Showing posts with label ආගිය කතා. Show all posts
Showing posts with label ආගිය කතා. Show all posts

Sunday, January 6, 2013

කුස්සියට නිවාඩු..... අපේ මාමට?

  ඊයේ රෑ ගත්තු හදිස්සි තීරණේකට අනුව අද අම්මලා අයියගේ ගෙදර ගියා. ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා නංගිට එහෙ යන්න ඕනි වෙච්ච එකයි අයියගේ පොඩ්ඩට සනීප මදි වීමයි හේතුව.

  පාන්දර පහ වෙනකොට මාමගේ බස් එකට (ලංගමේම මාමගේනේ :P) නැග්ගෙව්වා. නැත්නම් කොහොමද ඔච්චර දුරක තනියෙම යවන්නේ. එක්කෝ මට යන්න වෙනවා. නැත්නම් ගමන අල්ලලා දාන්න වෙනවා.

  උදේ පාන්දරම දාපු කම්පීතරේ ගාවින් නැගිට්ටේ අටට විතර. බඩගිනි වෙලා. හාල් පොඩ්ඩක්නම් රයිස් කුකර් එකේ පිහිටෙන් තියා ගත්තා. උයන්න දේවල්නම් එමටයි. කූල් එක බහින්න කියලා එළියෙන් තියන කොට දැක්කේ මී කිරි කප් එක. අපේ හෘදයෙක්ගෙන් ලැබිලා අම්මයි නංගියි කප්පාදු කරපු එකක්. මේ දවස්වල ගෑසුත් වැඩිවෙලා තියෙන එකේ කෙලලා ඇරියා බව්වත් ළඟ තියාගෙනම. හීටරේ ගහලා බිත්තරේකුත් හාෆ් බොයිල් කළා. ආයේ උයන්නේ මක්කටෙයි. ආයේ බඩගිනි වෙනකං ආයේ ඉතින් මාව නැගිට්ටවන එක බොරු. 

  ඊයේ අම්මට කිව්වම මාමත් එක්ක යන්න කියලා එයා කියනවා ඒකෙ යන්න බයයිලු. හයියෙන් යනවලු. එහෙම තමයි මාමගේ හැටි. අනික දුර බස් තියෙන්නේ කොට කොටා යන්නයැ. රත්නපුර- බදුල්ල පාර කාපට් කරන්න ඉස්සෙල්ලා ඔය පාරේ හිටපු හොඳම වීරයෙක් තමා අපේ මාමා. දැන් කාලේ එවුන් ඩ්‍රයිව් කරන්නේ පාරට පින් සිද්ධ වෙන්නයි, පවර් ස්ටියරින්, එක තැන වදින බ්‍රේක් තියෙන වාහන වලට පින් සිද්ධ වෙන්නයි, හෝන් එක ගහලා ඉස්සරහින් එන එකා කාණුවට යවලයිනේ.

"උඹලෑ මාම දෙයියෙක් බන්. නැත්නම් අපි පන්ති ගිහිනුත් ඉවරයි" මාමත් එක්ක කතා කර කර ඉන්නවා දැකලා අඳුරගත්ත යාලුවෙක් එහෙමයි කිව්වේ. 

පින්තූරෙට සාදර සමාදර දායකත්වය


    පවර් ස්ටියරින් නැති, දෙතුන් පාරක් පෙඩ්ල් කරලා බ්‍රේක් ගහන  වාහනයක් අද වගේ කාපට් නැති පොඩි පාරක එලවන එකත් ඒ කාලේලොකු දෙයක් තමා. අද උනත් මාමත් එක්ක රේස් යන්න එන්නේ නොදන්න එකෙක් තමා. ප්‍රයිවට් බස් වල තියෙන පහසුකම් එකක්වත් නැතුව, ඒවායේ වගේ පොලෝසියෙන් ගහන දඩ ගෙවන්න හාම්පුතාලත් නැතුව, අනතුරක් උනොත් ක්ලේම් කරන්න ඉන්ෂුවරන්සුත් නැතුව  පෙඩ්ල් බ්‍රේක් සිස්ටම් තියෙන බස් එකකින් අනතුරක් නැතුව  යන යෑමත් ලොකු දෙයක්නේ. මම දන්න තරමින් ඉඳලා හිටලා වෙන සයිඩ් කණ්නාඩියක් ගලෝගන්න දෙයක් ඇරෙන්න මාමට අනතුරක් වෙලා තියෙන්නේ 1980 දශකයේ මුල් භාගයේදී. ඒකත් අනෙක් වාහනේ වැරැද්දෙන්ලු. 

  වගකීම කියන දේ හරියට තියෙනවනම් තමන්ගේ අතේ ජීවිත බර ගානක් තියෙනවා කියලා හිතුවනම් අද කාලේ අනතුරු ගොඩක් අඩුවෙයි කියලයි හිතෙන්නේ. 

  මාමගේ හොඳ කියන අය වගේම තමයි අනික් පැත්තත්. බැනුම් අහපු නැති එකෙක් ඉන්නවනම් ඒ ඉන්නේ මාමා ගැන දන්නා එකෙක්ම තමා. :ෆුට්බෝඩ් යන අයට මුලින්ම හොඳින් කියනවා. ඊළඟට වලවල්, පඳුරු.... එහෙමත් හරියන්නැත්නම් තදින් කියනවා. මල පැන්නොත් බස් එක අයිනකට කරලා නවත්තගෙන ඉන්නවා. එතකොට අරූ බැනුම් අහන්නේ බස් එකේ යන ගෑනුන්ගෙන්. පරක්කු වෙන නිසා. හැබැයි ඔය අන්තිම තත්ත්වෙට ආපු අයගෙ ගානනම් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්.

  මාමා රාජකාරිය දේවකාරියටත් වඩා හොඳින් කරන කෙනෙක්. උදේ බස් එක ගන්න ඕනි වෙලාවට පැය බාගයක්වත් කලින් ගිහින් වාහනේ ෆුල් චෙකප් එකක් දානවා. දන්නවනේ ලංකාවේ පොදු ප්‍රවාහනේ හැටි. අද හොඳට තිබුණු බස් එකේ ටයර් එක හෙට වෙනකොට වෙන බස් එකක. එහෙම වෙලාවට දවස් දෙක තුන බස් එක බාර ගන්නැතුව ඉන්නවා හදනකන්. ෆොමන්ලත් හොඳ ඇම්ලනේ. ඉස්සරහ වම් පැත්තේ ටයර් එක ගෙවිලා කියලා ගෙනත් දැම්මොත්  පහුවෙන්ද බලනකොට ඒ ටයර් එක හොඳයි. එතන තිබුණු ටයර් එක ඉස්සරහ දකුණු පැත්තේ දිවත් දික් කරගෙනම ඉන්නවා. එක රෝදෙක බ්‍රේක් නෑ   කිව්වොත් ඒක විතරයි හදන්නේ . බ්‍රේක් අන්බැලන්ස්. බ්‍රේක් පාරක් ගහපු ගමන් වාහනේ රුයිතෙට යන්නේ. 

      දැන් මාස දෙකකට විතර කලින් පාරේ වංගු නැති හරියක මීටර් 100විතර දිග තනි රෝදෙක බ්‍රේක් පාරක් තිබුණා නයා ගිහින් වගේ. හොයලා බලනකොට බදුල්ල- කොළඹ බස් එකක ඉස්සරහා රෝදේ බ්‍රේක් හිරවෙලා. රියදුරුගේ දක්ෂතාවය නිසා තමයි නවත්තගෙන තියෙන්නේ. හිතන්න. එතන කෙලින් පාරක් නොතිබුනානම්.. තැන්නක් නොවුනානම්.. රියදුරු පළපුරුදු කෙනෙක් නොවුනානම්... වාහනේ  පාර මැද  රැවුම් කීයක් පෙරලෙයිද? අද කාලේ වාහන අනතුරු ගැන කියෝනවා. බස් එකක් හැප්පුනොත් තව ටිකක් වැඩිපුර කියෝනවා.  සීටීබී එකක් උනොත් ඊටත් එහා. ඒත් ඒ අයට දෙන වාහන වලින් මේ විදියට අතක් පයක් නොකඩා එක්ක යන එකත් ලොකු දෙයක් කියලා නොහිතන්නේ ඇයි? අනික සීටීබී ඇතුලේ තියෙන ගසා කෑම් ගැන මාධ්‍ය මගින් හෙළිදරව් නොකර කලාතුරකින් වෙන(සාපේක්ෂව) අනතුරක් මාධ්‍ය මගින් උලුප්පලා දක්වන එක හොඳද? 

  මතකනේ අර කෝච්චියක් බ්‍රේක් නැතුව ගිහින් අනිකේ නුනම බාල ඉන්දියන් එංජිමේ දෝෂයවත්, ඒක ගෙන්නපු නුත් සුදනෝ වෙලා එතැනදී ජීවිතය පුදපු දුම්රිය රියදුරු තැන වැරදිකාර මිනීමරුවා උන හැටි.

  දිග වැඩි උනත් තව එක කාරණයක් කියන්න තියෙනවා. මං කලිනුත් කිව්වනේ රාජකාරියයි දේවකාරියයි ගැන.  අපේ මාමා හවහට ඇඟ ටිකක් රත් කරගන්න පොරක්. හැබැයි අවස්ථා දෙකකදී ඇරෙන්න රාජකාරියේදී විතරක් නෙවෙයි  වෙන කිසිම අවස්ථාවක රත් කරගෙන ඩ්‍රයිව් කරලනම් නෑ. ඒවත් පස්සේ කියන්නම්කෝ....

      මේ කථාව ඉස්සර ඉඳන්ම ලියන්න හිතාගෙන හිටපු එකක්. ඒ හැම වෙලාවේම මට අපේ "ඔබා මාමා" මතක් වෙනවා. එයත් හිටියනම් මං මේ පෝස්ට් එකෙන් කියන්න තටමන දේ කමෙන්ට් එකේ එක වාක්‍යයකින් කියලා දායි. 

Sunday, December 16, 2012

බාසුන්නැහේ

         මේ ලෝකේ බාස්ලා වර්ග ගොඩාක් ඉන්නවා. මේසන් බාස්, වඩු බාස්, ගරාජ් බාස්, පේන්ට් බාස්, වයරින් බාස් වගේ ඉදිකිරීම් වලට සම්බන්ධ අය. ඊළඟට ඉන්නවා ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අය, කම්පියුටර් හදන අය, ප්‍රින්ටර්, ඒ/සී, මහන මැෂින් හදනඅය. මෙයාලත් බාස්ලා. තව බාස්ලා සෙට් එකක් ඉන්නවා. ඒ තමයි කොත්තු බාස්, ආප්ප බාස්, බේකරි බාස් වගේ අය.

       ඔය කොයි කවුරුත් ගත්තම ආයේ බෙදන්න පුළුවන් ටොප් බාස්, යන්තම් බාස්, නිකම් බාස්, දඩි බිඩි බාස්, මක බාස්, චක බ්ලාස් කියලා.
*"ටොප් බාස්" කියන්නේනම් කවුද කියලා දන්නවනේ. වැඩේ කොලිටියටම කරන එකා ටොප් බාස්.

*"යන්තම් බාස්" කියලා කියන්නේ මාසයක් දෙකක් බාස් කෙනෙක් ගාව වැඩ කරලා. බාස් ගෙන් කටු කන්න (රැග් කන්න)තියෙන අකමැතිකම නිසාත්, ගෝලයාට වඩා බාස්ගේ තැන (පිළිගැනීම) හොඳ නිසාත්, මුදල් ලැබීම අතින් හොඳ නිසාත් පට ගාලා බාස් වෙන ගෝලයින්ට. උන් ඔක්කොම දන්නේ බාගෙට.

*"දඩිබිඩි බාස්" - වැඩිහරියක් කොන්ත්‍රාත් ගන්න අය. එයාලා බලන්නේ වැඩේ පට ගාලා ඉවර කරලා වෙන තැනක වැඩට යන්න. ලොකුම අවුල තමා කාගෙත් ඇස් වහලා වැඩේ කරලා ගියායින් පස්සේ තමයි මුන්ගේ ඇද පෙන්නේ. එතකොට පරක්කු වැඩියි.

*"නිකම් බාස්" කියන්නේ දවසේ පඩියට වැඩ කරන අයට. වැඩි හරියක් ඉන්නේ නිකම්.

*"මකබාස්" කියන්නේ කරන කොයි වැඩෙත් කොස්සක් තියෙන අයට

*"චකබ්ලාස්" කියලා එකෙක්නම් මේ වෙනකම්ම් හෙව්වත් හම්බ උනේ නෑ. රයිමින් එකට ගැලපෙන හින්දම ඔන්න ඔහේ එබුවා. :D



    ඔය ටික කිව්වේ මගේ කතාවට මූලාරම්භයක් ගන්න. එහෙනම් දැන්  කියන්නම්කො කතාව.


      අපේ ගමේ ඉන්නවා යන්තම් බාස් කෙනෙක්. නිකම් බාස් වගේම  මක බාස්  කියලත් කටක් ඇරලා කියන්න පුළුවන් විදියේ පොරක්. පොරට අපි ජේමිස් කියමුකෝ. මිනිහා අපේ ගෙදර වැඩවලට මුල ඉඳම්ම  අල්ලගත්තු පොරක්. හේතුව තමයි වෙයිටින් ලිස්ට් එකේ නැතුව ගිය ගමන් අල්ලගන්න පුළුවන් වෙන එකයි, ගෝලයාගේ වැඩි බාස් වැඩෙයි 2 ඉන් 1 කරන නිසයි. හැබැයි බුවා එක්ක ඉන්නකොට පාලු නෑ. එක එක කතා කියෝ කියෝ ඉන්නවා. 

   පොරගෙන් දැනගත්ත වැදගත්ම ආදර්ශය තමයි දවල් වරුවෙන් පස්සේ බාස්ලට බනින්න හොඳ නෑ කියන එක. (ඒ නැතත් තමන්ගේ වැඩේ ඉවරවෙනකම්වත් ශේප් එකේ තියාගන්න ඕනි ජාතියක්) මොකද බුවා  කලින් (දැන් අවු:20කවත් කලින්) වැඩ කරලා තියෙනවා කොළඹ කොන්ත්‍රාත් කාරයෙක් ගාව. ඒ වෙනකොට පස්වෙනි තට්ටුවේ සැටලිම  ගහනවලු කොන්ක්‍රීට් දාන්න. එදා දවල් කත් පහුවෙලා. රෑ කොන්ක්‍රීට් එක දාන්න ඕනි නිසා දඩ බඩ ගාලා වැඩ. පොළොවේ ඉන්නවා වගේ  නෙවෙයිනේ. ඉරටත් කිට්ටුයිනේ. අනික කාලත් නෑනේ. කස්ටිය මල  පැනගෙන වැඩ කරද්දී කොන්ත්‍රාත් ගත්තු බාස් (හෙඩ් බාස්) ඇවිත් අපේ  බාසුන්නැහේට සද්දයක් දාලා. බුවා මොකක්ද දන්නවද කරලා තියෙන්නේ. තට්ටු පහේම වයරින් බට අග්ගිස්සට කොළ ගුලි ගහලා බට ටික කොන්ක්‍රීට් කරලා එදාම ඇවිත්.

--------------------------------------------------------------------------------------------

   පොර ආයෙම වතාවක් (ආයෙම කිව්වට ඊටත් ගොඩක් ඉස්සර) පාන්  බාස් කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඔය වැඩේ කොච්චර අමාරුද  කියලා දන්නා කට්ටිය දන්නවා ඇතිනේ. රෑ එකොළහ විතර වෙනකම් පිටි මෝලිය අනලා තියලා ආයේ දෙකට විතර නැගිටලා පෝරණුව ලැස්ති කරලා පාන් පුච්චන්න ඕනි. ඊට පස්සේ නියම ගානට පෝරණුව රත් උනාම අඟුරු ඇදලා දාලා පාන් තැටි බනිස් තැටි දාන්න ඕනි.  වැදගත්ම දේ තමයි වෙලාවට බාන්න ඕනි එක. පොඩ්ඩක් එහෙ මෙහෙ  වුන ගමන්  අඟුරු ටිකක් තමයි බාන්න වෙන්නේ. ඔන්න ඉතින් දා මහ පාන්දරම  මුදලාලි මූට බැනලා. පොර රිටන් එක දීලා තියෙන්නේ සත  විසිපහකින්.  හෙහ්... හෙහ්... හෙහ්.. දැන් කට්ටිය බලනවා ඇති  කොහොමද කියලා. අත්‍යවශ්‍යම නොවන බල්බ් එකක් ගලෝලා සත විසිපහ හෝල්ඩරේට  දාලා බල්බ් එක හයි කරලා. පාන් ටික බාන්න ඔන්න මෙන්න කියලා ස්විච් එක න් කරලා. හිතාගත්තහැකිනේ වෙච්ච දේ. ෆියුස් හදනකම් පන්දම් එහෙම අරගෙන පාන් ටික බානකොට අඟුරු තමයි එලියට ඇවිත් තියෙන්නේ.

      මුගේ තව කතා තව ගොඩක් තියෙනවා. හැබැයි ඔක්කොම කඩාකප්පල්කාරී දෙකයි පණහේ වැඩ.  ඒ හින්දමද කොහෙද අදටත් එදා වෙලාවත් හරියකට කන්න බොන්න නැතුව ඉන්නේ. යාන්තම් ආධාරයකින් හම්බ උනු සල්ලි ටිකක් හින්දා කාමර දෙහෙකකට බිත්ති  බැඳලා දොර ජනෙල් මුකුත් නැතුව වල් දඬු දාලා ඇස්බැස්ටස් හෙවිල්ලගෙන ඉන්නවා.

Thursday, November 8, 2012

ඉගිලෙන්න වරම්..



සමබර කරන්නට දරයි දත් මිටි කාලා
පස්සෙන් හෝන් ගැහුවොත් මුන් යයි වැනිලා
පා යුග්මයම මහා පාරේ බිම තබලා
රහසඟ තැෙලයි සිටගත් පසු බර දීලා


ඩෙනිම් ස්කර්ට් ඇඳ කෙල්ලන් යති ගසලා
බලනා උන්ට එය සැපතකි රස දීලා
ඔටෝ ඒ.සී. ඔන් කර මොටෝවෙ නැගලා
අයියෝ කෙල්ලෝ යති අප හට අලි එක දීලා

  (දින කීපයකට පෙර දුටු දෙයක් හිරුවගේ පොස්ට් එක කියවද්දී මේ රෑම දාන්නට සිත් විය. දැන් ඉතින්  හෙට දවල්ට නිදි කිර කිර තමා ඉන්න වෙන්නේ)

Monday, October 22, 2012

කැලේ නුඹට ඉඩ මදිවීදෝ...


"කැලේ නුඹට ඉඩ මදිවීදෝ

          මවගෙ තනේ කිරි නැති වීදෝ"

        ත්‍රීරෝද රථයක පිටුපස ගහලා තිබුන රුවන් වැකියක් අහම්බෙන් අද මං දැක්කා. පොඩි වෙනසක්.  ඇත්තටම  හිතුවොත් මේක ලොකූ වෙනසක්. ත්‍රී වීල් එකක රුවන් වැකි දකින්න ලැබෙන එක සාමාන්‍ය  දෙයක්.

ඒත්...,

"ගත්තෙ අමාරුවෙන් හප්පන්න එපා"


"පොඩි උනාට දඟ කලාට එපා රවන්න"


"මේ වෑයම රජ වෙන්න නොවේ"


"පිඹගෙන එන්නෙ ඉඹගෙන යන්නද"


"අහක බලන් යන්නෙ නංගි ඇයි අපි කළුද"


"මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපට"

           වගේ දේවල් අතරේ,

"අම්මාගේ මහන්සිය"


"පහු කරගෙන යන ඔයාට බුදු සරණයි"


"පරිස්සමින් ගිහින් එන්න"


      වගේ ටිකක් හිත කූල් කරන වදනුත් තියෙනවා. මේවා පොදු වැකි. කොයි පාර්ක් එකට ගියත් මේවයින් එකක් තියෙනවා. හරියට අර ඉස්සර පච්ච ගහනවා වගේ.


"අම්මා බුදුවේවා"


"මරුවා සමග වාසේ"


         ඒත් ඒවා අතරේ,
          "කැලේ නුඹට ඉඩ මදිවීදෝ
                   මවගෙ තනේ කිරි නැති වීදෝ"




         මේක ගැන මොකද හිතෙන්නේ. මටනම් මුලදී මුකුත් හිතාගන්න බැරි උනා. ඔෆිස් එකට එනකම් හිත  හිතා ආපු මට පොඩි අදහසක් ආවා. 
            ත්‍රී රෝද රථ වල නැගිලා ගෙස්ට් හවුස් ගානේ රිංගන අය ගැන කරපු නිර්වචනයක් විදියටයි මට මේක  මුලදී දැනුනේ. කැලේ ඉඩ මදි වෙලා කාමර ගානේ ගිහින් අම්මගෙන් නැතුව වෙන අයෙකුගෙන් තනකිරි ඉල්ලා බීමක් ගැන කරපු අදහසක් කියලා මට හිතුනේ.

         අමුතු අදහසක් නිසා ඔෆිස් එකට ඇවිත් කට්ටියගෙනුත් මේ ගැන අදහසක් ගත්තා.  ඔන්න බට්ටා තමයි  නියම අදහස දුන්නේ.

         තිරිසන් සතෙකුගේ ආත්මයක් ලැබුනාදෝ....
       කැලයේ ඉඩ මදි වී මිනිසුන් තුල ඉපදුනාදෝ.......
        නැතිනම් තනයෙන් කිරි බිව්වේ නැතිදෝ....
        මවු සෙනෙහස නොලැබ තිරිසන් ගති පල කලාදෝ...


ප.ලි.


“අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ,
Campus යන්නට ලකුණක් මදි ඇති, ඒකයි තවමත් මහ පාරේ…”



මේක ගත්තෙ හෙන්රි අයියගේ මේ පොස්ට් එකෙන්