බ්ලොග් ලෝකෙ කැමරා පිස්සෝ කීප දෙනෙක් ඉන්නවා.
අයිලාස්, වෙනී වගේම ඩූඩ්, මාරේ වගේ අයත්. පහු ගිය කාලේ ඔය කට්ටියගේ වැඩ කිඩ
දකින්න ලැබුණනේ. ඒ අතරින් අයිලාස් තමන්ගේ දැනුම බෙදා දෙනවා. වෙනී අයියා වතුර පෙවී
පෙවී වැඩ කෑල්ලක් දැම්මා. ඒ මදිවට සිහින උළෙලටත් දිග හොම්බ අරන් ගිහිං තිබුණනේ.
ඊළඟ කෙනා.... අන්න බුවා. කැමරාවෙන් වැඩ දානවා
මදිවට කැමරාව ඉස්සරහට ගිහිනුත් වැඩ දානවා. අර පුංචි ගල් කෑල්ලක් උස්ස ගන්න දඟලපු
දැඟලිල්ල කට්ටියම දැක්කනේ. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරපු “විමතිය ආඩම්බරකම කැටිවූ
දෙනෙත්” කියලා දාපු ෆොටෝ එකේ තිබුණු දෙනෙත්වල අපි නම් දැක්කේ “ පුහ්: ” කියන එකද
මංදා. එතකොට අපේ මාරේ අයියත් එයාට පුළු පුළුවන් විදියට හිටි පිළිමවල පින්තූර අරන්
තිබුණේ. ඒ නැතත් විචාරක හැකියාව. අන්න කරනවනම්. හැලපයියත් වෙනම වර්ගයක කැමරාවකට
සම්බන්ධ වෙලා හිටියයි කියලා කියන්නේ. කෙන්ජිත් සාක්ෂි දරනවනේ ඒකට.
දැන් ඔය මැන්ටල් සෙට් එකෙන් පස්සේ කවුද ඇත්තටම
ක්ෂේත්‍රය බාර ගන්න ඉන්නේ? ක්ෂේත්‍රය ගැන උනන්දු තරුණයෝ නැද්ද? ඕක කාලෙක ඉඳන් මගේ හිතේ පැසව පැසව තිබුණු කාරණයක්.
අන්තිමේදී තීරණයක් අරන් මං ගියා ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න. කස්ටියටම පහු ගිය
කාලේ මාව එච්චර දකින්න නොලැබුණේ ඒ හින්දම තමයි.
ඒක මං කළා විතරක් නෙවෙයි, අතීතයට
බලපාන පරිදි දැනුම යාවත්කාලීන කළා. ඔව් ඔව් බොලං අප්ඩේට් කළා. දැන් කස්ටිය බලයි
මූට පිස්සුද කියලා. “එහෙමත් කොරන්න පුලුවනෑ” කියලා කියයි. ඇයි එතකොට ඔහොම එව්වා
කරන්න පුළුවන් “උස්සා”විලා එකේ අයටයි ගෝරමේන්තුවේ
අයටයි විතරද?
හා හා කතා ඕන්නෑ. වැඩ බලමුකෝ......
1). කැපවීම.
![]() |
| යේ.... |
මේ පින්තූරේ ගත්තේ ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිසිම
බස් එකක් නොයන පාරක කිලෝ මීටර් හතරක් විතර තියෙන අන්තිම ගමට ගිහිං එතනිනුත් කැලේ
අස්සට කිලෝ මීටර් පහක් විතර ගිහිං.
බලන්න මේ මූණේ තියෙන හැඟීම්... (ආ.. සොරි වෙන්න
ඕනි. මූණ කපන්න උණානේ. ) හොඳ ඡායාරූප ශිල්පියෙක් උණාම කැපවීම තියෙන්න ඕනි. අපිට
ඕනි ලොකේෂන් එක හොයාගෙන ගිහිං එතනත් තියෙන භයානක කම්, බාධක මැඩගෙන තමයි ඡායාරූපයක්
ගන්න ඕනි. බලන්නකෝ ලෝකෙම දිනුවා වගේ හැඟීමක් ඉස්මතු වෙන්න ඡායාරූප ශිල්පියා අදාල නිරූපකයාව
හසුරුවා ඇති ආකාරය හා ඡායාරූපයේ පසුබිම.
2). මාතෘකාවට සුදුසු ඡායාරූපයක් ගැනීම
| ලෝක ධර්මතාවය |
බලන්න මේකට යොදාගෙන තියෙන ආලෝකය. ෆ්ලෑෂර් මුකුත්
නැතිව ස්වභාවික ආලෝකය ඉහළ සිට පහලට යොමුවන ආකාරයට තමයි යොදාගෙන තියෙන්නේ. මේක අපේ
වැඩිවෙන විදුලි බිලටත් එක්තරා ආකාරයකට විසඳුමක්. අනික් එක තමයි ෂටර් ස්පීඩ් එක
ගානට මිම්මට හසුරුවා ඇති ආකාරය. ස්වභාවික පරිසරයේ එක පැතිකඩක් පෙන්නන්න හැකිවෙන
ආකාරයට අරන් තියෙන අගනා ඡායාරූපයක් තමයි මේ. මේකට “ලෝක ධර්මතාව” කියලා නම දාන්නත්
විශේෂ හේතුවක් තියෙනවා. ඕනම කේස් එකක් උඩ ඉඳන් පහළට ඇත ඇරලා අත පිහදාගන්න ඉන්න අයව
සංකේතවත් කරන්න තමයි මේක අරගත්තේ. බලන්න හිතලා තියෙන දුර.....
3). ක්ෂණික බව
![]() |
| බ්ලො.. බ්ලො.. බ්ලො ග්... ගි.. ග්ලෙන්..න.. යන්.. බ්ලො... වෝ... |
බොර දියේ ජල ක්‍රීඩා කරන අවස්ථාවකදී ඇතිවුණු
හදිසි ආපදා තත්ත්වයක්. හොඳ ඡායාරූප ශිල්පියෙක් සතු ක්ෂණික බව වගේම තද හිතත්
මෙතැනදී පිළිඹිඹු වෙනවා. එක අයෙක් ගිලෙද්දී ඒ ළඟම ටයරයක ආධාරයෙන් ජල ක්‍රීඩා කරන සගයා
ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙන්නත් පෙරාතුව කැමරාව ක්‍රියාත්මක කර ඇති අපූරුව. අනික
ගිලෙන එකාව බේරගන්න ගියානම් මෙච්චරක් වටිනා පින්තූරයක් අද කෝ? ඒකයි තද හිතකුත්
තියෙන්න ඕනියි කිව්වේ.
4). කාය වර්ධනය
| කොහොමද සයිස් එක |
මේ නිරූපකයාගේ අතක සයිස් එක බලන්න. ඉතියෝපියාවෙන්
ආපු එකෙකුට වඩා වෙනස් වෙන්නේ හමේ පාටයි, තියෙන මයිල් ගස් ටිකයි විතරයි. ඒත්
ශිල්පියාගේ හැකියාව ඡායාරූපයේ ලස්සනට වඩා මෙතැනදී ඉස්මතු වෙලා තියෙනවා. බලන්න අර
පෙන්දට දීලා තියෙන ප්‍රතාපවත් පෙනුම. ඒකටම හරියන්න පසුතලය තෝරාගෙන ඇති අපූරුව. තද
වර්ණ භාවිතා නොකර යොදාගත් වර්ණ සංකලනය.
5). උපරිම ප්‍රයෝගයෙන් නරඹන්නා මඥ්ඥන් කිරීම.
| ට්‍රිබල් ඇක්ටිං |
කැමරාවක විවිධාකාරයේ ප්‍රයෝග/ පහසුකම් ලබාදෙන්නේ
ඒවා ඕෆ් කරලා තියාගන්න නෙවෙයිනේ. ස්වීප් පැනරෝමා තාක්‍ෂණය යොදාගෙන එකම කණ්ඩායම ට්‍රිබල්
ඇක්ටිං කරන ආකාරය ඉදිරිපත් කරන්න තරම් ඡායාරූප ශිල්පියා සතු ප්‍රයෝග පිළිඹඳ
දැනුම... පුදුමත් හිතෙනවා නේද?
6). දුර්ලභ ඡායාරූප ගැනීමේ හැකියාව.
| පුහ්: මුගේ බරත් බරක්ද? |
බලන්න නිරූපකයා සැහැල්ලුවෙන් තවත් අයෙක් අත උඩ
තියාගෙන ඉන්න ආකාරය. මේ වගේ නිර්මාණයක් කරන්න තරම් අත්දැකීම් වලින් වගේම දැනුමෙනුත් සන්නද්ධ වෙලා ඉන්න ඕනි. මේ වගේ එව්වා ආවට ගියාට කබ්බන්ට ගන්න බෑ.
7). අර්ථාන්විත ඡායාරූප
![]() |
| වැහි දිය මහ බිම තෙමුවට..... |
මේකේ මොන අර්ථයක්ද? මහ වල් ෆොටෝ එකක්. දැක්ක
ගමන් ඕනි එකෙක් කියයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉහළින් වැටෙන පොද වැස්සට
නොතෙමෙන්න හිස ආවරණය කරන් ඉන්න ගමන් පහළින් ඉන්න පොඩි පොඩි සත්තුන්ට සුපිරි වැස්සක
පහස ලබාදෙන ආකාරය රූපයට නගා ඇති ආකාරය.නොතෙමෙන්න ආස ඒත් තෙම්මන්න ආස බලවත් උදවියව
මෙතනින් නිරූපණය වෙනවා නේද?
හ්ම්ම්ම්.... අදට ඇති. මගේ පහු ගිය කාලේ තිබුණු
නිහැඬියාව අර්ථාන්විතයි නේද?
(මෙහි පලවන ඡායාරූප අතුරින් සියල්ලටම පාහේ අකමා
සම්බන්ධ අතර පහකම නිරූපණ ශිල්පියෙක් ලෙසද කටයුතු කළ බව ආදරයෙන් ආඩම්බරයෙන් කියමි.)






