Friday, November 9, 2012

අම්මේ......

          අම්මේ.......





      දඩාන්... හඩින්දොරට ගහමින් දොර අරවගන්න මන් ට්‍රයි කළා. ඒ වෙනකොටත් අනෝරා වැස්ස. අම්මා විතරයි තනියම ගෙදර හිටියේ. අද මන් නිවාඩුවක් දැම්මේ අම්මත් එක්ක දවල්ට ටවුම පැත්තේ යන්න හිතාගෙන. ඒත් අද අම්මට උන හැදිලා. අපේ අම්මා දැන් කොහොමත් අසනීප තත්ත්වයේ ඉන්නේ. අවුරුදු දෙකකට විතර කලින් ගෙදරට  මීටර් පනහක් විතර එහායින් තිබුණු කඩේට ගියායින් පස්සේ අද වෙනතුරු තනියම කොහෙවත්  ගිහින් නෑ.

           ඉතින් හවස අම්මට බෙහෙත් අරන් දීලා එනකොට අයියා කතා කරලා කිව්වා එයාලයි, ඔෆිස් එකේ අයයි කතරගම යනවා නංගිටත් යන්න ලැස්ති වෙන්න කියලා. ඒ පාර නංගිවත් එක්කරගෙන අනෝරා වැස්සේ මන් පැල්මඩුල්ලට ගියා එයාව අයියගේ වාහනේට නග්ගවන්න. ඊට පස්සේ රෑට කෑම එකකුත් අරගෙන මන් ගෙදර ආවා. එතැනදී තමයි මේ සිද්ධිය සිද්ධ උනේ.

          මන් දොරට ගහන ගමන් අම්මට කතා කළා. ජනේලෙන් බලනකොට මන් දැක්කා අම්මාට සාලේ පුටුව උඩ වාඩිවෙලා ඉන්න ගමන්ම නින්ද ගිහින්. ටී.වී. එකත් දාලා. ජනේලේ වීදුරුවටත් ගැහුවා. ගේ ඇතුලේ හිටපු බලු කුක්කත් බුරනවා. අම්මගේ කන ඇහීම දුර්වලයි. ඉතින් අවධානය ගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ.


අම්මට නින්ද ගිහින් හොඳටම.


        අපේ අම්මා තනියෙම ඉන්න ටිකක් බය කෙනෙක්. ටිකක් නෙමෙයි, තාත්තා ඉන්නද්දී තනියෙම කාමරෙකින් කාමරේකට යන්න බයයි. දැන්නම් ඒ ගතිය ටිකක් අඩුයි. ඉතින් එහෙව් එකේ  අනෝරා වැස්සේ රෑක අම්මව තනියෙන් දාල ගිය එකට මන් මටම සාප කරගන්න ගමන් ආයෙත් කතා කළා.


අල්ලපු ගෙදර අක්කත් ඇවිත් කලබලේ බලන්න.


     මගේ හිතටත් මොකක්ද වගේ.   මහා පවුකාර සිතිවිල්ලකින් මගේ ඇඟ හීතල වෙලා ගියා. ත්‍රීවීල් එකේ ආයුද සෙට් එක ගත්තු මට ගරාජ් එකේ දොර අරින්න තත්පර තිහක්වත් ගියේ නෑ.  

        ගේ අස්සට පැනපු මන් අම්මට කතා කළා. එතකොට තමයි අම්මට ඇහැරුනේ. බෙහෙත්වල සැරටද කොහෙද නින්ද ගිහින් තදටම. මට ඒ වෙලාවේ ඇත්තටම  ඇඩේන්න ගියා. ඒ මොකද කියලා මටවත් හිතාගන්න බෑ. මන් එහෙම්මම එතනින් අයින් උනේ අම්මා මගේ හිත කියවයිදෝ බයෙන්. මොකද අපි අම්මා ගැන වදවෙනවා කියලා හිතුවොත් එයාට තවත් දුක හිතෙන නිසා.

අම්මේ තිසරණ සරණින් ඉක්මනට ඔයා සනීප වෙන්න ඕනි.

24 comments:

  1. බය වෙන්න එපා ඉක්මනට සනීප වෙයි................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! ඔයාගේ ආශිර්වාදේ අම්මට හයියක් වෙනව සිකුරුයි.

      Delete
  2. ඔක්කොම හරි යයි බන්.. අම්මට ඉක්මනින්ම සුව වෙයි !

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් පින්.

      Delete
  3. Replies
    1. ඔව් වෙනි අයියේ දැන් අම්මට සනීපයි.

      Delete
  4. මම අකමාගෙ අම්මා දැකලා නැති වුනත් උඹ අරෙහෙම කියනකොට මමත් තිගැස්සුනා. අම්මා ඉක්මනින්ම සනීප වේවි අකමා එයාට තෙරුවන් සරණයි. උඹ වගෙ සංවේදෙ පුතෙක් ලබපු අම්මා හරි වාසනාවන්තයි.

    අපේ අම්මටත් ඔය කන් ඇහීමේ දුර්වලතාවය තිබ්බා අකමා. ඉයර්ෆෝන් සෙට් එකක් නම අරන් දීලා තිබ්බත් එයා ඒක දාන්න හොරයි. අනිත් අත්‍යාවශ්‍ය වැඩේ තමයි උඹ ගෙදර යතුරෙ ඩුප්ලිකේට් එකක් උඹේ වොලට් එකේ තියාඅන ඉන්න එක ස්ථිරවම. මයි එකක් තියෙනවා නේද ඒකෙ යතුරත් ඒකම කරපං. අත්දැකීම් වලින් කියන්නෙ.

    අර දොර හැදුව නේද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මන් උදේ ඉඳන් හිතාගෙන හිටියේ මේක ඩිලීට් කරන්න ඕනි කියලා. ඔෆිස් එකේ නෙට් පහසුකම් තිබුනත් අල්ලන්නවත් වෙලාවක් නෑ.

      ගෙදර ආපු ගමන් පීසී එක ඔන් කරලා තමයි වොෂ් එකක් දාන්නත් ගියේ. ඒ තරම් හදිස්සියෙන්. මොකද මේ පොස්ට් එක මන් දැම්මේ ඒ වෙලාවේ හිතට ආපු හැගීම් පිට කරන්න මිසක් කාගේවත් අනුකම්පාවක් ගන්න නෙවෙයි. මන් එච්චර දුර හිතුවෙත් නෑ.

      දැන් මන් ආයෙත් පොස්ට් එක කියෙව්වා. පස්සේ හිතුනා පොස්ට් එක අම්මට සෙත් කවියක් වෙයි කියලා.

      Delete
    2. ඉයර් ෆෝන් ගැන පස්සේ මන් කියන්නම්. යතුරේ ඩුප්ලිකේට් එකක් මන් ගාව තියෙනවා හෙන්රි අයියේ. ඒත් දොර ඇතුලෙනුත් ලොක් කරන්න පුළුවන්. (උඩිනුයි යටිනුයි සොයිබ දෙකක් දාලා තියෙන්නේ.)
      ඒ දොර නම් ගොඩ.

      Delete
  5. අම්මා ඉක්මනින්ම සනීප වෙනවා බං. උඹ කිව්ව දේ මටත් මගේ අම්මා ගැන මතක් උනා. මගේ අම්ම නැතිඋනේ බං පපුවේ අමාරුවකින්. අම්ම නැති උනාට පස්සේ තමා දන්නේ හැම සතියෙම ඉස්පිරිතාලේ ක්ලිනික් ගියා කියල ඒකට බෙහෙත් ගන්න. ක්ලිනික් එකට ගියපු තරම පිටු 40 පොත් දෙකක් බං. ඒත් කවදාවත් දැන ගන්න ඉඩ තිබ්බේ නෑ.. උඹ කිව්ව වගේ අපි වද වෙයි කියල..

    ReplyDelete
    Replies
    1. ඩුඩෙට ස්තුතියි ලින්කටුවට

      Delete
    2. මහාමේරුවක බර උස්සන් ඒ බර අපිට නොදී ඉන්න අයට කියන්නේ "අම්මා" කියලා. "තාත්තත්" එහෙම තමයි නේද?
      ඔයාට වගේම පසුතැවීමක් මට තාත්තා ගැනත් තියෙනවා දේශකයා.

      මගේ මේ ගමනේ ලොකුම හයියක් තමයි හෙන්රි අයියා.

      Delete
  6. ළමයි විදිහට සැහැල්ලුවෙන් හිටිය කාලෙ ඉවර වෙන්නෙ අම්මලා ගැන අපි වද වෙන්න ගත්ත දවසෙ ඉඳලා. අපි වැඩි දෙනෙකුගෙ දෙමවුපියො ලෙඩ වෙලා, තනිවම කටයුතු කරගන්නට අපහසු තත්වෙකට ඇවිත්. සත්‍යය හිතින් ප්‍රතික්ෂේප නොකර, අපේ එදිනෙදා ජිවිතය ගෙවා ගන්න අමාරු වෙලා. ඒ අතරට මෙහෙම අත්දැකීම් අපිව බය කරනවා.
    ඔබේ මවට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
    Replies
    1. තාත්තා නැති වෙනකම් මට ජීවිතේ ගැන කිසිම බරක් තිබුනේ නෑ. දැන් මන් ජීවිතේ තේරුම් ගනිමින් ඉන්නවා.

      ප්‍රාර්ථනාවට ගොඩක් පින්.

      Delete
  7. අම්මට ඉක්මනින් සනීප වෙයි මචන්!! උඹ එල කොල්ලෙක්..

    ReplyDelete
  8. මුලින් මම හිතුවෙ ප්‍ර‍බන්ධයක් කියලා... අන්තිමට තමයි මේ අත්දැකීම ඔබේ බව දැනගත්තෙ... ඔබේ මව්තුමියට සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්න කියා පතනවා....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සිරා.

      Delete
  9. මාත් හිතුවෙ මේ අකමා හිතලා දාපු එකක් කියලා...

    කන් ඇහීමේ ආබාධ තියෙන ගොඩක් අය ඔය ඉයර්ෆොන් එක දාන්න හොරයි.. මොකද මන්දා... මටත් බැඳලා ආවට පස්සේ තමයි අම්මයි තාත්තයි ළඟ නැති එක දාරගන්න බැරි උනේ.. ඒක නිසා හිතුන විදිය හිතා ගන්න පුළුවන්.. අම්මයි තාත්තයි ඇරෙන්න කොන්දේසි විරහිතව අපි වෙනුවෙන් ඉන්න වෙන කෙනෙක් කවදාවත් ලැබෙන්නේ නෑ අපිට...
    අම්මට දැං සනීපයි නේ.. ඩුඩි කිව්වා වගේ යතුරෙන් විතරක් දොර ලොක් කරගන්න ක්‍රමක් හදා ගෙන තිබ්බ නං හොඳයි නේද..? එක්කෝ අම්මට නොදැනෙන්න වෙන දොරකින් හරි හදිස්සියට ඇතුලට යන්න හදලා තියන්න...

    ReplyDelete
    Replies
    1. ඕකට හුරු වෙනකන් පොඩි ලැජ්ජාවක් තියෙනවා. ඒත් පාවිච්චි කරන අය (විශේෂයෙන් තරුණ අය) පෙන්නුවම ටිකක් හරියනවා.
      අම්මට මුලින්ම ඉයර් ෆෝන් එකකට කියලා ගත්තේ කණ ඇතුලේ පාවිච්චි කරන එකක්. ඒක එලියට ගන්න ස්ට්‍රිප් එකට කණ හීරෙනවා. හරියට ඇහෙන්නෙත් නෑ. සිංහල බෙහෙත් කරන්න ගියාම ඒක පාවිච්චි කරන්න එපා කියලා කිව්වා. ඒ වෙනකොට සනීප කරගන්න කරන්න තියෙන ඕනිම දෙයක් කරන්න පෙළඹිලා හිටියේ. (දැන් සිංහල බෙහෙත් වලට බනින්න හදන්නෙපා. ඇඳෙන් බහින්න බැරුව හිටපු අම්මව සනීප කලේ ඒ වෙද මහත්තයා)

      පස්සේ ආයෙත් එකක් ගත්තා. ඒක behind ear. ඒ කියන්නේ කණ පිටිපස්සෙන්. ඒකෙනුත් හිතන තරම් ප්‍රයෝජනයක් නෑ. කියන්න ගියාම කියන්නේ ඔක්කොම එහෙමලු. ගැඹුරු කටහඩවල් අහන ගානට හදනකොට තියුණු ශබ්ද ඇහෙනවා වැඩියි. එක හදනකොට කතා කරනවා ඇහෙන්නෑ. 2 or 3 lakදීලා programmable එකක් ගන්නලු. කාට කියන්නද?

      උන හැදුනම ඔලුවේ කැක්කුමත් හැදෙනවනේ. එතකොට ඇහෙන ගතිය ගොඩක් අඩුයි. මෙදා උනෙත් ඒක.

      Delete
  10. ඔයා හොද පුතෙක්

    ReplyDelete
    Replies
    1. සොරි බන් මෙහෙම කියනවට. ඔය කතාව අහන්න නම් නෙවෙයි මන් මේක දැම්මේ.

      මෙහෙම කිව්වා කියලා මේ පැත්තේ එන එක එහෙම නවත්තලා දැම්මොත් මන් නරක එකා කියලා කියන්නෙපා හරිද?

      Delete
  11. අකමා මම කලබලේට කොටන කොට අකුරු වරදිනවා හරියට. මම කිව්වෙ ගෙදර යතුරයි වාහනේ (බයික්/ත්‍රීවීලර්) යතුරෙයි ඩුප්ලිකේට් දෙකක් පර්ස් එකේ තියාගන්න කියලා.
    අරදොර පලු දෙකේ එකක් නෙවෙයිනම් අකමා එලියට යනකොට සොයිබ නොදා විතරක් නෙවෙයි යතුර ඇතුලෙන් නොදා තියන්න කියලත් අම්මාට කියන්න වෙයි.

    දැන් අම්මට ටිකක් හොඳයිද?

    කවුද බං අනුකම්පාව ගන්න පෝස්ට් ලියන්නෙ? අපි කවුරුවත් එහෙම හිතුවෙ නෑ. මේක හරිම සංවේදී පෝස්ට් එකක්. ඩීලීට් කරන්නෙ හෙම නෑ. මේක සෙත් කවියක් වගේ තමයිනෙ බං.

    ඔන්න ආයෙම කිව්වා.

    අකමගෙ අම්මට නිදුක් නිරෝගී සුව පතනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ගෙදර යතුරේ ඩුප්ලිකේට් එකක් මගේ පර්ස් එකේ තියෙනවා. තව බැකප් එකක් අල්ලපු ගෙදරත් තියෙනවා. (කවුරු හරි නෑ කෙනෙක් ආවොත් හරි, අපි නැති දවසක රෑට ලයිට් දාන්න හරි කියලා)
      බයික් එකේ එකක් ගෙදර තියෙනවා. රෝද තුනටනම් එකක් හෙටම හදා ගන්න ඕනි.

      දැන්නම් සනීපයි හෙන්රි අයියේ. ඔන්න මාත් ආයෙම කිව්වා බොහෝම පින් කියලා.

      Delete