Sunday, April 28, 2013

බිංදුව



          බිංදුව කියන්නේ මෙලෝ වැදගැම්මකට නැති ඉලක්කමක් වගේ පේන්නෙ. මටත් ඉස්සර එහෙම්මම තමයි. ඒත්...  ඕනම දෙක වැදගත් දේ අඩිතාලම නේද? අනික මධ්‍යස්ථව කටයුතු කරන ඒ කියන්නේ හැම පැත්තම බැලන්ස් කරන ඉලක්කමත් බින්දුවම තමයි.ධන බිංදුවෙයි සෘණ බිංදුවෙයි කිසිම වෙනසක් නැත්තේ ඒ හින්දනේ. ඒත් අපි මහා ලොකුවට ලොකුයි ලොකුයි කියන ඉලක්කම් අතර තියෙන පරස්පරතාවයත් ඉස්සරහට වැටෙන ලකුණින් වෙනස් වෙනවනේ. ඕක හරියට ධනවාදේ ක්‍රියාත්මක වෙන රටක කැරැල්ලක් වශයෙන් හරි සමාජවාදේ හිස ඔසවනවා වගේ තමයි.බිංදුවේ තියෙන අනික් වටිනාකම තමයි තනියෙන් ගත්තම මෙලෝ වටිනාකමක් නැති උණාට අනික් හැම ඉලක්කමකටම වටිනාකමක් ගන්න අත්‍යාවශ්‍යම ඉලක්කමක් වීම. එකට දහය වෙන්න ඕනි බිංදුව වගේම දහයට සීය වෙන්න ඕනිත් බිංදුවක්ම තමයි. ඒක තමයි මම මුලින්මත් කිව්වේ බිංදුව කියන්නේ පාදමක් කියලා.




              දැන් කට්ටියම බලනවා ඇති මොකද මූට හදිස්සියේ බිංදුව මතක් උනේ කියලා. අකමගේ ජීවිතේ මුල් කාලේ බිංදුව කියන්නේ මොකක්ද කියලා නොතේරෙන්න තමයි අම්මයි තාත්තයි වැඩ කටයුතු කරලා තියෙන්නේ. මුලින්ම බිංදුව කියන එක තේරුණේ තාත්තගේ වියෝවත් එක්ක. ඒ වෙනකොටත් අයියා ගෙදරින් පිට ඉඳීමත් නංගී හය වසරේ ඉඳීමත් ජීවිතේට ගොඩක් බලපෑවා. 

            චේන් එකෙන් ගැට ගහපු බල්ලා වගේ කොහේ ගියත් ගෙදර පේන මානයෙන් එහාට යන්න බැරි උණා. ඒ හින්දම වටිනා රැකියා අවස්ථා කීපයක්ම ගිලිහුණා කිව්වොත් නිවැරදියි. ඒ මොක උණත් අයියට ඇරෙන්න කාටවත් අත පාන්නනම් ගියේ නෑ. අදටත් එහෙමයි. තියෙන දෙයක් උකස් කරගෙන හරි කාලා ඇඳලා හිටියා මිසක්. 

             ඔය අස්සේ තමයි අම්මා ලෙඩ උනේ එක පාරටම. උදේ නැගිටිද්දී අතක් ඉදිමිලා හොල්ලන්න බැරි ගාණට. ඒක අඩු වෙනකොට කකුල. ඒක අඩුවුනේ ලෝකයම නිශ්ශබ්ද කරගෙන. ඒ කියන්නේ අම්මව සදාකාලික ශ්‍රවනාබාධිතයෙක් බවට පත්වෙලා. ගුරුවරියක් විදියට මිනිසුන් අතරේ හිටිය අම්මට එක රැයකින් වෙච්ච මේ වෙනස සෑහෙන්න ලොකු බලපෑමක් උණා කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

            ඩොක්ටර්ස්ලා කීප දෙනෙක් හමු වෙලා කරන්න තියෙන හැම දෙයක්ම කරලා ඒ හැමෝම අවසන් නිගමනය විදියට තව මුකුත් කරන්න බෑ කිව්වම සිංහල බෙහෙත් වලට යොමු උණා. බළන්ගොඩ, පින්නවල “මොරහැල- ගමකුඹුරේ වෙදමහත්තයා” හින්දා තනියෙම ගේඇතුළේ ඇවිදින්න පොඩි පොඩි වැඩ ටිකක් කරන්න පුළුවන් ගානට සනීප උණා. එදා ඉඳන් මේ වෙනකං අම්මා වත්තේ මායිමෙන් එහාට තනියෙම අඩියක්වත් තියලා ගිහිං නෑ.


           ඔය දවස්වල උදේට බතක් මාළුවක් හදලා පහේ බස් එකේ රැකියාවට ගිහිං රෑ නවයට විතර තමයි ගෙදර ආවේ. අන්තිමේදී ඒකත් හැමදාම කරන්න බැරි උන හින්දා දැන් කරන රස්සාවට මාරු උණා. ඒත් රැකියාවේ තෘප්තිය කියන එකනම් කලින් එකේ තරම් කොහොමවත් ගන්න බැරිවුන බව නම් කියන්න ඕනි. ඔය බිංදුවට වැටුණු තවත් අවස්ථාවක්.

              පහුගිය මාර්තු තිස්එක කියන්නේ ෆයිනෑන්ශල්‍ ඉයර් එන්ඩ් එක. අපේ වහල යට ඉඳන්ම වල කපන අය අස්සෙන් රට වටේ තියෙන බ්‍රාන්චස් ඔක්කොගෙම ඉංජිනියරින් සෙක්ෂන්ස් පරද්දලා ලංකාවෙන් එකට එන්න අපිට ලොකු කැපවීමක් කරන්න උණා. අන්තිමේදී අපි එක උණා. ඒත් සතුට කියන දේ ලොකුවටම විඳගන්න අවස්තාවක් ලැබුණේ නෑ.

              අපේ බ්‍රාන්ච් එකේ විදුලි ප්‍රශ්ණයක් තියෙනවා. එදා ඉඳන් කිව්වත් ප්ලාස්ටරයක් අලෝනවා ඇරෙන්න ලොකු විසඳුමක් නෑ. ඔය හේතුව හින්දා කස්ටමර්ට ගෙනියන්න ලැස්ති කරලා තිබුණ භාණ්ඩයක් පිච්චුණා. ඒ වරදත් අපේ පිට. ඒ මාසෙට අදාළ කමිෂන් එකට බිංදුව වැටිලා. ඔය ගැන යම් දුරකට වාදයක් ගෙන ගියත් අන්තිමේදී අපි තනි උන නිසත් අල වෙන්න බැරි කම නිසත් සද්දෙ වහගන්න සිද්ධ උණා. සේවකයෝ සිය දහස් ගානක් නැති නිසා වෘත්තීය සමිති උත්තමයන්ටත් අපි සත පහකට වැඩක් නෑලු. අපේ ලොක්කෝ ටික රට ගිහිං හිටපු නිසා ඕටී එකත් නියමිත දිනේට නෑ. 



          ටාගට් පස්සේ පන්නපු නිසා ෆීල්ඩ් එකේ වැඩ ඔක්කොම හිර වෙලා තිබුණේ. බයික් පදින්න පුළුවන් එකා මම වීමත් ඇතුළේ වැඩ ගොඩ ගැහීමත් නිසා මම භාර ගත්තා තනියෙම ෆීල්ඩ් එකේ වැඩ ටික ගොඩ දාන්න. කිලෝ හය හතක ටූල් බෑග් එකත් කරේ එල්ලගෙන බයික් එක *කේ අලෝගත්තා මාර්තු අන්තිම ඉඳන් අප්‍රේල් නවය වෙනකම්. දවසක ඇවරේජ් එක කිලෝ මීටර් එකසිය අසූ ගානක්. තුන්සීය පන්නපු දවසුත් තිබුණා.

           අම්මා බලන් ඉන්නවා අවුරුද්දට ගෙදර පුරවන්න. නංගි ඇඳුමක් ගන්න ඕනි කියලා නොකියා කියනවා. පර්ස් එකේ සීසන් එක විතරයි. කණකරත් වැඩි ආරක්ෂාවට බැංකුවේ. ඔය අතරේ අමතර වැඩක් සෙට් උණා. රට වටේ දුවන ගමන් දවසක් සම්පූර්ණයෙනුත් තව දවස් දෙකක් උදේ තුන වෙනකනුත් වැඩ කරලා යාන්තං ප්‍රශ්ණ ටික පොඩ්ඩක් ශේප් කර ගත්තා. ඒත් එක්කම කතරගම පැත්තෙ වැඩක් සෙට් උණා. නව වෙනිදා වැඩ ඇරිලා ඇවිත් (ඔව් එදා තමයි මගේ දෙවැනි සයිබර් මිතුරා Praසන්අයියත් හම්බ උනේ) රෑ අටට විතර මහා වැස්සේම කිලෝමීටර් එකසිය ගානක් පදින්න බයික් එකට නැග්ගේ. 



           මොනවා උණත් මහන්සියේ ප්‍රථිපල ලැබුණා. දොළොස් වෙනිදා හවස් වෙනකොට ගෙදර හිනාවෙන් පුරවන්න පුළුවන්කම ලැබුණා.


       

     බිංදුවේ අගය ආයෙත් දැනගත්තා වගේම බින්දුවට අගයක් ලබා දෙන්නත් හැකියාවක් ලැබුණා. කොයිදේ කරන්නෙත් ඕකටනේ.....

33 comments:

  1. ගොඩක් සතුටු හිතෙන කතාවක් දුක් බර සිද්ධි
    ගොඩකින් පස්සේ.ජීවිතේ සාර්ථක වෙන්න කියල
    සුබ පතනවා අකම් ...

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහෝම ස්තුතියි සහන්.

      ජීවිතය කියන්නේ එක තැන පල් වෙන දෙයක් නෙවෙයිනේ. ගස්වල මුල් අතරින් පෙරිලා ඇවිත් ගල් උඩින් වැටිලා දිය ඇලි, පෙන පිඬු නංවලා ගලා යන දෙයක්නේ. ඕකට තව දිය දහරාවල් එක වෙලා පරිනත වෙලා අන්තිමට තමයි නිසලව ඒත් වේගයෙන් මුහුද කරා ඇදෙන්නේ.

      Delete
  2. jeewithe hati ohoma thamai akam..eka eka kaaleta jeewite apita denne eka eka agayan...!

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි. එක එක කාලෙට එක එක අගයන්. වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු...

      මොකෝ මේ දවස්වල වැඩිය සද්දයක් නැත්තේ?

      Delete
  3. දෛවය වෙනස් කර තැනක්.

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම පරදවපු තැනක් කියලත් හිතෙනවා ගයනි. මොකද මං මගේ ජීවිතේට මෙච්චර මහන්සි වෙලා නැතුව ඇති. දවල් වගේම රෑත්.

      Delete
  4. කතාව දුක්බර උනත් අවසාන මොහොතෙ හරි සතුටක් ලබාගන්න පුලුවං වෙච්ච එක ගැන සංතෝසයි. ඉදිරියේදි හැමදෙයක්ම සතුටුදායක විදියට විසඳෙන්න කියල පතනවා.

    ඔච්චර ප්‍රශ්න අස්සෙ හරි ඇවිල්ල කතාකරල ගියාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න අයියා..

      ඇත්තටම එදා ඔයාගෙ ෆෝන් නම්බර් ඒකවත් ඉල්ලගන්න තරම් මතක් උනේ නෑ. යාන්තම් ඔලුව දැම්මා විතරනේ.

      Delete
  5. කෙනෙක් මොනයම් විදියකින් හරි බින්දුවට වැටුනාම ජිවිතයද කියල හිතෙනවා. අපි හැමෝම බිංදුවට වැටිලා තියෙනවා නේ මචං.

    ReplyDelete
    Replies
    1. ඔව් අසර්. අපි හැමෝම. හැබැයි ඒ බිංදුව මුදලින්ද, මානසිකත්වයෙන්ද නැත්නම් ආදරයෙන්ද කියන එක නොසැලකුවොත් හැමෝම බින්දුවට වැටිලා කියන එක තවත් අර්ථ ගැන්වෙනවා.

      මං හිතන්නේ අසර්ටත් මේ ගැන අත්දැකීම් ඇති. එහෙම නේද?

      Delete
    2. හැම විදියකින්ම වැටිලා තියෙනවා.

      Delete
    3. කොයි විදියට වැටුණත් දැන් නගිටලානේ.. ඒ ඇති මචං. ආයේ නොවැටෙන්න හිත ධෛර්යමත් කර ගම්මු.

      Delete
  6. බිංදුවෙන් පටන් ගත්ත කෙනෙක් කවදාවත් ආපහු වැටෙන්නෙ නෑ.. මොකද එයා දන්නව 0 අගය..

    (මේ 100 වෙනි පෝස්ට් එකද ? )

    ReplyDelete
    Replies
    1. පැදුරෙන් බිමට වැටෙන්නෑ කියලා දන්නවනේ. :D

      අනේ බං දැන්ම සීයෙක් වෙන්න අදහසක් නෑ නොවැ.

      Delete
    2. මටත් දැක්ක ගමන් හිතුන @YASITH (dot) NET .. 56 ද කොහේදෝ :P

      Delete
  7. මම හොඳට බලලා තියන දෙයක් තමා, නහය ගාවට එරිලා ඉන්න මිනිස්සු තමා, අනිත් මිනිස්සුන්වත් හිනස්සලා, තමනුත් සතුටෙන් ඉන්න බලන්නෙ.. අකමත් එහෙම තමා..

    උඹට වරදින්නෑ.. ඔහොම යමු.. ඉස්සරහට, බින්දු ගොඩක් පිටිපස්සෙන් එකතු වෙයි..

    ReplyDelete
    Replies
    1. ඕකට හොඳම උදාහරණේ තමයි අපේ මාමා. හැමෝම දන්නවා නෙව ලංගමේ අයට පඩි ලැබුණු හැටි. ඒ අස්සෙ ලොකු නංගි කැම්පස් සිලෙක්ට් වෙලා. නායකත්ව පුහුණු බදු ලිස්ට් ඒකත් මාමගෙ පඩිය තරම්ම දිගයි මයේ හිතේ. ඊට පස්සේ කැම්පස් ඒකත් පටන් ගත්තා. ඔය ඔක්කොම අස්සෙ එයත් කොහොම හරි ගෙදර වැඩ ටික කර ගන්නවා. එයාලා අවුරුද්දට අපේ ගෙදර ආවේ ඊයේ. එනකොට මට ඔරලෝසුවක් අරන් ඇවිත්. ඇත්තටම මට දුක හිතුනා ඒ වෙලාවේ.

      ...//උඹට වරදින්නෑ.. ඔහොම යමු.. ඉස්සරහට, බින්දු ගොඩක් පිටිපස්සෙන් එකතු වෙයි.//... ඇයි මට විතරක්? ඔයාටත්, අපි හැමෝටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
  8. බින්දුව කියන්නේ මිනිහෙක්ට දෙයක් පටන් ගන්න පුළුවන් පළවෙනි තැන.. එතන ඉදන් ආව මිනිස්සුන්ට වරදින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. එතන ඉඳන් ආව අයට වරදින්නෑ වගේම එතනම ඉන්න අයට හරියන්නෙත් නෑ.

      අපි හැමෝටම ඉන්න තැනින් ඉදිරියට යන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරමු!

      Delete
  9. උ‍‍ඹේ උත්සාහ වන්ත කමට... දහිරිය වන්ත කමට... හිස නමා අචාර කරනවා...

    ජය වේවා මචන්...

    ReplyDelete
    Replies
    1. අඩේ පිස්සු කෙලින්න එපා බං. මට හිස නමන්න... (සැක්; පස්සෙනෙ දැක්කේ මට නෙවෙයි මගේ උත්සාහවන්තකමටයි කියලා.)

      උඹටත් ජයෙන් ජය!!

      Delete
  10. අපිත් ඔහොම තමා බං.. උඹටය කියල වෙනසක් නෑ.. ගොඩ යන එක තරං සතුටක් තවත් තියෙනවද? මං දන්නවා ඒක...මොකක්ද බං අන්තිමට ගහපු සීය...පැට්‍රල් ලීටර් 100 ක් ද?හැක්...

    ReplyDelete
    Replies
    1. අන්න මට වඩා අත්දැකීම් බහුල පරිනත බුවෙක්ගෙන් අදහසක්.

      ඕක ගැන තමා මං මුලිනුත් කිව්වේ "දුකම කොයි තරම් සතුටක්දෝ..." කියලා. (ලින්ක් එක හොයන්න කම්මැලියි බං)

      උඩ ඉඳන් පින්තූර ටික බලන් ආවනම් 100 මීටර් වෙනවා.

      මුලින්ම නිකන් 0.
      ඊළඟට ඒකට තව බිංදුවක් එක්කහු කළා. ඒත් අගය බිංදුවයි.
      ඊළඟට මුලට එකක් එකතු කළා. මෙන්න බොලේ සීයයි. :O

      Delete
  11. ජීවිතය සාර්ථකවේවා.... මොකක්ද මේ 100ජයවේවා

    ReplyDelete
    Replies
    1. මගේ,ඔබේ වගේම අපි හැමෝගෙමත්..... බොහොම ස්තුතියි නලින් අයියා පැතුමට.

      සීය ගැන ඔන්න මම දේශකයට පැහැදිලි කළා.

      Delete
  12. අම්මගේ කනේ අමාරුව ඔය විදියටයි වුනේ කියලා මම දැනගෙන හිටියේ නෑ. මට තාම තේරුම් ගන්න බෑ ඒ මොනවගේ අසනීපයක්ද කියලා.

    උඹට මුණ ගැහුනු පළමුවෙනි බ්ලොග් කරුවා කියන ස්ථානය මට ආඩම්බයක්, අකමා.

    මේ කතාවත් උඹ ලස්සනට ලියලා තියෙනවා, බං. ඔහොම දවස් අපි කාටත් තියෙනවා. උඹ දන්නවද, ඉස්සර සමහරක් දවස්වලට බස් එකට නැගලා හිඟාකන එවුන්ගේ අතේ, මගේ සන්තකේටම තියෙනවා වගේ කීප ගුණයක් සල්ලි තියෙනවා දැකලා, මට හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බැරුව වෙච්ච වෙලාවල් අනන්ත තියෙනවා. විශේෂයෙන්ම පඩි දවස කිට්‍ටු වෙනකොට.

    එතකොට පඩි දවසට, වන්වේ ටිකට් එකට විතරක් සල්ලි අරන් එන උන් කොච්චර ඉන්නවයි කියලද උඹ හිතන්නේ. පඩි හම්බවුනේ නැතිනම් එදාට බස් එකේ හොරෙන් තමයි ගෙදරයන්න වෙන්නෙ.

    ReplyDelete
  13. බිංදුවෙ ඉඳං ගොඩ ආවට පස්සෙ දැනෙන්නෙ කියල නිම කරන්න බැරි තරං සංතෝසයක් අකං

    ReplyDelete
  14. දැන් ඉන්නෙ බිංදුවේ.. ඒ නිසා අලුතෙන්ම පටන් ගන්න වෙනවා.. බලමු හෙමින් නැගිටින්න..

    ReplyDelete
  15. බිංදුවෙ ඉඳල පටන් ගෙන අද වෙද්දි සෑහෙන දුරක් ඇවිත්.
    සතුටු වෙන්න පුලුවන් මට්ටමක ඉන්නව

    හිතට දැනෙන්න ලියල තියෙනව.

    හැම බාධකයක්ම මැඩගෙන ඉස්සරහටම යන්න සුබ පැතුම්.

    ReplyDelete
  16. මට උදව් කරන්න පුලුවන්ද කාට හරි . http://mama-nodannekmi.blogspot.com

    ReplyDelete
  17. අදමයි මේ පැත්තෙ ආවෙ.....................අපි 100 පටන් ගන්නවට වඩා 0 පටන් ගැන්ම හොදයි කියලයි මගේ අදහස අපි හැමෝම 0 ඉදන් තමා පටන් ගන්නේ දුක්බර අභියෝග රැසකින් 100 ලැබුණම කොච්චර සතුටු ඇතිද කියල හිතාගන්න පුළුවන්

    ජයම වේවා............ආයෙමත් එනවා හොදේ

    ReplyDelete
  18. 0 න පටන් ගත්තු නිසා ආයේ වැටෙන්නේ නෑ .... :) ජිවිතේ ජයගන්න මගේ සුබපැතුම් අයියා....

    ReplyDelete
  19. 0 පටන්ගත්ත කෙනෙක්ට වැටෙයි කියන බය නැහැ 0 කියන්නේ කෙනෙකුගේ පරාජය වගේම කෙනෙකුගේ ජයග්‍රහණයක්
    කෝරලේ වලව්ව

    ReplyDelete