අපි
පොඩි කාලේ අපිට ඉගෙන ගන්න, කියවන්න ගොඩාක් අවස්ථාවල් අපේ දෙමවුපියෝ හදලා දුන්නා.
මගේ තාත්තගේ විනෝදාංශය තමයි කියවීම. පුළුවන් හැම වෙලේම. ඉස්සර පුංචි පත්තරේ,
බින්දු පත්තරේ, විජය පත්තරේ හැම සතියකම ගත්තා. ඒ ලංකාදීපයයි, සන්ඩේ ඔබ්සර්වර්
එකටයි අමතරව. සමහරු හිනා උණා. මාස් පඩි කාරයෝ වෙච්චි අම්මයි තාත්තයි අමාරුවෙන්
ජීවිතේ ගැට ගහ ගනිද්දී පත්තර වලට සල්ලි නාස්ති කරනවා කියලා. සමහර දවස්වලට පත්තරේ
ගන්න ළඟම ටවුමට තාත්තා යන්නේ පයින්. කිලෝ මීටර් දෙකක් වෙච්ච ඒ දුර බස් එකේ යන්නයි
එන්නයි තරම්වත් මුදලක් පත්තර වලට අයින් කලාම ඉතුරු නොවෙන හින්දා..
ඔය
අස්සේ සාධන, වගේ ශිෂ්‍යත්වය උදෙසා නිර්මාණය උණු පත්තරත් ඊළඟට විදුසර, නව යුගය වගේ
එව්වත් දක්වා කාලයත් එක්ක ගමන් කළා. එතකොට සමුදුර, පරිඝණක සඟරාව......
තාත්තා
ඉන්න දවස්වල ඉරිදා පත්තර ඔක්කොම වගේ කියවනවා. විශේෂයෙන්ම තාත්තා පැන්ෂන් ගියායින්
පස්සේ. තාත්තගේ රාජකාරි යහළුවෙක් ගන්න ලංකාදීපය, එයාගෙ බෑණා ගන්න රාවය, හිටපු ග්‍රාමසේවක
ගන්න සිළුමිණ, ඩොක්ටර් ගන්න ලක්බිම (එන හැම කෙනාම තාත්තගේ හිතවත්තු බවට පත් වෙච්ච
නිසා හොඳයි) අපි ගන්න රිවිරයි, සන්ඩේ ඔබ්සර්වර් එකයි. මෙතැනදී කවුරු හරි ගන්න
පත්තරේ වෙනස් උණොත් ඒකට හරියන්න අපේ එකත් වෙනස් වෙනවා. ඒත් පාඩුවක් නෑ. සතිය
පුරාවටම පත්තර.
මටත්
ඔය කියවීමේ ඉතිහාසය මතක නැති කාලෙක ඉඳන්ම තියෙනවා. එව්වා මතක් කරලා දෙන්නේ ගෙදර
කට්ටිය එකතු උණාම මඩකුත් එක්කම තමයි.
ඒකත් කියන්න එපැයි. ඔන්න දවසක් කොල්ලෙක්
ගියාලු තාත්තත් එක්ක ප්‍රධාන නගරෙක පුස්තකාලෙකට. තාත්තා පත්තරේ කියවනකම් මූ පත්තර
බලනවලු. ඔන්න එක පාරටම “තාත්තේ තාත්තේ පුත්තකාලේ මූනෙක්” කිව්වලු. ඒ වෙනකම් මූ හිතන් ඉඳලා තියෙන්නේ බත් කන වෙලාවට
අපේ ගෙදරට විතරයි හූණෝ එන්නෙ කියලා. :D
ඉස්කෝලේ
අලුත් පොත් දීපු දවසට ගෙදරට එන්න කණවැල අල්ලන්නෙ අපේ අම්මා. පහුවෙනිදා උදේ වෙනකොට
අළුත් පොත් මටනම් අළුත් එව්වා නෙවෙයි. ඔය කියවීමේ පුරුද්ද හින්දම වෙන්නැති අනිත් එව්වො ශිෂ්‍යත්වෙට
පන්ති යද්දී (හැබැයි එච්චරම පන්ති මේනියාවක්නම් තිබ්බේ නෑ.) එක පන්තියකටවත් නොගිය
මං ඉස්කෝලෙනුත් රෙකෝර්ඩ් එකක් තියලා ලකුණු 172ක් අරගෙන ගොඩ ගියේ. (සාපෙ ගැනත්
කියන්න තිබුණත් එක පෝස්ට් එකකට එක නයෙක් හිටියම ඇති කියලා හිතුණා. :D)
ඉතිං
මං මේක ලිව්වේ තාත්තගේ විශේෂ ගුණයක් ගැන කියන්න. ඒ තමයි කියවීමට වගේම ඉගෙනීමට ඇති
කැමැත්ත ගැන. තාත්තා ගෙදරට වෙලා ඉද්දි තමයි ඔය ටීවී එකේ දවල්ට යන නුග සෙවණ (අනිත්
චැනල්නම් මතක නෑ) වගේ වැඩසටහන් පටන් ගත්තේ. ඉතිං එයාගේ වැඩේ ඕවයේ යන සාකච්ඡාවල සාරාංශය
පොතක ලියාගෙන අපිට දෙන එක. ඒකත් පොඩි කාලේ බත් කවනවා වගේ තමයි. කන්න ගියාම, රෙදි
හෝදන්න ගියාම ළඟට වෙලා එව්වා ගැන කියනවා. ඒත් කර දඬු උස් මහත් උණාම ඒවා වදයක්
කියලා හිතපු වෙලාවල් අනන්තයි. (එහෙම හිතපු පවට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා
කියලනම් දන්නවා.) ඒත් තාමත් සමහර වෙලාවට බලෙන් ඔලුවට දාපුවා ඕනි වෙනවා.
![]() |
| තාත්තගේ ඕල් ඉන් වන් පොත් හොයාගන්න බැරි උණා. ඔක්කොම අම්මා ගාව. ඉතිං මේ ලඟදි මට හම්බ උණු තාත්තා ලියපු කෙටි කතාවක් මේ. |
අර
වැදගත් දේවල් පොතක ලියන කතාවක් මං කිව්වනේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි වචන පාඩම් කිරිල්ලත්.
ඩික්ෂනරිය ළඟ තියාගෙන දවසකට නොදන්නා වචන 50ක් පාඩම් කරනවා. ඒ වගේම අපේ හොඳ පිටු
ඉතුරු වෙච්ච පරණ පොත් අරගෙන ඒවා ලියලා මතකය අලුත් කර ගන්නවා. මොනවා උනත් එහෙම
නොකලත් තාත්තට රැකියා තත්ත්වයත් එක්ක හොඳ ඉංග්‍රීසි පරිහරණය කිරීමේ හැකියාවක්
තිබුණා. ඒත් නොදන්නා දේවල් අනන්තයිනේ.
ඉතිං
මෙච්චර දෙයක් කියලා වටෙන්ම ආවේ මේ වගේ ඉගෙන ගන්න ආස අය ඉන්නවනම් අතිශයින්ම වැදගත්
සොෆ්ට්වෙයාර් එකක් හම්බ උණා. මේ ගැන දැනටමත් දන්නා ගොඩක් අය ඉන්නවා. ඒත් නොදන්නා
එක්කෙනෙක් හරි ඇතිනේ කියලා තමයි මේ ගැන කියන්නේ.
නාමල් ජයතුංග කියලා විශ්ව විද්‍යාල
ශිෂ්‍යයෙක් විසින් හදාපු ඩික්ෂනරියක්.
“The Namal Dictionary” හෙවත් “The NDictionary”.
මේකේ
මටනම් හැම ඔප්ෂන් එකක්ම වැදගත්. සිංහල යුනිකෝඩ් වගේම සිංග්ලිෂ් වලිනුත් ටයිප්
කරන්න පුළුවන්. ප්‍රෝනවුන්ස් කරන හැටිත් තියෙනවා. ඉංග්‍රීසි-සිංහල වගේම ඉංග්‍රීසි-ඉංග්‍රීසි
තේරුම ගන්නත් පුළුවන්. KMPlayer එකෙන් ෆිල්ම් බලද්දී සබ්ටයිට්ල් වල තේරුම බලන්නත්
පුළුවන්. ග්‍රෑමර් චෙක් කරන්නත් පුළුවන් (ඒකනම් මාත් බැලුවේ නෑ) තව වැදගත්ම දේ
තමයි දවසකට වචන දහයක් දෙනවා පාඩම් කරන්න.
ඉතිං
මේ දිරිය පුතණුවන් මහන්සි වෙලා හදපු මේ ශබ්ද කෝෂය පාවිච්චි කරලා බලලම මොකක් හරි ඒ
ගැන එයාගෙ සයිට් එකේම කියන්නකෝ දිරි දීමක් විදියට. මෙන්න මෙතනින් එයාගේ නාමල් යායට යන්න පුළුවන්.
http://namalyaya.blogspot.com/2012/12/EnglishSinhalaDictionary.html
