Saturday, February 23, 2013

ඉගෙන ගන්න ආස අයට


          අපි පොඩි කාලේ අපිට ඉගෙන ගන්න, කියවන්න ගොඩාක් අවස්ථාවල් අපේ දෙමවුපියෝ හදලා දුන්නා. මගේ තාත්තගේ විනෝදාංශය තමයි කියවීම. පුළුවන් හැම වෙලේම. ඉස්සර පුංචි පත්තරේ, බින්දු පත්තරේ, විජය පත්තරේ හැම සතියකම ගත්තා. ඒ ලංකාදීපයයි, සන්ඩේ ඔබ්සර්වර් එකටයි අමතරව. සමහරු හිනා උණා. මාස් පඩි කාරයෝ වෙච්චි අම්මයි තාත්තයි අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගනිද්දී පත්තර වලට සල්ලි නාස්ති කරනවා කියලා. සමහර දවස්වලට පත්තරේ ගන්න ළඟම ටවුමට තාත්තා යන්නේ පයින්. කිලෝ මීටර් දෙකක් වෙච්ච ඒ දුර බස් එකේ යන්නයි එන්නයි තරම්වත් මුදලක් පත්තර වලට අයින් කලාම ඉතුරු නොවෙන හින්දා..


           ඔය අස්සේ සාධන, වගේ ශිෂ්‍යත්වය උදෙසා නිර්මාණය උණු පත්තරත් ඊළඟට විදුසර, නව යුගය වගේ එව්වත් දක්වා කාලයත් එක්ක ගමන් කළා. එතකොට සමුදුර, පරිඝණක සඟරාව......

         තාත්තා ඉන්න දවස්වල ඉරිදා පත්තර ඔක්කොම වගේ කියවනවා. විශේෂයෙන්ම තාත්තා පැන්ෂන් ගියායින් පස්සේ. තාත්තගේ රාජකාරි යහළුවෙක් ගන්න ලංකාදීපය, එයාගෙ බෑණා ගන්න රාවය, හිටපු ග්‍රාමසේවක ගන්න සිළුමිණ, ඩොක්ටර් ගන්න ලක්බිම (එන හැම කෙනාම තාත්තගේ හිතවත්තු බවට පත් වෙච්ච නිසා හොඳයි) අපි ගන්න රිවිරයි, සන්ඩේ ඔබ්සර්වර් එකයි. මෙතැනදී කවුරු හරි ගන්න පත්තරේ වෙනස් උණොත් ඒකට හරියන්න අපේ එකත් වෙනස් වෙනවා. ඒත් පාඩුවක් නෑ. සතිය පුරාවටම පත්තර.


               මටත් ඔය කියවීමේ ඉතිහාසය මතක නැති කාලෙක ඉඳන්ම තියෙනවා. එව්වා මතක් කරලා දෙන්නේ ගෙදර කට්ටිය එකතු උණාම මඩකුත් එක්කම තමයි.
      ඒකත් කියන්න එපැයි. ඔන්න දවසක් කොල්ලෙක් ගියාලු තාත්තත් එක්ක ප්‍රධාන නගරෙක පුස්තකාලෙකට. තාත්තා පත්තරේ කියවනකම් මූ පත්තර බලනවලු. ඔන්න එක පාරටම “තාත්තේ තාත්තේ පුත්තකාලේ මූනෙක්” කිව්වලු.  ඒ වෙනකම් මූ හිතන් ඉඳලා තියෙන්නේ බත් කන වෙලාවට අපේ ගෙදරට විතරයි හූණෝ එන්නෙ කියලා. :D


          ඉස්කෝලේ අලුත් පොත් දීපු දවසට ගෙදරට එන්න කණවැල අල්ලන්නෙ අපේ අම්මා. පහුවෙනිදා උදේ වෙනකොට අළුත් පොත් මටනම් අළුත් එව්වා නෙවෙයි. ඔය කියවීමේ පුරුද්ද හින්දම වෙන්නැති අනිත් එව්වො ශිෂ්‍යත්වෙට පන්ති යද්දී (හැබැයි එච්චරම පන්ති මේනියාවක්නම් තිබ්බේ නෑ.) එක පන්තියකටවත් නොගිය මං ඉස්කෝලෙනුත් රෙකෝර්ඩ් එකක් තියලා ලකුණු 172ක් අරගෙන ගොඩ ගියේ. (සාපෙ ගැනත් කියන්න තිබුණත් එක පෝස්ට් එකකට එක නයෙක් හිටියම ඇති කියලා හිතුණා. :D)


          ඉතිං මං මේක ලිව්වේ තාත්තගේ විශේෂ ගුණයක් ගැන කියන්න. ඒ තමයි කියවීමට වගේම ඉගෙනීමට ඇති කැමැත්ත ගැන. තාත්තා ගෙදරට වෙලා ඉද්දි තමයි ඔය ටීවී එකේ දවල්ට යන නුග සෙවණ (අනිත් චැනල්නම් මතක නෑ) වගේ වැඩසටහන් පටන් ගත්තේ. ඉතිං එයාගේ වැඩේ ඕවයේ යන සාකච්ඡාවල සාරාංශය පොතක ලියාගෙන අපිට දෙන එක. ඒකත් පොඩි කාලේ බත් කවනවා වගේ තමයි. කන්න ගියාම, රෙදි හෝදන්න ගියාම ළඟට වෙලා එව්වා ගැන කියනවා. ඒත් කර දඬු උස් මහත් උණාම ඒවා වදයක් කියලා හිතපු වෙලාවල් අනන්තයි. (එහෙම හිතපු පවට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා කියලනම් දන්නවා.) ඒත් තාමත් සමහර වෙලාවට බලෙන් ඔලුවට දාපුවා ඕනි වෙනවා.
තාත්තගේ ඕල් ඉන් වන් පොත්
හොයාගන්න බැරි උණා. ඔක්කොම අම්මා ගාව.
ඉතිං මේ ලඟදි මට හම්බ උණු තාත්තා ලියපු කෙටි කතාවක් මේ.


               අර වැදගත් දේවල් පොතක ලියන කතාවක් මං කිව්වනේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි වචන පාඩම් කිරිල්ලත්. ඩික්ෂනරිය ළඟ තියාගෙන දවසකට නොදන්නා වචන 50ක් පාඩම් කරනවා. ඒ වගේම අපේ හොඳ පිටු ඉතුරු වෙච්ච පරණ පොත් අරගෙන ඒවා ලියලා මතකය අලුත් කර ගන්නවා. මොනවා උනත් එහෙම නොකලත් තාත්තට රැකියා තත්ත්වයත් එක්ක හොඳ ඉංග්‍රීසි පරිහරණය කිරීමේ හැකියාවක් තිබුණා. ඒත් නොදන්නා දේවල් අනන්තයිනේ.


              ඉතිං මෙච්චර දෙයක් කියලා වටෙන්ම ආවේ මේ වගේ ඉගෙන ගන්න ආස අය ඉන්නවනම් අතිශයින්ම වැදගත් සොෆ්ට්වෙයාර් එකක් හම්බ උණා. මේ ගැන දැනටමත් දන්නා ගොඩක් අය ඉන්නවා. ඒත් නොදන්නා එක්කෙනෙක් හරි ඇතිනේ කියලා තමයි මේ ගැන කියන්නේ.

             නාමල් ජයතුංග කියලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් හදාපු ඩික්ෂනරියක්.
    “The Namal Dictionary” හෙවත් “The NDictionary”.

            මේකේ මටනම් හැම ඔප්ෂන් එකක්ම වැදගත්. සිංහල යුනිකෝඩ් වගේම සිංග්ලිෂ් වලිනුත් ටයිප් කරන්න පුළුවන්. ප්‍රෝනවුන්ස් කරන හැටිත් තියෙනවා. ඉංග්‍රීසි-සිංහල වගේම ඉංග්‍රීසි-ඉංග්‍රීසි තේරුම ගන්නත් පුළුවන්. KMPlayer එකෙන් ෆිල්ම් බලද්දී සබ්ටයිට්ල් වල තේරුම බලන්නත් පුළුවන්. ග්‍රෑමර් චෙක් කරන්නත් පුළුවන් (ඒකනම් මාත් බැලුවේ නෑ) තව වැදගත්ම දේ තමයි දවසකට වචන දහයක් දෙනවා පාඩම් කරන්න.


               ඉතිං මේ දිරිය පුතණුවන් මහන්සි වෙලා හදපු මේ ශබ්ද කෝෂය පාවිච්චි කරලා බලලම මොකක් හරි ඒ ගැන එයාගෙ සයිට් එකේම කියන්නකෝ දිරි දීමක් විදියට.  මෙන්න මෙතනින් එයාගේ නාමල් යායට යන්න පුළුවන්.

මෙන්න ලින්ක් එකත්,
http://namalyaya.blogspot.com/2012/12/EnglishSinhalaDictionary.html

27 comments:

  1. මුලින්ම උඹේ තාත්තා හරි වටින ආදර්ශමත් තාත්තෙක්.. මටත් කියවීමේ පුරුද්ද ආවෙ අපේ තාත්තගෙන්.. අපේ ගෙදර පත්තරනම් ගත්තෙ නෑ.. ඒත් තාත්තා පඩියට අනිවාර්යයෙන් අලුත් පොතක් ගත්තා.. ඒවා අංක කරලා ලස්සනට තියාගන හිටියා.. මේ පුතයා ඒවා යාලුවන්ට දොර දන් දෙනකන්.. :D

    ඊට අමතරව චිත්‍රකතා පත්තරත් ගත්තා...අම්මනම් කියන්නෙ මම මොන්ටිසෝරි යනකොටත් චිත්‍රකතා කියවනවා කියලා.. :D

    නාමල් ඩික්ශනරිය මම දැන ගත්තෙ චතුරංගගෙන්.. ඒකෙ හොඳ වැඩේ වචනෙ සිංග්ලිශ් වලින් ටයිප් කරන්න පුළුවන් එක.. හැබැයි මට හිතුනෙ මධුරෙ ඩේටා බේස් එකමද කියලා ? එකම වචන ටික තමා පෙන්නන්නෙ, මධුරෙයි, මේකෙයි.. ඒත් මේක හොඳ උත්සහයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා කමෙන්ට් එකට. මං දැක්කා ඔයත් ඒ පැත්තේ ගිහින් තියෙනවා.
      තාමත් මට පොත් ප්‍රදර්ශනයක් ගාවින් එහෙම යනකොට හීල්ලෙනවා. මොකද ගොඩාක් කාලෙකින් පොතක් ගන්න බැරි උණු හින්දා.

      දැන්නම් බ්ලොග් තියෙන නිසා කියවීමේ අවස්ථා ලැබිලා තියෙනවා. බ්ලොග් බලන්න ඉස්සෙල්ලා ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා හිටියා. ඒ දවස්වල සබ්ටයිට්ල් එක්ක ෆිල්ම් එකක් බලන්න පැය දෙක තුනක් විතර යනවා.

      මධුරෙ ෆොන්ට් එක ටිකක් මඥන්. අනික උච්ඡාරණයකුත් නෑ. මේක මටනම් ඕල් ඉන් වන් එකක්. මොනවා උනත් මධුරෙන් තියපු අඩිය ඉස්සරහට ගෙනිහින්. ඉස්සරහට තවත් දියුණු වෙයි.

      Delete
    2. මේකෙ උච්චාරණය කරණ හැටිත් තියනවද ? ඒක මම දැනන් උන්නෙ නෑ.. ස්තූතියි.. හැබැයි, ඒකටනම් ඉතින් මේක තමා රජ බඩුව..

      http://dictionary.cambridge.org/

      Delete
  2. අපිත් පත්තර බලපු කාලයක් තිබුනා. ලංකාවේ ඉන්න කාලේ අපේ බෝඩිමට සෙනසුරාදා හවස සන්ඩේ ඔබ්සර්වර් එක ගන්නවා ජොබ්ස් බලන්න. ඉරිදා උදේ 9 වෙද්දී බෝඩිම ළඟ ගෙදරක අපේ යාලුවෙක් ඉන්නවා අපි ඒ පත්තරේ ඌට රුපියල් විස්සකට විකුනනනවා.

    නාමලයා එක මම දැනටත් පාවිච්චි කරනවා.

    ReplyDelete
    Replies
    1. අපේ මාරයත් ඇඩ් වලින් හම්බ කරපු හැටි කියලා තිබුණේ. අසරුත් ඒ වගේනේ. :D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ස්තුතියි AKM NDictinary එක ගැන පල කලාට. මගේ තාත්ත නම් පොඩි කාලෙ ඉදන්ම දුර පළාත් වල තමා වැඩ කලේ. ඔයාගෙ තාත්ත හරිම අදාර්ශමත් තාත්ත කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තුතියි තාත්තා ගැන අගය කළාට වගේම මේ වගේ දෙයක් අපිට ඉදිරිපත් කළාට. දුර හිටියත් ළඟ හිටියත් පිය සෙනෙහස එකම තමයි නාමල්. ඒක පෙන්නන විදිය විතරයි ටිකක් වෙනස් වෙන්නේ.

      ඔයාගේ බ්ලොග් එකේ තිබිලා තවත් වැදගත් දෙයක් හම්බ උණා. ඒ තමයි යානිගේ ෂෝ එක. 700MB රිප් එක තිබුණත් සවුන්ඩ් කොලිටි එක උපරිමයෙන්ම තියෙන එකක් තමා වටින්නේ.

      Delete
    2. මචං මොකක්ද යානිගේ ෂෝ එක කියන්නේ.

      Delete
    3. යානි කියන්නේ සුපිරිම ගී තනු නිර්මාපකයෙක්. (composer කෙනෙක්) එයාව නොදන්නවා උණාට එයාගෙ මියුසික්ස් අපි හැමෝම අහලා තියෙනවා.එයා ගැන කියනවට වඩා වීඩියෝ එක බලලම හිටියනම් තමයි වටින්නේ. ඒ තරම්ම සුපිරියි.

      මේකේ ඕඩියෝ ට්‍රැක් එක නාමල්යායෙන් ගන්න පුළුවන්.
      වීඩියෝ ඒක හරහා නැත්නම් කෙලින්ම බයිස්කෝප් එල් කේ එකෙන් ගන්න පුළුවන්.

      Delete
  5. මාත් පොඩිකාලෙ ඉඳල ආසාවෙන් කරපු දෙයක් තමයි පත්තර කියවන එක.
    අකමටනං තාත්ත සෑහෙන්න හොඳ දෙයක් පුරුදු කරල තියෙන හැඩයි.

    ස්තුතියි ඩික්ෂනරිය ගැන දැනුවත් කළාට.

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙනම් පත්තර වල තියෙන්නේ ප්‍රවෘත්තිද කියලත් හිතෙනවා. මරා ගත්තු ඒවයි, දේශපාලන මඩයි ඇරෙන්න වැදගත් දෙයක් ඇත්තෙම නෑ වගේ.

      Delete
  6. ජිවිතයට වැදගත් පාඩමක්.හරවත් මෙන්ම අර්ථවත්.ස්තුතියි ඔබට අපව දැනුවත් කරාට.ඔබේ තාත්තාටත් පිං

    ReplyDelete
    Replies
    1. පුළුවන්කමක් තියෙනවනම් හැම වෙලේම දරුවන්ට කියවන්න දෙන්න ඕනි. ගොඩක් ගෙවල්වල අම්මලා මල් පත්තර අරන් කියෝනවා. පොඩි උණුත් ඒවා බලලා ගොන් නාම්බෝ වෙනවා. අනික තමයි ටෙලි නාට්‍ය. දඬුබස්නාමානය, වනසරණ, ඇල්ල ළඟ වලව්ව වගේ කතා දැන් ගොඩක් අඩුයි. නැත්තෙමත් නෑ.

      Delete
  7. පොඩිම කාලෙ කියවන්න ලොකු ආසාවක් තිබ්බෙ නෑ. එතකොට ආස කතන්දර අහන්නයි කාටූන් බලන්නයි (තාමත් ඉතින් කාටූන් බැලිල්ලෙනං වෙනසක් නෑ :) ). පොත් කියවිල්ල පුරුද්දක් උනේ පහ වසරෙදි. දැන්නං ඒක ඇබ්බැහියක් ගානටම ඇවිල්ල.

    අර ඩික්ෂනරිය සුපිරියිනෙ...

    ReplyDelete
    Replies
    1. ජාතික එකේ ගිය ටින් ටින්, දඟර වලිග, ස්පෙල් බයින්ඩර් (දැනුත් ටොරෙන්ට් අදිනවා), ඕෂන් ගර්ල්, පිස්සු පූසා, දොස්තර හොඳ හිත, වලස් පැංචා, සිටුවර මොන්ත ක්‍රිස්තෝ..... මතක් වෙනකොට තාමත් ඇඩේනවා අප්පා...

      ඒ අතින් බලනකොට සිරසේ සූර පප්පා, බබා ලන්තේ වගේ එව්වයේ දෙපිට කැපෙන වචනවල යටි අරමුණ හින්දා ජනප්‍රිය උණාට එහෙම නැත්නම් එව්වා මොනාද කියලා හිතෙනවා. ටින් ටින් වලටත් ඒකමනේ උණේ.

      Delete
  8. තාත්තා බොහොම අව්‍යාජ චරිතයක්...ඔබේ වගේම මගෙත්...ඒ වගේ පියවරු ලැබීම ගැන මමත් ඔබත් සතුටු වෙන්න ඕනෙ...

    තමන්ගෙ කාලය, කැපකරගෙන, මහන්සි වෙලා මේ වගේ දෙයක් අන් අයගෙ ප්‍රයෝජනයට යොදාගැනීමට නිර්මාණය කරන නාමල් තරුණයා සැබෑවටම අද තරුණයන්ට හොද ආදර්ශයක් වේවි.

    ReplyDelete
    Replies
    1. මං මේක ලියද්දිත් ඔයාව මතක් උණා. මට මතකයි ඔයා කොහේදී හරි තාත්තා ගැන කියලා තියෙනවා. අපි ගොඩාක් වාසනාවන්තයි සිරා ඒ අතින්. ඒත් මම මගේ තාත්තව තේරුම් ගත්තේ ගොඩක් පහුවෙලා.

      නාමල් වගේ අය ගොඩක් අඩුයි සිරා. ඒ අයට දිරි දීමක් කරන්න පුළුවන්නම් එයාලගේ අනාගතේටත් හොඳයි රටේ අනාගතේටත් හොඳයි. අනික ඒ ගැන හිතලවත් අපේ අනිත් තරුණයෝ ඒ වගේ දේවල් වලට පෙළඹෙන්නත් තියෙන ඉඩකඩ වැඩිවෙනවනේ.

      Delete
  9. ඔය පොත් පත් කියවීමේ පුරුද්ද අත් දරුණුවට තියෙනවා අපේ පවුල් වලත්. අකමාගේ තාත්තා නියම තාත්තෙක්. දැනුම සොයාගිය පුද්ගලයෙක්.

    පොත පත නොකියවන උන්ට උගන්නන එකත් හරිම කට්ටක් බං. මොකද ලිං මැඩියෝ වගේ තමයි.

    පොත් පත් කියවන එකෙක් ඉක්ක කතා කර කර ඉන්න එකත් මට නම් සතුටක්, ආශ්වාදයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි අයියේ, ඔයා පොත් කියවනවා විතරක් නෙවෙයිනේ. පරිවර්තනයත් කරනවානේ. ඒ අතින් ලොකු සේවයක් ඔයා කරන්නේ. "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියලා කියන්නේ නිකංයැ. ඒත් දැන් ගොඩක් අය කියවන්නේ වල්පල් විතරනේ. ජීවිතයට දෙයක් ගන්න තියෙන දේවල් කියෝනවා අඩුයිනේ. අනික අපේ රටේ පත්තර වලත් ඉස්සර තිබුණු ගුණාත්මක භාවය අඩු වෙලා ඕපදූප තමයි වැඩි හරියක් තියෙන්නේ.

      මගේ ලොකු ආසාවක් තියෙනවා අතිශය දුෂ්කර ඉස්කෝලෙක කම්පියුටර් ලැබ් එහෙක ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්න. කම්පියුටර් එක කියන්නේ විශ්ව කාර්ම භාණ්ඩයක් නොවුණත් ගුරුවරයා හා ළමයා අතර සම්බන්ධය වැඩි දියුණු කරන්න විතරක් නෙවෙයි, ළමයාගේ අනාගත වෘත්තීය අවශ්‍යතාවයන් වෙනුවෙන් මග පෙන්වන්නත් යොදා ගන්න පුළුවන්.

      හැබැයි අතිශය දුෂ්කර පාසලක මිසක් ඔයාගේ ඉස්කෝලේ වගේ කම්පියුටරේට පයින් ගහගෙන යන සල්ලි වලින් හැමදේම මනින සල්ලිකාර ළිං මැඩියන්ටනම් එහෙම කරනවට වඩා හොඳයි නිකන් ඉන්න එක.

      Delete
    2. අකමාගේ අන්තිම වාක්‍යය. මේ ළමයි සල්ලිකාර කමකට නෙවෙයි එහෙම කරන්නෙ. ආකල්ප නිසයි. මොකද නවීන තාක්ෂණය ගෙඩි පිටින් මහන්සියක් නැතිව ලැබෙනවා. අපි තමයි ඉඳහිටවත් මේවායෙ නිර්මාතෘවරු කාපු කට්ට අගය කරන්නෙ.

      අනික අපි මේ දැණුම දෙන්නෙ බලෙන්නෙ. කට්ටියට දැණුම අවශ්‍ය වෙන්නෙ ඉස්කෝලෙන් ගියාට පස්සෙ. ඔන්න ඊයෙ රෑ දොළහට විතරත් එකෙක් මට කතා කරලා ඉංග්‍රීසි වාක්‍යයක් හරිද කියලා ඇහුවා. :D

      Delete
    3. නිවැරදි කළාට ස්තුතියි. නිකං ලැබෙන දේ කාටවත් අගයක් නෑ.
      ++++

      Delete
    4. අනේ මංදා ඩූඩ්, මමත් දන්න කාලෙ ඉඳන් ඉංග්‍රීසි ඉගන්න ගන්නවා, ඒත් හැමදාම සර්ට කෝල් කරන්න වෙන අවස්ථා තමයි තියෙන්නෙ.. මනුස්සයගෙ වාසනාවට මම නම්බරේ දන්නෑ.. :D

      Delete
  10. මටනම් ඉතින් කියවන්න පොත් පත්තර ගෙදරම තිබුනා... ඉංග්‍රීසි කියවන්න නම් ටිකක් කම්මලියි ඒත් සමහර වෙලාවට හොද පොතක් හම්බ උනොත් ආසාවෙන් බලනවා...ඩික්ෂනරි එක ගැන කිව්වට ස්තූතියි ඇකමෝ,, මම නම් තේරෙන කාලෙම සිංහල ඩික්ෂනරි එක අතඇරල ඉංග්‍රීසි එකෙන් තමයි වචන එහෙම බැලුවෙ. ඒක තමයි ඉගෙනගන්න වැඩිපුරම හොද වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි නදිනි. අපිත් වචනයක් හොයන්න යනකොට තාත්තා ගෙනත් දෙන්නේ ඔක්ස්ෆර්ඩ් එක. අපි තමයි ඉතිං නැගිටලා ගිහිං අනික අරගෙන එන්නේ. :D

      Delete
  11. කියවීමේ ආසාව මටත් පොඩි කාලේ ඉඳන්ම තිබුණ. ඒත් පස්සේ ඒක අඩුවුනා. දැන් ආයෙත් ටිකෙන් ටික කියවනව මේ බ්ලොග් නිසා.
    අකමගේ තාත්ත ලියාපු කතාව ලියමුකෝ බං මේකේ.

    ඩික්ෂනරිය ගැන කිව්වාට ස්තුතියි මචං..

    ReplyDelete
    Replies
    1. බ්ලොග්නම් දැන් කියවන්නේ ඇබ්බැහියකට. ඒකත් එක අතකින් එච්චර හොඳ නෑ. අනික දවසකට පළවෙන ලිපි අස්සේ වැඩි හරියක් තියෙන්නේ රසාස්වාදය පමණක් ඉලක්ක කරගත්තු ඒවනේ. (මාත් දාන්නේ ඒවා විතරමනේ)

      අර යෝජනාව ඉෂ්ඨ කොරන්නම්කෝ. ඊට ඉස්සෙල්ලා තියෙනවා උඹටම දානවා කියලා පොරොන්දු වෙච්ච හොල්මං සීන් එකක් ගැන දාන්න.

      Delete