාගෙන මෙම ගමන පැමිණීමට පියුමිට මෙම වදන් රුකුලක් වුවද මෙතැනට පැමිණි පසු නැගිට යාමට සිතුණු වාර ගණන අනන්තය.

     බොහෝ හෙම්බත් වූ ගතින් යුතුව කඳුළු පෙරමින් මෙතෙක් වෙලා විලාප තැබූ යුවතිය හෙදියගේ ආධාරයෙන් පැමිණියාය. සුළු මොහොතකින් තම වාරය එළඹෙන බව දැනගත් පියුමි නිසල්ගේ සුරත තද කර අල්වා ගත්තාය. ටික වෙලාවකට පසු මොහොත එළඹිණි. නිසල් සමඟ කාමරය තුලට ගිය ඈ මස් කඩයකට ගෙන යන එළදෙනකගේ තත්ත්වයට පත්වී සිටියාය.

        "හා මෙච්චරක් කල් තුරුල් වෙලා හිටියා මදෑ. දැන්වත් ඔයා එලියට ගිහිං ඉන්නකෝ."
            කට ඇද කරමින් පැවසූ දෙය වටහා ගැනීමට තරම් පියුමිගේ සිත සන්සුන් නොවීය.

       "බයවෙන්නෙපා සුදූ. ඔක්කොම හරියයි"
               නළල මතින් හාද්දක් තබා පිටව යාමට සූදානම්ව නිසල් පැවසීය.

      "ඒ මනුස්සයා ඔහොම නොකලනම් තමයි පුදුමේ මෙච්චර ලස්සන කෙලි පැටියෙකුට"
           හෙදිය මුහුණට එබෙමින් පැවසුවාය.

    "ආ දැන් ලෑස්ති වෙන්නකෝ. ඩොක්ටත් එයි. කෝ ගලවන්න ඔය ඇඳුම"

     වැඩිවියට පත් වූ පසු නිසල් ඉදිරියේ පමණක් ලිහිල් වූ සළු පිලි නැවතත් උනා දමන්නට ඇය තරමක් පසු බසින්නට විය.


    "හුරතල් වෙන්නැතුව ගලවන්න ඩොක්ට ආවොත් බැනුම් අහන්න වෙයි"

      අසරණ වූ මුව පොව්වෙකු මෙන් හෙදියගේ බසට අවනත වූ තරුණිය තම යටි කය වසා තිබූ ඇඳුම ඉවත් කෙරුවාය.

    "මොකෝ මේ බාගෙට හෙලුවැල්ලෙන්. ඉතුරු ටිකත් ගලවන්න."              මෙතෙක් වේලා පිටුපා සිටි හෙදිය ඇය දෙස හැරුණු වහාම පැවසුවාය.

    "උඩට මුකුත් කරන්නෑනෙ සාය විතරක් ගැලෙව්වම ඇති. හැබැයි මතක තියාගන්න සැහැල්ලු ඇඳුමක් ඇඳන් යන්න."
     කිහිප දිනකට පෙර හමුවූ නාඳුනන යෙහෙළිය පැවසූ වදන් ඇයට සිහිවිය.

    "බ්ලවුස් ඒක ගලවන්න ඕනි නෑ නේද මිසී."
           ගැහෙන වදනින් පියුමි ඇසුවේ නිරුවත වසා ගැනීමේ අවසන් උත්සාහයද දරමිනි.

      "මේකනේ දරුවෝ. කවුරු උනත් ආසයිනෙ ලස්සන දකින්න. කෝ ගලවන්න ඕක."
        බැනුම් අසන්නට වේදෝයි බියෙන් ඇසු ප්‍රශ්නයට අමුතුම පිළිතුරක් එක් කල හෙදිය ඇයට නිරුවත් වීමට උදවු වන්නට වුවාය.

      වවුලගේ ගෙදර ආවානම් ඒ විදියට සිටිය යුතුයැයි යන කියමන සිහිවූ පියුමි ඇයට අවනත වුවාය.

   මොහොතකින් ගැලවුම්කාරයණන් ඔවුන් ඉදිරියේ පෙනී සිටින්නට විය. අන් කවරෙක්වත් නොව  ජීවිතයේ සිවු වැනි දශකය පසු කරමින් සිටිවෛද්‍ය තෙමේයි. පියුමිගේ වත දෙස කෑදරයෙන් බලා  සිටින වෛද්‍ය  තෙමේයි. 

      "ඩොක්ට, මන් කිව්වේ අදනම් ඩොක්ටගේ හොඳම දවස කියලා" 
      හෙදිය මද සිනාවක් පාමින් කර්ටන් ඇද දමා  කාමරය තුල තවත් කාමරයක් නිර්මාණය කෙරීය.

      "අ.. අ.. අනේ එපා..." 

      සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් වටහා ගත් පියුමි කොඳුලාය.  ඉන් ප්‍රයෝජනයක්  නැති කල  හයියෙන් කෑ ගැසුවාය. 

    " සද්ද දැම්මට වැඩක් නෑ කෙල්ලේ. එළියෙන් කවුරුවත් මේක අස්සට එන්නෑ ඔයාව  බේරගන්න. උන්ට ඕනි ඔයාගෙන් බේරෙන්න. ඔයාට ඕනි නම් නැගිටලා   යන්න පුළුවන්.  එහෙම  නැත්නම් සැපකුත් අරගෙන  කරදරෙන් නිදහස් වෙන්නත් පුළුවන්." 
 
     දාහකුත් සිතිවිලි අතරේ යකාගේ කම්මල මෙන් වූ ඇගේ ඇගේ හිසට  දෙසවනින් ගලා ආ වදන් වලට  අනුගත වීම හැර අන් සරණක් නොමැති බව ඇගේ සිතිවිලි වලට අවබෝධ වන්නට විය.

  දහදියෙන් පෙඟුණු සිරුර මත මදක් වෙහෙසුණු වෛද්‍යවරයා අවසන  හෙදියත් සමඟ එක්වී පැල වීමට  සුදුසු යැයි සන් කල උණුසුම් වී ඇටයක් සුනු විසුණු කරන්නට විය.

  දොර විවර වනවිටම දෑතේ හිස රුවා ගෙන සිටි නිසල් කාමරය තුලට වැදුනේය. ලෙයින් පෙඟුණු රෙදි  කැබලි කීපයක් හෙදිය විසින් කුණු බක්කියට දමද්දී වෛද්‍යවරයා විසින් පියුමිව රැක බලා ගත යුතු  ආකාරය ගැන උපදෙස් දෙන්නට විය.

    ගතට වඩා හිතින් වෙහෙසට පත් වී සිටි පියුමිව ලයට තුරුළු කරගත්  නිසල්  කාමරයෙන් පිටවී ගියේ දහසින්  බැඳී පියලි වලින් තම පෙම්වතිය හා තමාව අපවාදයන්ගෙන් බේරා ගත් උදවියට සංග්‍රහ කරමිනි.

     "ඔයාට මුලදිනම් ගොඩක් රිදෙන්න ඇති නේද පැටියෝ. මට ඔයා කෑ ගහනවත් ඇහුනා" 
    හඬන්නට කඳුළු නොමැතිව කාරයේ වීදුරුවට හිස තබා ගෙන සිටි  පියුමිට සිහිනයෙන් මෙන් ඇසෙන්නට  විය.

Monday, December 3, 2012

පිස්සු කෙල්ල

"ගුඩ් මොර්නින්ග්! කම්මැලියා නොවී නැගිටිනවා අද වැඩ ගොඩක් තියෙනවා කරන්න"

     මොන මල වදයක්ද මේ? ඇයි යකෝ දවස් හයක් දඟලලා දඟලලා ගෙදර ඉන්න දවසෙත් යන්තම් එලිය වැටීගෙන එනකොට චරු චුරු ගාන්න ගත්තම.

"කෑ නුගහ ඉන්නවකෝ. තව ටිකකින් එන්නම්"



   සීට් එක තව ටිකක් හොඳට පෙරෝගෙන බිත්තිය පැත්තට හැරිලා ආයෙමත් නිදා ගන්න හදන ගමන් කියලා දැම්මා..

"හුහ්....."

      ගස්සාගෙන යන හැඩ බලන්න ආස හිතුනත් කම්මැලිකම ඊට ටිකක් විතර වැඩි හින්දා එහෙම්මම දොයිය ගන්න ඇස් පියා ගත්තා.

    වෙලාවකට පවු කියලත් හිතෙනවා. හැමදාම ගේ අස්සේ කොටුවෙලා ඉඳලා මන් ගෙදර ඉන්න වෙලාවේ එපායැ  හුරතල් වෙන්න. 

       ඇඳෙන් බහිද්දී ගලවන් වැටෙන්න ගිය සරම හොඳට තද කරලා ඇඳ ගන්න ගමන් මන් කුස්සියට ගියා. මෙන්න මේකි හද හදා හිටපු තේකත් පැත්තකට දාලා ඇවිත් මගේ පපුවට තුරුළු වෙනවා. හතර විලි ලැජ්ජාවේ බෑ. ආ... ලජ්ජා වෙන්නේ මොකටද. අම්මලා එහෙම අයියලාගේ ගෙදර ගිහින්නේ. අනික මගේ ගෑනි මට නැතුව වෙන මොන බැල්ලිගෙ පුතෙකුට තුරුළු වෙන්නද?

      ඔන්න එහෙම හිතලා කෙල්ලගේ නළලට කිස් එකක් දීලා, පස්සට පොඩි තට්ටුවකුත් දාලා මූණ හෝදගන්න ගියා. ඒ ගිහින් එනකොටත් මේකි මන් ළඟ.

"මොකෝ අද මේ දාන්ගලේ. අම්මලා නැති හින්ද නේ."

"යනවා යන්න. පොඩ්ඩක් ලඟට ආවම මූ හිතන දුර. ඕන්නෑ."

      උණුහුමෙන් ගැලවෙන්න හදපු කෙල්ලව ඇදලා  අරගෙන කිස් එකක් එහෙම දීලා ශේප් කරගත්තා. නැත්නම් ඉතින් අද දවසත් ඉවරයි.

       කාලා, බීලා ඉවරවෙලා ටිකක් වෙලා ටීවී එකත් බලලා පත්තරේ දිග අරගත්තේ බලන්න. දහයට විතර ඇති. මේ පිස්සි තාමත් මගේ වටේ කැරකෙනවා. මගේ අවධානය ගන්න ට්‍රයි කරනවා. මොන රෙද්දක්ද? උදේම තුරුළු කර ගත්තේ?

"සුදු මහත්තයෝ..., අද අපි කොහේ හරි යමු" 

        බල බලා හිටපු පත්තරේ පාත් කරන ගමන් මේකි අහනවා.

 "ඇයි ඕයි, තමුසෙගෙ අතිජාත මිත්තරයත් එක්ක පෙරේදා නේද ෂොපින් ගියේ. ඉන්න දෙනවකො අදවත් මට. අර සක බඹරෙත් එක්කම යනවකෝ අදත්. එතකොටවත් මට මගේ පාඩුවේ නිවාඩුව ගත්තැහැකි."

      හුටා... මල කෙලියයි. තව පොඩ්ඩෙන් මට ඇත්තටම යන්න වෙනවා මේකිත් එක්ක. ෂොපින් නෙවේ. බෙල්ලට පත්තුවක් බඳින්න වෙද මහත්තයෙක් ගාවට.

  "ඔය විදියත් ලස්සනයි. ලබන සතියෙනේ අපි සූ යන්න හිටියේ. දැන් ආයේ අමුතුවෙන් යන්න ඕනි නෑනේ. ඔහේටත් ඕනිනම් කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලා ගන්නකෝ"

   ශික්... කොච්චර ට්‍රයි කලත් කියන්න ඕනි දේ නෙවෙයිනේ මේ වාචාල කටින් පිට වෙන්නේ.දැන් ඉතින් යාලු වෙන්න..... හම්බෝ....

       අද මේකි කොච්චර වාර ගානක් මන් වටේ කැරකුනාද? වෙනදට වඩා. ඇස් වලින් කතා කලාද? මොනා කරන්නද? මේකි ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේනේ.

     දවල්ට බත් කටක් කවාගන්න හිටියා මදැයි. අන්තිමේදී මටමයි කවන්න උනෙත්. ඒත් මූණ හරි නෑ. කාලගුණේ කියන්නේ නිකන්යැ. 

"කෙල්ලේ, මේ සැටිය සාලේ මැද්දෙන් තියෙන එක කැතයි. චේන්ජ් එකකටත් එක්ක අයිනට අල්ලමු"

      කිසි හා හූවක් නැතුව මේකි මන් කියන දේ කරනවා. හැමදාමත් මෙහෙම ඉන්නවනම්.. හිතුනත් කියන්න ගියේ නැත්තේ සෙටිය අල්ලලා ඉවර වෙලා එතන තිබුන මල් පෝච්චිය අරගෙන අලුත් තැනින් තියන්න ගෙනියන ගමන් හින්දයි. 

        හවස් වෙනකොට මේකි මාත් එක්ක ආයෙත් තරහා වෙලා. මටත් මොකද. ආතල් එකේ හවසත් ඇලට් එකක් දැම්මා. වෙනදනම් කොහෙද? අර වැඩෙයි, මේ වැඩෙයි, පාත්තිවලට පෝර ගේන්නයි, කේක් එකේ පිටි අනන්නයි සමහර වෙලාවට කන්න ගෙනාපු යෝගට්, කිරි, අලි ගැට පේර එහෙම අරගෙන මේකිගේ මූණේ උලන්නයි කොච්චර වැඩද අප්පා....

        ඒ නින්දත් කැඩුනා සද්දෙකින්. නැගිටලා බලනකොට අල්මාරිය ඇරගෙන රෙදි ටික පටෝනවා බෑග් එකකට. දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද? අම්මලත් නැති එකේ ශේප් කර ගන්නේ කොහොමද? ඒ වෙලාවේ තමයි වාසනාව පෑදුනේ.

හෝන් සද්දෙකුත් එක්ක ගේට්ටුව අරින සද්දේ.

      අජියගේ වැන් එකේ අපිට ඒ කාලේ බකප් එක දුන්නු සෙට් එකම. පිටිපස්සෙන් මේකිගේ අතිජාත යාළුවො සෙට් එකත් බට්ටා කාර් එකක. වෙලාව හරියටම තුනහමාරයි.

       මන් හොරෙන් කෙල්ල දිහා බැලුවා. මේකිගේ කට හායි ගාලා ඇරිච්ච ගමන්මයි. දන්නවනේ අපේ සෙට් එක. කෑ ගහගෙන හූ තියාගෙන පලාතම දෙවනත් කරගෙන එනවා. රනයා කොහෙන්ද මන්දා හොයා ගත්ත බොක්ස් ගිටාර් එකක් ගගහා. හසියා බොන්ගොවක් අරගෙන. අනික් උනුයි, එනියනුයි (හරිද මන්දා) අතින් කටින් එල්ල ගෙන.

"හැපී බර්ත්ඩේ ටූ යූ"
                                     ගාගෙන එනවා.

      විනාඩි දෙක තුනකින් කට්ටිය සෙට්ල් වෙනකොට මන් කාමරේට රිංග ගත්තා. කේටරින් එකේ අයියට කෝල් එකක් ගන්න තමයි රිංගුවේ.

"අයියේ, එහෙනම් පහට එනවනේ. මන් කියපුවා අනිවා හදන්න ඕනි. හරිනේ එහෙනම්. මන් තිබ්බා."

කියලා අනිත් පැත්ත හැරෙනකොට...... 

බුදු අම්මෝ..... 

එහෙම ඇස් දෙකක්.

         ලොකු කරගත්ත ඇස් දෙකෙන් කටින් පිට කරන්න බැරි දාහක් දේ ඇසිල්ලකින් මට කියපු මේකි මගේ පපුව අස්සේ ඔලුව ඔබා ගත්තා.

මේන් මේකි අඬනවා.......