Thursday, January 31, 2013

ගිලිහෙන්නට ගිය මිතුදමකට පුංචි ආරම්භයක්.....


              අද හවස හතරට විතර ඇති ඒ වෙනකොට. වහලා තිබුණු බැංකුවේ වීදුරු දොර ගාව මං හිටගෙන හිටියේ කැඳවීමක් ලැබෙනකම්. මට පිටිපස්සේ හිටපු යුවතියක් ඊට පිටිපස්සෙන් තිබුණු පොඩි බිත්තියෙන් පාරට මුවා වෙලා කොණ්ඩය දිග ඇරලා ආයෙත් කොණ්ඩ කටුව ගහනවා යාන්තමින් වගේ දැක්කා. මං ඒ දිහා බැලුවා. එහෙමත් නැත්නම් ඉබේටම බැලුණා. ඒ ඇස් මගේ ඇස් තත්පරයකටත් අඩු කාලයක් ඇතුලෙදි හම්බ උණා. මං ආපහු හැරිලා ඈ දෙස බැලුවේ ඈව හඳුනාගෙන. කවුරු පිළිගත්තත් නැතත් ඒ කාලය තුල මං දැක්කේ එයාගෙ ඇස් දෙක විතරයි. 

මං ආපහු හැරෙනකොට එයාගෙ කටත් ඇරිලා.

           “අකම් ඔයා.........”
           “__රිකා ඔයා......”

                      අපි දෙන්නටම එක පාරටම කියවුණා.

             ඇත්තටම අපි කතා කලේ  වීදුරු දොරකින් චායාව දැකලා. අනික තත්ත්පරයකටත් අඩු කාලයකදී දැකපු චායාවකින්. ඇත්තටම ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. අපි මේ පිරෙව්වේ අවුරුදු දහතුනක් තිස්සෙ පාළුවෙලා තිබුණු මිතුදමක මතකයක්. ඔව්.... අවුරුදු දහතුනක්.......

           
              කිලෝමීටර් සියගානක් බයිසිකලේ රෝද කරකවන එක අපේ වෘත්තියේ අනිවාර්ය අංගයක්. අද මං ගියේ මං කාලයක් ජීවිතේ අතරමං වෙලා ඉද්දි සිප් සතර හදාරන්න ගිය පාසලක් පැත්තේ.  ඒ එනගමන් පාසලට හැරෙන හන්දියේ වෙලා තියෙන වෙනස් කම් බලාගෙන එදා හිටපු යහළු යෙහෙළියෝ ගැන, ඒ කාලේ කරපුවා, දැන් හම්බ උනොත් කතා කරන දේවල් ගැන හිත හිතා ආවෙ. 


          අපි ඉස්කෝලෙදි කොල්ලෝ තුනයි කෙල්ලෝ තුනයි සෙට් වෙලා හිටියේ. ඕක තමයි අපේ ගැන්සිය. (සෙට් වෙලා කිව්වේ ලව් එහම නෙවෙයි. හරිය..... හැබැයි ඔතනින් නිලූයි මායි අතරේ මුවින් පිට නොවුණු මිත්‍රත්වයෙන් එහා ගිය දෙයක් තිබුණු බවනම් කියන්න ඕනි.)

       වෙනදනම් ඉස්කෝලේ ගාවින් එනකොට මුලින්ම මතක් වෙන්නේ නිලූව. ඊළඟට සුළු වශයෙන් තමයි අනික් උන්ව. එත් අද මට මෙකිවමයි වැඩි හරියක් මතක් උණේ. කතරගම ගිහින් ඇවිත් මගේ අතේ බැඳපු රතු පාට නූල... ඒ දඟකාර ඇස් දෙක.....

තාමත් මගේ ඔටෝග්‍රාෆ් එකේ පරිස්සම් වෙලා තියෙන රතු පාට නූල

          මොනවා උනත් ටවුන් එකේදී  මෙහෙම අහම්බෙන් මේකි හම්බවෙයි කියලා හිතුනේම නෑ. මේකිනම් ඒ වගේමයි. ඒ දඟකාර ඇස් දෙක.... මගදිගට එනගමන් හිත හිතා ආපු එකක්වත් කටේ අහලකවත් නෑ. යාන්තම් වචන දෙක තුනක් හුවමාරු කර ගත්තා.  ඒ අස්සේ ඒ.ටී.එම් එක අස්සේ ඉඳන් හැන්ඩ්සම් කොල්ලෙක් ආවා. කෙල්ලගේ මහත්තයා. පොරත් එක්ක කතා කරන්නනම් උණේ නෑ. ඒත් සුහද ශීලී හිනාව නම් මගේ හිත පිරෙව්වේ ලොකු සන්තෝෂයකුත් එක්කයි.

       අන්තිමේදී මාත් මෙලෝ දෙයක් හිතන්නැතුව හරකා වගේ කොල්ලා ඉස්සරහම මේකිගෙන් නම්බර් එක ඉල්ලුවා. මූණේ තිබුණු හිනාව පොඩ්ඩක් විතර අඩු උන වගනම් මට දැනුණා.


කෙල්ලේ,
         ඔයා මොන වගේ තත්ත්වයක ඉන්නවද කියලා මං දන්නෑ. සමහර විට සැකයකට භාජනය වෙලා. තමන්ගේ ගෑණිව සැක කරන උන් ඕන තරම් ඉන්නවා. සමහර විට කොල්ලා වැරදි ඇති. සමහර විට ඔයා වැරදි ඇති. අවුරුදු දහතුනක් කියන්නේ මිනිහෙක් පුදුම විදියට වෙනස් කරන්න පුළුවන් කාලයක්නේ. සමහර විට මනස්ගාත ඔලුවේ පුරෝගෙන  තත්පර ගානක සිද්ධියකට අර්ථ කථන දෙන්න යන මං වැරදි ඇති. 

     හෙට උදේම කතා කරලා බලන්න ඕනි අපේ සෙට් එක ගැන තොරතුරු එහෙම.

එතකන්,
           උඹලා දෙන්නට ජයෙන් ජය!



ප.ලි.

මගේ ඔටෝග්‍රාෆ් එකේ සටහන් කරපු උඹේ සටහන මට හොයාගන්න බැරි උණා. සමහර විට මං උඹව හොයන්නේ වැරදි නමකින්ද දන්නෑ. නම වරදුනානම් සමා වෙයන්.

Wednesday, January 16, 2013

ගැහැණු කම නිසාමද මේ දුක....?


        සොඳුරුව ගෙවන්න තිබුණු ජීවිතය බඩේ ගින්දර නිවන්න උකස් කරන්න පුංචි මට සිද්ධ වීම ඇත්තටම දෛවයේ සරදමක්. පියාපතක් වගේ සැහැල්ලු ජීවිතය... පිහාටු ලැබ නිදහසේ පියාඹපු කාලය.....


          පුංචිම කාලේ මේ පවුකාර ජීවිතයට පුරුදු උනේ අම්මත් එක්කමයි. ඒත් ඒකට අම්මට බනින එක ඇත්තටම සාධාරණ නෑ කියලා මං අදටත් පිලිගන්නවා. මේ තමයි අපේ දෛවය. මේ තමයි අපි ලබා උපන් හැටි.

          බඩේ ගින්දර නිවාගන්න මිනිස්සු කොච්චර දේවල් කරනවද? මේ වෑයම ජීවත් වීම උදෙසාමයි කියලා කිව්වත් වරදක් නෑ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු, සත්තු හැමෝටම පොදු ධර්මතාවයක් වෙච්ච බඩගින්න අපිවත් අසරණ කරනවා.

         තාත්තා හවසට මල්පැණි වඩියක් ගහලා එනකොට, මට මං ගැන දුක හිතෙනවා. තාත්තා ගැන පිළිකුලක් ඇති වෙනවා. කේන්තියකුත් එක්ක. මල් පැණි..... මොන රහක්ද මන්දා මටනම්. මට විතරක් නෙවෙයි. ගෑණු අපි හැමෝටම අප්පිරියා හිතෙන ජරාවක්. වෙලාවකට මට හිතෙනවා ඕකේ රස බලන්න අපිත් පුරුදු උනානම් කියලා. මේ කාලකන්ණි ජීවිතයෙන් සැනසීමක් ලබන්නවත් පුළුවන් වෙයිනෙ එතකොටවත්.

         මට ඇත්තටම මේ ජීවිතේ ගැන කළකිරුණේ අම්මගේ අකල් වියෝවෙන් පස්සේ. ලේ විලක් මැද වැටිලා හිටපු අම්මා ගැන එකෙකුටවත් ගානක් නෑ. මං එතන ඉඳන් අඬපු ඇඬිල්ල. අන්තිමේදී මන් තනි උණා.

          හ්ම්ම්ම්..... දැන් රෑත් උණා.  ඕවා ගැන හිත හිතා හිටියයි කියලා මගේ බඩ පිරෙන්නෙත් නෑනේ. ආයෙත් යන්න ඕනි පරණ ජීවිතේටම. ජීවිතය මරණය හමුවේ උකස් කරලා බඩේ ගින්දර නැති කරන්න.

          අද මං තෝරාගත්තේ පාලු බංගලාව. ඒකට පාලු බංගලාව කියන්නේ අක්කර ගානක ඉඩමේ තිබුණු බංගලාවක් හින්දයි. අහල පහල ගෙවල් මුකුත් නෑ. හොඳ දලකාරයෝ. රස්නේ වැඩි හින්දද මන්දා ජනේලේ ඇරලා දාලා. අපි සෙට් එකම ජනේලෙන් රිංගුවේ ඒ වෙලාවේ ගෙට යන්න තිබුණු ලේසිම පාර ඒක වෙච්චි හින්දා.

        හොරෙන්ම කාමරේකට රිංගලා බැලුවා. ලොකු මහත්තයා නිදි. ඒත් අස්සට යන්න බයයි. මිනිහට තියෙන්නේ කුකුල් නින්දක්. අනික හරිම වසයි.

        හිමින්ම අනිත් කාමරේට ගියා. පුංචි මහත්තයා සැපට නිදි. එකපාරටම ආපු කාරණෙත් අමතක උණා. මන් කොච්චර වෙලා බලන් හිටියද මංදා. හවස නාලා හිටපු හින්දද මන්දා දැනෙන සුවඳ..... මගේ හිත කුල්මත් කළා. සුදු පාට ඇඟ. නින්දෙන් සරමත් එහෙ මෙහෙ වෙලා ටිකක්. මට ලෝභ කමක් දැනුණා. සිප ගන්න ආස හිතුණා. ගෑණු කම කියන්නේ මේකද මන්දා.

     මුලින්ම මං ඒ සුදු ඇඟ සිප ගත්තා. පස්සේ රස උරා බොන්න හැදුවා.


         චටාස්.......!!!

..................................................................................

පලි:- අපේ අක්කනම් බේරුණේ විචාරක කියන කරුණාබර අවිහිංසාවාදී         මහත්මයෙක් නිසයි. ඒත් හැමතැනම කොහෙන්ද ඒ වගේ මිනිස්සු...


පපලි:-
   විචාරක මහත්මයා මිසීලගේ ග්‍රහණයෙන් මිදී පොඩි අක්කාගේ ග්‍රහණයට නතු වූ බව දැනගත් පසු මෙය ලියන්නට සිත් විය. එතුමාට මෙන්ම එම මැතිණියටද ඉක්මන් සුවය පැතීමටද මෙය අවස්තාවක් කර ගනිමි.


Saturday, January 12, 2013

තව සුට්ටෙන් සාටර්!!!!!


ජංජාලෙන් බැස ආ යුවතිය
නෙත් මානේ දඟ කල 'යුරු
නාරිලතාවේ හැඩතල
ඔපවත් කළා

ආදරයේ නිදි දෙව් දූ©
පාළු මගේ තනි යහනට
කැන්දන් එන්නට ඈ 
මහත් වෙහෙසුණා

ඇඳෙන් නැගුණු 
කිරි කිරි හඬ
ගෙ දෙතොලේ සුසුම් හඬින්
යටපත් වූවා

ගත පිනවා සිත සනසා 
විසිරුණු පිණි කැට 
කරදහියේ හැඩ මවමින්
ඇඳ යටටම ගොනු වූවා

උදෑසනත් නිදි ගත් පව
කොස්ස වනන්නට බැරිවිය
දොරගුළු දමා හනිකට
බඩ රැකගන්නට දිව්වා

නිවාඩුව අහවරව කස්ටිය
අද එනවා ගෙදර
දුරබනුවෙන් මා ලද හඬ
මා ගත දා බිඳු නැංවූවා

වාසනාවක මහත!
අද නෑ හෙටයි අහවර නිවාඩුව
පෙර මා සලිත කල
දුරබනුවම මට කීවා...




පලි:   ආදරයේ නිදි දෙව් දූ© අනුරාගය බැව් සලකන්න.

Friday, January 11, 2013

ඊටින් කබරගොයි මස් විත් තලගොයි ෆ්ලේවර් නොහොත් ඉස්සරහා ගෙදර ගෑණිගේ වල්කම

             අප වෙසෙන පෙදෙසේ අප තරමක් වත්කමක් ඇති, ඇති හැකි  නම්බුකාර පවුලක් වීමු. අපට මේ ලේන් එකේ ඇති පිළිගැනීම ඉහලය. ඇත්තටම අපට එය ආඩම්බරයකි. අප නිවසට ඉදිරිපස නිවසේ අයද එසේමය. අප වැනිම ඇති හැකි අයවලුන්ය.


         අපේ ලේන් එකේ සිදුව ඇති දියුණුවට අප නිවෙස් දෙකේ සෘජු දායකත්වය නොලැබුනේනම් මෙලෙස කිසිදා දියුණු නොවන්නේමය. පාරට කාපට් වැටුණේ, පාර අයිනේ වැඩ සිටි බෝ සමිඳුන් පෙරදැරි කරගෙන පන්සලක් ඉදි වූයේ, පාරේ කෙරවල තිබු භූමිය ක්‍රීඩා පිටියක් බවට පත් වූයේ අප දෙපලගේ එකමුතුව හරහා ගමේ අය එක් කර සිදුකළ ක්‍රියාකාරකම් නිසාමය. එනිසාම ගමේ හැම වැඩකම මුල් තැන අපට ලැබුණි. යම් නිවසක අඬ දබරයක් වීනම්, සොරෙකු කෙසෙල් කැනක් කැපුවෙනම්, එය විසඳීමේ භාරකාරත්වය අනිවාර්යයෙන්ම අප නිවෙස් දෙකින් එකකට ලැබුණි.එසේ වීමට ප්‍රධාන හේතුව අදාළ පාර්ශ්වය සෘජුවම පැමිණ තම දුක් ගැනවිල්ල පවසා පිළිතුරක් බලා පොරොත්තු වීමයි. නමුත් යම් ආකාරයකින් හෝ ඉදිරි නිවසේ අය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව යෑමට අපවත්, අප දුන් උපදෙසකට පිටින් වෙන උපදෙසක් දීමට ඔවුන්වත් ඉදිරිපත් නොවූයේ අප දෙගොල්ලන්ගේ එකිනෙකා කෙරෙහි ඇති අන්‍යෝන්‍ය බැඳීම, විශ්වාසනීයත්වය, පිළිගැනීම හා හිතවත්කමේ බල මහිමයෙනි.
මේ ඉන්නේ තලගොයෙකි
   
       පාරේ කෙලවර ඇති විශාල බක් මී ගසේ මීයක් බැඳ තිබෙන්නේ කලක සිටය. මෙම ගස පිහිටියේ සැමටම පොදු වූ, එනම් කාගේවත් පෞද්ගලික දේපලකට අයත් නොවූ භූමි භාගයකය.



          මෙම මීයේ රස බැලීමට මාගේ මලණුවන් හට දොළදුකක් පහල වන්නට විය. මෙය තරමක් බැරෑරුම් ප්‍රශ්ණයකි. සැමට පොදු වූ දෙයක් තනිව භුක්ති විඳීමට නොහැක්කේමය. අයියා වශයෙන් මලයාගේ දොළ සපුරාලීමද කල යුතුය. කලයුත්තේ එක් දෙයකි. ඉස්සරහා ගෙදර අය මුලින් ශේප් කිරීමය. පසුව පාරේ වෙසෙන සෙසු නිවැසියන් ශේප් කර ගැනීමය. ගැහැණුන් ස්වභාවයෙන්ම සුකුරුත්තන් දේට ආසය. එම නිසාම එම නිවසේ ප්‍රායෝගික ගෘහ මූලිකයා වන ගෙහිමි කාන්තාව හට මීයෙන් කොටහක් දීමට තීරණය කළෙමු. පසුව මීය නිය පොත්තෙන් හූරා අනෙක් නිවැසියන්ට බෙදා දීමෙන් ඔවුන්ගේද කටවල් වැසීම පහසුය. නමුත් දොළ ඇත්තේ මල්ලීටය. එනිසාම කුට්ටියෙන් භාගයකට වඩා තමන් සතුවන ලෙස මීය බෙදා ගැනීම අප සතු රාජකාරියකි.



          නමුත් කිසිදු රාජකාරියක් ගැහැණුන් සමඟ පිළිවෙලකට සිදුකළ නොහැකිය. ඉදිරි නිවසේ උන් මීය කඩනවාට විරුද්ධය. කළ හැක්කක් නොමැත. මේ හඬ යටපත් කළ යුතුමය. එනිසාම වෙහෙසූ සිතට පොටක් පෑදුණි.



      "ගෑණි වල්"



               ලොකුවට ප්‍රචාරයක් යැව්වෙමු. උන් කොරය. ලේන් එකේ මා හට ඇති බලතල අනුව මා හිතවතුන් කීප දෙනෙකුට මෙම සිද්ධියේ ඇත්ත නැත්ත පිළිබඳව අපක්ෂපාතීව කරුණු රැස් කිරීමට අවසර දුනිමි. ඔවුන්ද පත්තිනි අම්මාගේ සියළු වග තුග සොයා ගත්තෝය. ඇත්තටම ගෑණි වල්ය.



             ඇයද නොසැලුණි. ඔවුන්ද ගමේ බලවත්ය.ඇගේ පැත්තෙන්ද ඇයගේ නිර්දෝෂී භාවය පෙන්නුම් කිරීමට උත්සාහ ගත්තාය. ඒත් එතකොට කොහෙද සාධාරණේ තියෙන්නේ. එයා වල්ද නැද්ද කියලා එයාගේ හිතවතුන් දෙන තීන්දුව අපි ඇත්තටම පිළිගන්නේ කොහොමද? හුහ් අපි අහුවෙයි ඕවට. අප පවුලේ කිසිවෙක් එම සාකච්චාවට සහභාගී වීමෙන් වැළකී සිටියෙමු.



          මේ අතර නිවැසියන්ද අය පිලිබඳ තීන්දුවක් ගැනීමට ගියහ. නිකම්ම සිටියොත් හරියන්නේ නැත. පොඩි එකාට යමක් උගන්නා තැබුවෙමු.



       "අපේ අම්මි අර  අංතල් අපේ ගෙදර අපු වෙලේ, අංතල්ගේ අතින් අල්ලන් හිටියා. එතතොට  අංතල් තිව්වා, ඔයා හරිම ලත්තනයි තුදූ.... කියලා"



         පොඩි එකා නියමෙට ගේම දුන්නේය. අපට ඒ සඳහා වැය වූයේ ටොපියක් පමණි. එබස් අසා ඔහුගේ අයියා තම අම්මාට එරෙහිව අත ඉස්සුවේය. සහෝදරියන් මවගේ පැත්තේය. දැන් ගමේ උන්ගේ ප්‍රශ්ණ විසඳීමට තබා තම ප්‍රශ්නවත් විසඳීමට බැරි ලෙස උන් කොරය.



          දැන් ලේන් එකේ පොරවල් අපිය. ඉදින් අපම මීය ගැන තීරණයක් ගත යුත්තේමය. අප නිවසේ සියල්ලන්ම එම තීරණය ගන්නා දිනයේ නිවසේ සිටීම අනිවාර්ය කළෙමු. අඩුම තරමේ එම අවස්ථාවේ ටොයිලට් එකට යාමවත් තහනම්ය.



         තීරණය එළි දැක්විණි. ඉස්සරහා ගෙදරට ඥාතීත්වයක් ඇති පවුලකින් කසාද බැඳී එකියක් හා තවත් දෙදෙනෙක් මීය කැඩීමට විරුද්ධය. නමුදු අප නව දෙනාගෙන් හයක්ම මීය ලෙවකන්නට කැමතිය. නොහොත් තුනෙන් දෙකක් අපටය. අප ගොඩය.



            මේ විස්මිත තීන්දුවෙන් උද්දාමයට පත් ලේන් එකේ නිවැසියන් එම පවුලේ ගෙහිමි කාන්තාව පිළිබඳවද තීරණයක් ගන්නා ලෙස අපෙන් ඉල්ලා සිටියෝය. බෑ කියන්නටද බැරිය. අප පළාතේ උන් අපවම මේ සඳහා තෝරා ගැනීමට හේතුව වූයේ ප්‍රදේශයේම පවු නොකළ පිරිසකට සිටින්නේ අප පවුලේ අයම පමණක් වීම නිසාය. ඉදින් පවු කාරයාට පළමු ගල ගැසීමේ වාරය අපටම උදා විය.

Sunday, January 6, 2013

කුස්සියට නිවාඩු..... අපේ මාමට?

  ඊයේ රෑ ගත්තු හදිස්සි තීරණේකට අනුව අද අම්මලා අයියගේ ගෙදර ගියා. ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා නංගිට එහෙ යන්න ඕනි වෙච්ච එකයි අයියගේ පොඩ්ඩට සනීප මදි වීමයි හේතුව.

  පාන්දර පහ වෙනකොට මාමගේ බස් එකට (ලංගමේම මාමගේනේ :P) නැග්ගෙව්වා. නැත්නම් කොහොමද ඔච්චර දුරක තනියෙම යවන්නේ. එක්කෝ මට යන්න වෙනවා. නැත්නම් ගමන අල්ලලා දාන්න වෙනවා.

  උදේ පාන්දරම දාපු කම්පීතරේ ගාවින් නැගිට්ටේ අටට විතර. බඩගිනි වෙලා. හාල් පොඩ්ඩක්නම් රයිස් කුකර් එකේ පිහිටෙන් තියා ගත්තා. උයන්න දේවල්නම් එමටයි. කූල් එක බහින්න කියලා එළියෙන් තියන කොට දැක්කේ මී කිරි කප් එක. අපේ හෘදයෙක්ගෙන් ලැබිලා අම්මයි නංගියි කප්පාදු කරපු එකක්. මේ දවස්වල ගෑසුත් වැඩිවෙලා තියෙන එකේ කෙලලා ඇරියා බව්වත් ළඟ තියාගෙනම. හීටරේ ගහලා බිත්තරේකුත් හාෆ් බොයිල් කළා. ආයේ උයන්නේ මක්කටෙයි. ආයේ බඩගිනි වෙනකං ආයේ ඉතින් මාව නැගිට්ටවන එක බොරු. 

  ඊයේ අම්මට කිව්වම මාමත් එක්ක යන්න කියලා එයා කියනවා ඒකෙ යන්න බයයිලු. හයියෙන් යනවලු. එහෙම තමයි මාමගේ හැටි. අනික දුර බස් තියෙන්නේ කොට කොටා යන්නයැ. රත්නපුර- බදුල්ල පාර කාපට් කරන්න ඉස්සෙල්ලා ඔය පාරේ හිටපු හොඳම වීරයෙක් තමා අපේ මාමා. දැන් කාලේ එවුන් ඩ්‍රයිව් කරන්නේ පාරට පින් සිද්ධ වෙන්නයි, පවර් ස්ටියරින්, එක තැන වදින බ්‍රේක් තියෙන වාහන වලට පින් සිද්ධ වෙන්නයි, හෝන් එක ගහලා ඉස්සරහින් එන එකා කාණුවට යවලයිනේ.

"උඹලෑ මාම දෙයියෙක් බන්. නැත්නම් අපි පන්ති ගිහිනුත් ඉවරයි" මාමත් එක්ක කතා කර කර ඉන්නවා දැකලා අඳුරගත්ත යාලුවෙක් එහෙමයි කිව්වේ. 

පින්තූරෙට සාදර සමාදර දායකත්වය


    පවර් ස්ටියරින් නැති, දෙතුන් පාරක් පෙඩ්ල් කරලා බ්‍රේක් ගහන  වාහනයක් අද වගේ කාපට් නැති පොඩි පාරක එලවන එකත් ඒ කාලේලොකු දෙයක් තමා. අද උනත් මාමත් එක්ක රේස් යන්න එන්නේ නොදන්න එකෙක් තමා. ප්‍රයිවට් බස් වල තියෙන පහසුකම් එකක්වත් නැතුව, ඒවායේ වගේ පොලෝසියෙන් ගහන දඩ ගෙවන්න හාම්පුතාලත් නැතුව, අනතුරක් උනොත් ක්ලේම් කරන්න ඉන්ෂුවරන්සුත් නැතුව  පෙඩ්ල් බ්‍රේක් සිස්ටම් තියෙන බස් එකකින් අනතුරක් නැතුව  යන යෑමත් ලොකු දෙයක්නේ. මම දන්න තරමින් ඉඳලා හිටලා වෙන සයිඩ් කණ්නාඩියක් ගලෝගන්න දෙයක් ඇරෙන්න මාමට අනතුරක් වෙලා තියෙන්නේ 1980 දශකයේ මුල් භාගයේදී. ඒකත් අනෙක් වාහනේ වැරැද්දෙන්ලු. 

  වගකීම කියන දේ හරියට තියෙනවනම් තමන්ගේ අතේ ජීවිත බර ගානක් තියෙනවා කියලා හිතුවනම් අද කාලේ අනතුරු ගොඩක් අඩුවෙයි කියලයි හිතෙන්නේ. 

  මාමගේ හොඳ කියන අය වගේම තමයි අනික් පැත්තත්. බැනුම් අහපු නැති එකෙක් ඉන්නවනම් ඒ ඉන්නේ මාමා ගැන දන්නා එකෙක්ම තමා. :ෆුට්බෝඩ් යන අයට මුලින්ම හොඳින් කියනවා. ඊළඟට වලවල්, පඳුරු.... එහෙමත් හරියන්නැත්නම් තදින් කියනවා. මල පැන්නොත් බස් එක අයිනකට කරලා නවත්තගෙන ඉන්නවා. එතකොට අරූ බැනුම් අහන්නේ බස් එකේ යන ගෑනුන්ගෙන්. පරක්කු වෙන නිසා. හැබැයි ඔය අන්තිම තත්ත්වෙට ආපු අයගෙ ගානනම් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්.

  මාමා රාජකාරිය දේවකාරියටත් වඩා හොඳින් කරන කෙනෙක්. උදේ බස් එක ගන්න ඕනි වෙලාවට පැය බාගයක්වත් කලින් ගිහින් වාහනේ ෆුල් චෙකප් එකක් දානවා. දන්නවනේ ලංකාවේ පොදු ප්‍රවාහනේ හැටි. අද හොඳට තිබුණු බස් එකේ ටයර් එක හෙට වෙනකොට වෙන බස් එකක. එහෙම වෙලාවට දවස් දෙක තුන බස් එක බාර ගන්නැතුව ඉන්නවා හදනකන්. ෆොමන්ලත් හොඳ ඇම්ලනේ. ඉස්සරහ වම් පැත්තේ ටයර් එක ගෙවිලා කියලා ගෙනත් දැම්මොත්  පහුවෙන්ද බලනකොට ඒ ටයර් එක හොඳයි. එතන තිබුණු ටයර් එක ඉස්සරහ දකුණු පැත්තේ දිවත් දික් කරගෙනම ඉන්නවා. එක රෝදෙක බ්‍රේක් නෑ   කිව්වොත් ඒක විතරයි හදන්නේ . බ්‍රේක් අන්බැලන්ස්. බ්‍රේක් පාරක් ගහපු ගමන් වාහනේ රුයිතෙට යන්නේ. 

      දැන් මාස දෙකකට විතර කලින් පාරේ වංගු නැති හරියක මීටර් 100විතර දිග තනි රෝදෙක බ්‍රේක් පාරක් තිබුණා නයා ගිහින් වගේ. හොයලා බලනකොට බදුල්ල- කොළඹ බස් එකක ඉස්සරහා රෝදේ බ්‍රේක් හිරවෙලා. රියදුරුගේ දක්ෂතාවය නිසා තමයි නවත්තගෙන තියෙන්නේ. හිතන්න. එතන කෙලින් පාරක් නොතිබුනානම්.. තැන්නක් නොවුනානම්.. රියදුරු පළපුරුදු කෙනෙක් නොවුනානම්... වාහනේ  පාර මැද  රැවුම් කීයක් පෙරලෙයිද? අද කාලේ වාහන අනතුරු ගැන කියෝනවා. බස් එකක් හැප්පුනොත් තව ටිකක් වැඩිපුර කියෝනවා.  සීටීබී එකක් උනොත් ඊටත් එහා. ඒත් ඒ අයට දෙන වාහන වලින් මේ විදියට අතක් පයක් නොකඩා එක්ක යන එකත් ලොකු දෙයක් කියලා නොහිතන්නේ ඇයි? අනික සීටීබී ඇතුලේ තියෙන ගසා කෑම් ගැන මාධ්‍ය මගින් හෙළිදරව් නොකර කලාතුරකින් වෙන(සාපේක්ෂව) අනතුරක් මාධ්‍ය මගින් උලුප්පලා දක්වන එක හොඳද? 

  මතකනේ අර කෝච්චියක් බ්‍රේක් නැතුව ගිහින් අනිකේ නුනම බාල ඉන්දියන් එංජිමේ දෝෂයවත්, ඒක ගෙන්නපු නුත් සුදනෝ වෙලා එතැනදී ජීවිතය පුදපු දුම්රිය රියදුරු තැන වැරදිකාර මිනීමරුවා උන හැටි.

  දිග වැඩි උනත් තව එක කාරණයක් කියන්න තියෙනවා. මං කලිනුත් කිව්වනේ රාජකාරියයි දේවකාරියයි ගැන.  අපේ මාමා හවහට ඇඟ ටිකක් රත් කරගන්න පොරක්. හැබැයි අවස්ථා දෙකකදී ඇරෙන්න රාජකාරියේදී විතරක් නෙවෙයි  වෙන කිසිම අවස්ථාවක රත් කරගෙන ඩ්‍රයිව් කරලනම් නෑ. ඒවත් පස්සේ කියන්නම්කෝ....

      මේ කථාව ඉස්සර ඉඳන්ම ලියන්න හිතාගෙන හිටපු එකක්. ඒ හැම වෙලාවේම මට අපේ "ඔබා මාමා" මතක් වෙනවා. එයත් හිටියනම් මං මේ පෝස්ට් එකෙන් කියන්න තටමන දේ කමෙන්ට් එකේ එක වාක්‍යයකින් කියලා දායි.