ඊයේ රෑ ගත්තු හදිස්සි තීරණේකට අනුව අද අම්මලා අයියගේ ගෙදර ගියා. ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා නංගිට එහෙ යන්න ඕනි වෙච්ච එකයි අයියගේ පොඩ්ඩට සනීප මදි වීමයි හේතුව.
පාන්දර පහ වෙනකොට මාමගේ බස් එකට (ලංගමේම මාමගේනේ :P) නැග්ගෙව්වා. නැත්නම් කොහොමද ඔච්චර දුරක තනියෙම යවන්නේ. එක්කෝ මට යන්න වෙනවා. නැත්නම් ගමන අල්ලලා දාන්න වෙනවා.
උදේ පාන්දරම දාපු කම්පීතරේ ගාවින් නැගිට්ටේ අටට විතර. බඩගිනි වෙලා. හාල් පොඩ්ඩක්නම් රයිස් කුකර් එකේ පිහිටෙන් තියා ගත්තා. උයන්න දේවල්නම් එමටයි. කූල් එක බහින්න කියලා එළියෙන් තියන කොට දැක්කේ මී කිරි කප් එක. අපේ සහෘදයෙක්ගෙන් ලැබිලා අම්මයි නංගියි කප්පාදු කරපු එකක්. මේ දවස්වල ගෑසුත් වැඩිවෙලා තියෙන එකේ කෙලලා ඇරියා බව්වත් ළඟ තියාගෙනම. හීටරේ ගහලා බිත්තරේකුත් හාෆ් බොයිල් කළා. ආයේ උයන්නේ මක්කටෙයි. ආයේ බඩගිනි වෙනකං ආයේ ඉතින් මාව නැගිට්ටවන එක බොරු.
ඊයේ අම්මට කිව්වම මාමත් එක්ක යන්න කියලා එයා කියනවා ඒකෙ යන්න බයයිලු. හයියෙන් යනවලු. එහෙම තමයි මාමගේ හැටි. අනික දුර බස් තියෙන්නේ කොට කොටා යන්නයැ. රත්නපුර- බදුල්ල පාර කාපට් කරන්න ඉස්සෙල්ලා ඔය පාරේ හිටපු හොඳම වීරයෙක් තමා අපේ මාමා. දැන් කාලේ එවුන් ඩ්‍රයිව් කරන්නේ පාරට පින් සිද්ධ වෙන්නයි, පවර් ස්ටියරින්, එක තැන වදින බ්‍රේක් තියෙන වාහන වලට පින් සිද්ධ වෙන්නයි, හෝන් එක ගහලා ඉස්සරහින් එන එකා කාණුවට යවලයිනේ.
"උඹලෑ මාම දෙයියෙක් බන්. නැත්නම් අපි පන්ති ගිහිනුත් ඉවරයි" මාමත් එක්ක කතා කර කර ඉන්නවා දැකලා අඳුරගත්ත යාලුවෙක් එහෙමයි කිව්වේ.
![]() |
| පින්තූරෙට සාදර සමාදර දායකත්වය |
පවර් ස්ටියරින් නැති, දෙතුන් පාරක් පෙඩ්ල් කරලා බ්‍රේක් ගහන වාහනයක් අද වගේ කාපට් නැති පොඩි පාරක එලවන එකත් ඒ කාලේලොකු දෙයක් තමා. අද උනත් මාමත් එක්ක රේස් යන්න එන්නේ නොදන්න එකෙක් තමා. ප්‍රයිවට් බස් වල තියෙන පහසුකම් එකක්වත් නැතුව, ඒවායේ වගේ පොලෝසියෙන් ගහන දඩ ගෙවන්න හාම්පුතාලත් නැතුව, අනතුරක් උනොත් ක්ලේම් කරන්න ඉන්ෂුවරන්සුත් නැතුව පෙඩ්ල් බ්‍රේක් සිස්ටම් තියෙන බස් එකකින් අනතුරක් නැතුව යන යෑමත් ලොකු දෙයක්නේ. මම දන්න තරමින් ඉඳලා හිටලා වෙන සයිඩ් කණ්නාඩියක් ගලෝගන්න දෙයක් ඇරෙන්න මාමට අනතුරක් වෙලා තියෙන්නේ 1980 දශකයේ මුල් භාගයේදී. ඒකත් අනෙක් වාහනේ වැරැද්දෙන්ලු.
වගකීම කියන දේ හරියට තියෙනවනම් තමන්ගේ අතේ ජීවිත බර ගානක් තියෙනවා කියලා හිතුවනම් අද කාලේ අනතුරු ගොඩක් අඩුවෙයි කියලයි හිතෙන්නේ.
මාමගේ හොඳ කියන අය වගේම තමයි අනික් පැත්තත්. බැනුම් අහපු නැති එකෙක් ඉන්නවනම් ඒ ඉන්නේ මාමා ගැන දන්නා එකෙක්ම තමා. :D ෆුට්බෝඩ් යන අයට මුලින්ම හොඳින් කියනවා. ඊළඟට මඩවලවල්, පඳුරු.... එහෙමත් හරියන්නැත්නම් තදින් කියනවා. මල පැන්නොත් බස් එක අයිනකට කරලා නවත්තගෙන ඉන්නවා. එතකොට අරූ බැනුම් අහන්නේ බස් එකේ යන ගෑනුන්ගෙන්. පරක්කු වෙන නිසා. හැබැයි ඔය අන්තිම තත්ත්වෙට ආපු අයගෙ ගානනම් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්.
මාමා රාජකාරිය දේවකාරියටත් වඩා හොඳින් කරන කෙනෙක්. උදේ බස් එක ගන්න ඕනි වෙලාවට පැය බාගයක්වත් කලින් ගිහින් වාහනේ ෆුල් චෙකප් එකක් දානවා. දන්නවනේ ලංකාවේ පොදු ප්‍රවාහනේ හැටි. අද හොඳට තිබුණු බස් එකේ ටයර් එක හෙට වෙනකොට වෙන බස් එකක. එහෙම වෙලාවට දවස් දෙක තුන බස් එක බාර ගන්නැතුව ඉන්නවා හදනකන්. ෆොමන්ලත් හොඳ ඇම්ඩලනේ. ඉස්සරහ වම් පැත්තේ ටයර් එක ගෙවිලා කියලා ගෙනත් දැම්මොත් පහුවෙන්ද බලනකොට ඒ ටයර් එක හොඳයි. එතන තිබුණු ටයර් එක ඉස්සරහ දකුණු පැත්තේ දිවත් දික් කරගෙනම ඉන්නවා. එක රෝදෙක බ්‍රේක් නෑ කිව්වොත් ඒක විතරයි හදන්නේ . බ්‍රේක් අන්බැලන්ස්. බ්‍රේක් පාරක් ගහපු ගමන් වාහනේ රුයිතෙට යන්නේ.
දැන් මාස දෙකකට විතර කලින් පාරේ වංගු නැති හරියක මීටර් 100ක විතර දිග තනි රෝදෙක බ්‍රේක් පාරක් තිබුණා නයා ගිහින් වගේ. හොයලා බලනකොට බදුල්ල- කොළඹ බස් එකක ඉස්සරහා රෝදේ බ්‍රේක් හිරවෙලා. රියදුරුගේ දක්ෂතාවය නිසා තමයි නවත්තගෙන තියෙන්නේ. හිතන්න. එතන කෙලින් පාරක් නොතිබුනානම්.. තැන්නක් නොවුනානම්.. රියදුරු පළපුරුදු කෙනෙක් නොවුනානම්... වාහනේ පාර මැද රැවුම් කීයක් පෙරලෙයිද? අද කාලේ වාහන අනතුරු ගැන කියෝනවා. බස් එකක් හැප්පුනොත් තව ටිකක් වැඩිපුර කියෝනවා. සීටීබී එකක් උනොත් ඊටත් එහා. ඒත් ඒ අයට දෙන වාහන වලින් මේ විදියට අතක් පයක් නොකඩා එක්ක යන එකත් ලොකු දෙයක් කියලා නොහිතන්නේ ඇයි? අනික සීටීබී ඇතුලේ තියෙන ගසා කෑම් ගැන මාධ්‍ය මගින් හෙළිදරව් නොකර කලාතුරකින් වෙන(සාපේක්ෂව) අනතුරක් මාධ්‍ය මගින් උලුප්පලා දක්වන එක හොඳද?
මතකනේ අර කෝච්චියක් බ්‍රේක් නැතුව ගිහින් අනිකේ ඇනුනම බාල ඉන්දියන් එංජිමේ දෝෂයවත්, ඒක ගෙන්නපු උනුත් සුදනෝ වෙලා එතැනදී ජීවිතය පුදපු දුම්රිය රියදුරු තැන වැරදිකාර මිනීමරුවා උන හැටි.
දිග වැඩි උනත් තව එක කාරණයක් කියන්න තියෙනවා. මං කලිනුත් කිව්වනේ රාජකාරියයි දේවකාරියයි ගැන.
අපේ මාමා හවහට ඇඟ ටිකක් රත් කරගන්න පොරක්. හැබැයි අවස්ථා දෙකකදී ඇරෙන්න රාජකාරියේදී විතරක් නෙවෙයි වෙන කිසිම අවස්ථාවක රත් කරගෙන ඩ්‍රයිව් කරලනම් නෑ. ඒවත් පස්සේ කියන්නම්කෝ....
මේ කථාව ඉස්සර ඉඳන්ම ලියන්න හිතාගෙන හිටපු එකක්. ඒ හැම වෙලාවේම මට අපේ "ඔබා මාමා" මතක් වෙනවා. එයත් හිටියනම් මං මේ පෝස්ට් එකෙන් කියන්න තටමන දේ කමෙන්ට් එකේ එක වාක්‍යයකින් කියලා දායි.



