Sunday, April 28, 2013

බිංදුව



          බිංදුව කියන්නේ මෙලෝ වැදගැම්මකට නැති ඉලක්කමක් වගේ පේන්නෙ. මටත් ඉස්සර එහෙම්මම තමයි. ඒත්...  ඕනම දෙක වැදගත් දේ අඩිතාලම නේද? අනික මධ්‍යස්ථව කටයුතු කරන ඒ කියන්නේ හැම පැත්තම බැලන්ස් කරන ඉලක්කමත් බින්දුවම තමයි.ධන බිංදුවෙයි සෘණ බිංදුවෙයි කිසිම වෙනසක් නැත්තේ ඒ හින්දනේ. ඒත් අපි මහා ලොකුවට ලොකුයි ලොකුයි කියන ඉලක්කම් අතර තියෙන පරස්පරතාවයත් ඉස්සරහට වැටෙන ලකුණින් වෙනස් වෙනවනේ. ඕක හරියට ධනවාදේ ක්‍රියාත්මක වෙන රටක කැරැල්ලක් වශයෙන් හරි සමාජවාදේ හිස ඔසවනවා වගේ තමයි.බිංදුවේ තියෙන අනික් වටිනාකම තමයි තනියෙන් ගත්තම මෙලෝ වටිනාකමක් නැති උණාට අනික් හැම ඉලක්කමකටම වටිනාකමක් ගන්න අත්‍යාවශ්‍යම ඉලක්කමක් වීම. එකට දහය වෙන්න ඕනි බිංදුව වගේම දහයට සීය වෙන්න ඕනිත් බිංදුවක්ම තමයි. ඒක තමයි මම මුලින්මත් කිව්වේ බිංදුව කියන්නේ පාදමක් කියලා.




              දැන් කට්ටියම බලනවා ඇති මොකද මූට හදිස්සියේ බිංදුව මතක් උනේ කියලා. අකමගේ ජීවිතේ මුල් කාලේ බිංදුව කියන්නේ මොකක්ද කියලා නොතේරෙන්න තමයි අම්මයි තාත්තයි වැඩ කටයුතු කරලා තියෙන්නේ. මුලින්ම බිංදුව කියන එක තේරුණේ තාත්තගේ වියෝවත් එක්ක. ඒ වෙනකොටත් අයියා ගෙදරින් පිට ඉඳීමත් නංගී හය වසරේ ඉඳීමත් ජීවිතේට ගොඩක් බලපෑවා. 

            චේන් එකෙන් ගැට ගහපු බල්ලා වගේ කොහේ ගියත් ගෙදර පේන මානයෙන් එහාට යන්න බැරි උණා. ඒ හින්දම වටිනා රැකියා අවස්ථා කීපයක්ම ගිලිහුණා කිව්වොත් නිවැරදියි. ඒ මොක උණත් අයියට ඇරෙන්න කාටවත් අත පාන්නනම් ගියේ නෑ. අදටත් එහෙමයි. තියෙන දෙයක් උකස් කරගෙන හරි කාලා ඇඳලා හිටියා මිසක්. 

             ඔය අස්සේ තමයි අම්මා ලෙඩ උනේ එක පාරටම. උදේ නැගිටිද්දී අතක් ඉදිමිලා හොල්ලන්න බැරි ගාණට. ඒක අඩු වෙනකොට කකුල. ඒක අඩුවුනේ ලෝකයම නිශ්ශබ්ද කරගෙන. ඒ කියන්නේ අම්මව සදාකාලික ශ්‍රවනාබාධිතයෙක් බවට පත්වෙලා. ගුරුවරියක් විදියට මිනිසුන් අතරේ හිටිය අම්මට එක රැයකින් වෙච්ච මේ වෙනස සෑහෙන්න ලොකු බලපෑමක් උණා කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

            ඩොක්ටර්ස්ලා කීප දෙනෙක් හමු වෙලා කරන්න තියෙන හැම දෙයක්ම කරලා ඒ හැමෝම අවසන් නිගමනය විදියට තව මුකුත් කරන්න බෑ කිව්වම සිංහල බෙහෙත් වලට යොමු උණා. බළන්ගොඩ, පින්නවල “මොරහැල- ගමකුඹුරේ වෙදමහත්තයා” හින්දා තනියෙම ගේඇතුළේ ඇවිදින්න පොඩි පොඩි වැඩ ටිකක් කරන්න පුළුවන් ගානට සනීප උණා. එදා ඉඳන් මේ වෙනකං අම්මා වත්තේ මායිමෙන් එහාට තනියෙම අඩියක්වත් තියලා ගිහිං නෑ.


           ඔය දවස්වල උදේට බතක් මාළුවක් හදලා පහේ බස් එකේ රැකියාවට ගිහිං රෑ නවයට විතර තමයි ගෙදර ආවේ. අන්තිමේදී ඒකත් හැමදාම කරන්න බැරි උන හින්දා දැන් කරන රස්සාවට මාරු උණා. ඒත් රැකියාවේ තෘප්තිය කියන එකනම් කලින් එකේ තරම් කොහොමවත් ගන්න බැරිවුන බව නම් කියන්න ඕනි. ඔය බිංදුවට වැටුණු තවත් අවස්ථාවක්.

              පහුගිය මාර්තු තිස්එක කියන්නේ ෆයිනෑන්ශල්‍ ඉයර් එන්ඩ් එක. අපේ වහල යට ඉඳන්ම වල කපන අය අස්සෙන් රට වටේ තියෙන බ්‍රාන්චස් ඔක්කොගෙම ඉංජිනියරින් සෙක්ෂන්ස් පරද්දලා ලංකාවෙන් එකට එන්න අපිට ලොකු කැපවීමක් කරන්න උණා. අන්තිමේදී අපි එක උණා. ඒත් සතුට කියන දේ ලොකුවටම විඳගන්න අවස්තාවක් ලැබුණේ නෑ.

              අපේ බ්‍රාන්ච් එකේ විදුලි ප්‍රශ්ණයක් තියෙනවා. එදා ඉඳන් කිව්වත් ප්ලාස්ටරයක් අලෝනවා ඇරෙන්න ලොකු විසඳුමක් නෑ. ඔය හේතුව හින්දා කස්ටමර්ට ගෙනියන්න ලැස්ති කරලා තිබුණ භාණ්ඩයක් පිච්චුණා. ඒ වරදත් අපේ පිට. ඒ මාසෙට අදාළ කමිෂන් එකට බිංදුව වැටිලා. ඔය ගැන යම් දුරකට වාදයක් ගෙන ගියත් අන්තිමේදී අපි තනි උන නිසත් අල වෙන්න බැරි කම නිසත් සද්දෙ වහගන්න සිද්ධ උණා. සේවකයෝ සිය දහස් ගානක් නැති නිසා වෘත්තීය සමිති උත්තමයන්ටත් අපි සත පහකට වැඩක් නෑලු. අපේ ලොක්කෝ ටික රට ගිහිං හිටපු නිසා ඕටී එකත් නියමිත දිනේට නෑ. 



          ටාගට් පස්සේ පන්නපු නිසා ෆීල්ඩ් එකේ වැඩ ඔක්කොම හිර වෙලා තිබුණේ. බයික් පදින්න පුළුවන් එකා මම වීමත් ඇතුළේ වැඩ ගොඩ ගැහීමත් නිසා මම භාර ගත්තා තනියෙම ෆීල්ඩ් එකේ වැඩ ටික ගොඩ දාන්න. කිලෝ හය හතක ටූල් බෑග් එකත් කරේ එල්ලගෙන බයික් එක *කේ අලෝගත්තා මාර්තු අන්තිම ඉඳන් අප්‍රේල් නවය වෙනකම්. දවසක ඇවරේජ් එක කිලෝ මීටර් එකසිය අසූ ගානක්. තුන්සීය පන්නපු දවසුත් තිබුණා.

           අම්මා බලන් ඉන්නවා අවුරුද්දට ගෙදර පුරවන්න. නංගි ඇඳුමක් ගන්න ඕනි කියලා නොකියා කියනවා. පර්ස් එකේ සීසන් එක විතරයි. කණකරත් වැඩි ආරක්ෂාවට බැංකුවේ. ඔය අතරේ අමතර වැඩක් සෙට් උණා. රට වටේ දුවන ගමන් දවසක් සම්පූර්ණයෙනුත් තව දවස් දෙකක් උදේ තුන වෙනකනුත් වැඩ කරලා යාන්තං ප්‍රශ්ණ ටික පොඩ්ඩක් ශේප් කර ගත්තා. ඒත් එක්කම කතරගම පැත්තෙ වැඩක් සෙට් උණා. නව වෙනිදා වැඩ ඇරිලා ඇවිත් (ඔව් එදා තමයි මගේ දෙවැනි සයිබර් මිතුරා Praසන්අයියත් හම්බ උනේ) රෑ අටට විතර මහා වැස්සේම කිලෝමීටර් එකසිය ගානක් පදින්න බයික් එකට නැග්ගේ. 



           මොනවා උණත් මහන්සියේ ප්‍රථිපල ලැබුණා. දොළොස් වෙනිදා හවස් වෙනකොට ගෙදර හිනාවෙන් පුරවන්න පුළුවන්කම ලැබුණා.


       

     බිංදුවේ අගය ආයෙත් දැනගත්තා වගේම බින්දුවට අගයක් ලබා දෙන්නත් හැකියාවක් ලැබුණා. කොයිදේ කරන්නෙත් ඕකටනේ.....

Thursday, April 25, 2013

කැමරාකරණයේ නව මානයන් සොයා තරුණ ජවයෙන්...


                 බ්ලොග් ලෝකෙ කැමරා පිස්සෝ කීප දෙනෙක් ඉන්නවා. අයිලාස්, වෙනී වගේම ඩූඩ්, මාරේ වගේ අයත්. පහු ගිය කාලේ ඔය කට්ටියගේ වැඩ කිඩ දකින්න ලැබුණනේ. ඒ අතරින් අයිලාස් තමන්ගේ දැනුම බෙදා දෙනවා. වෙනී අයියා වතුර පෙවී පෙවී වැඩ කෑල්ලක් දැම්මා. ඒ මදිවට සිහින උළෙලටත් දිග හොම්බ අරන් ගිහිං තිබුණනේ.  

                 ඊළඟ කෙනා.... අන්න බුවා. කැමරාවෙන් වැඩ දානවා මදිවට කැමරාව ඉස්සරහට ගිහිනුත් වැඩ දානවා. අර පුංචි ගල් කෑල්ලක් උස්ස ගන්න දඟලපු දැඟලිල්ල කට්ටියම දැක්කනේ. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරපු “විමතිය ආඩම්බරකම කැටිවූ දෙනෙත්” කියලා දාපු ෆොටෝ එකේ තිබුණු දෙනෙත්වල අපි නම් දැක්කේ “ පුහ්: ” කියන එකද මංදා. එතකොට අපේ මාරේ අයියත් එයාට පුළු පුළුවන් විදියට හිටි පිළිමවල පින්තූර අරන් තිබුණේ. ඒ නැතත් විචාරක හැකියාව. අන්න කරනවනම්. හැලපයියත් වෙනම වර්ගයක කැමරාවකට සම්බන්ධ වෙලා හිටියයි කියලා කියන්නේ. කෙන්ජිත් සාක්ෂි දරනවනේ ඒකට.


            දැන් ඔය මැන්ටල් සෙට් එකෙන් පස්සේ කවුද ඇත්තටම ක්ෂේත්‍රය බාර ගන්න ඉන්නේ? ක්ෂේත්‍රය ගැන උනන්දු තරුණයෝ නැද්ද? ඕක කාලෙක ඉඳන් මගේ හිතේ පැසව පැසව තිබුණු කාරණයක්. අන්තිමේදී තීරණයක් අරන් මං ගියා ඡායාරූපකරණය පිළිබඳව හදාරන්න. කස්ටියටම පහු ගිය කාලේ මාව එච්චර දකින්න නොලැබුණේ ඒ හින්දම තමයි.

          ඒක මං කළා විතරක් නෙවෙයි, අතීතයට බලපාන පරිදි දැනුම යාවත්කාලීන කළා. ඔව් ඔව් බොලං අප්ඩේට් කළා. දැන් කස්ටිය බලයි මූට පිස්සුද කියලා. “එහෙමත් කොරන්න පුලුවනෑ” කියලා කියයි. ඇයි එතකොට ඔහොම එව්වා කරන්න පුළුවන් “උස්සා”විලා  එකේ අයටයි ගෝරමේන්තුවේ අයටයි විතරද?

හා හා කතා ඕන්නෑ. වැඩ බලමුකෝ......

1). කැපවීම.
යේ.... 

 

              මේ පින්තූරේ ගත්තේ ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිසිම බස් එකක් නොයන පාරක කිලෝ මීටර් හතරක් විතර තියෙන අන්තිම ගමට ගිහිං එතනිනුත් කැලේ අස්සට කිලෝ මීටර් පහක් විතර ගිහිං.

                 බලන්න මේ මූණේ තියෙන හැඟීම්... (ආ.. සොරි වෙන්න ඕනි. මූණ කපන්න උණානේ. ) හොඳ ඡායාරූප ශිල්පියෙක් උණාම කැපවීම තියෙන්න ඕනි. අපිට ඕනි ලොකේෂන් එක හොයාගෙන ගිහිං එතනත් තියෙන භයානක කම්, බාධක මැඩගෙන තමයි ඡායාරූපයක් ගන්න ඕනි. බලන්නකෝ ලෝකෙම දිනුවා වගේ හැඟීමක් ඉස්මතු වෙන්න ඡායාරූප ශිල්පියා අදාල නිරූපකයාව හසුරුවා ඇති ආකාරය හා ඡායාරූපයේ පසුබිම.



2). මාතෘකාවට සුදුසු ඡායාරූපයක් ගැනීම

ලෝක ධර්මතාවය
             
                       බලන්න මේකට යොදාගෙන තියෙන ආලෝකය. ෆ්ලෑෂර් මුකුත් නැතිව ස්වභාවික ආලෝකය ඉහළ සිට පහලට යොමුවන ආකාරයට තමයි යොදාගෙන තියෙන්නේ. මේක අපේ වැඩිවෙන විදුලි බිලටත් එක්තරා ආකාරයකට විසඳුමක්. අනික් එක තමයි ෂටර් ස්පීඩ් එක ගානට මිම්මට හසුරුවා ඇති ආකාරය. ස්වභාවික පරිසරයේ එක පැතිකඩක් පෙන්නන්න හැකිවෙන ආකාරයට අරන් තියෙන අගනා ඡායාරූපයක් තමයි මේ. මේකට “ලෝක ධර්මතාව” කියලා නම දාන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඕනම කේස් එකක් උඩ ඉඳන් පහළට ඇත ඇරලා අත පිහදාගන්න ඉන්න අයව සංකේතවත් කරන්න තමයි මේක අරගත්තේ. බලන්න හිතලා තියෙන දුර.....


3). ක්ෂණික බව
බ්ලො.. බ්ලො.. බ්ලො ග්... ගි.. ග්ලෙන්..න.. යන්.. බ්ලො... වෝ...

            බොර දියේ ජල ක්‍රීඩා කරන අවස්ථාවකදී ඇතිවුණු හදිසි ආපදා තත්ත්වයක්. හොඳ ඡායාරූප ශිල්පියෙක් සතු ක්ෂණික බව වගේම තද හිතත් මෙතැනදී පිළිඹිඹු වෙනවා. එක අයෙක් ගිලෙද්දී ඒ ළඟම ටයරයක ආධාරයෙන් ජල ක්‍රීඩා කරන සගයා ඔහුව බේරා ගන්න ඉදිරිපත් වෙන්නත් පෙරාතුව කැමරාව ක්‍රියාත්මක කර ඇති අපූරුව. අනික ගිලෙන එකාව බේරගන්න ගියානම් මෙච්චරක් වටිනා පින්තූරයක් අද කෝ? ඒකයි තද හිතකුත් තියෙන්න ඕනියි කිව්වේ.


4). කාය වර්ධනය  
කොහොමද සයිස් එක

              මේ නිරූපකයාගේ අතක සයිස් එක බලන්න. ඉතියෝපියාවෙන් ආපු එකෙකුට වඩා වෙනස් වෙන්නේ හමේ පාටයි, තියෙන මයිල් ගස් ටිකයි විතරයි. ඒත් ශිල්පියාගේ හැකියාව ඡායාරූපයේ ලස්සනට වඩා මෙතැනදී ඉස්මතු වෙලා තියෙනවා. බලන්න අර පෙන්දට දීලා තියෙන ප්‍රතාපවත් පෙනුම. ඒකටම හරියන්න පසුතලය තෝරාගෙන ඇති අපූරුව. තද වර්ණ භාවිතා නොකර යොදාගත් වර්ණ සංකලනය. 


5). උපරිම ප්‍රයෝගයෙන් නරඹන්නා මඥ්ඥන් කිරීම.
ට්‍රිබල් ඇක්ටිං

           කැමරාවක විවිධාකාරයේ ප්‍රයෝග/ පහසුකම් ලබාදෙන්නේ ඒවා ඕෆ් කරලා තියාගන්න නෙවෙයිනේ. ස්වීප් පැනරෝමා තාක්‍ෂණය යොදාගෙන එකම කණ්ඩායම ට්‍රිබල් ඇක්ටිං කරන ආකාරය ඉදිරිපත් කරන්න තරම් ඡායාරූප ශිල්පියා සතු ප්‍රයෝග පිළිඹඳ දැනුම... පුදුමත් හිතෙනවා නේද?


6). දුර්ලභ ඡායාරූප ගැනීමේ හැකියාව.
පුහ්: මුගේ බරත් බරක්ද?

           බලන්න නිරූපකයා සැහැල්ලුවෙන් තවත් අයෙක් අත උඩ තියාගෙන ඉන්න ආකාරය. මේ වගේ නිර්මාණයක් කරන්න තරම් අත්දැකීම් වලින් වගේම දැනුමෙනුත් සන්නද්ධ වෙලා ඉන්න ඕනි. මේ වගේ එව්වා ආවට ගියාට කබ්බන්ට ගන්න බෑ.


7). අර්ථාන්විත ඡායාරූප
වැහි දිය මහ බිම තෙමුවට.....

            මේකේ මොන අර්ථයක්ද? මහ වල් ෆොටෝ එකක්. දැක්ක ගමන් ඕනි එකෙක් කියයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. ඉහළින් වැටෙන පොද වැස්සට නොතෙමෙන්න හිස ආවරණය කරන් ඉන්න ගමන් පහළින් ඉන්න පොඩි පොඩි සත්තුන්ට සුපිරි වැස්සක පහස ලබාදෙන ආකාරය රූපයට නගා ඇති ආකාරය.නොතෙමෙන්න ආස ඒත් තෙම්මන්න ආස බලවත් උදවියව මෙතනින් නිරූපණය වෙනවා නේද?



         හ්ම්ම්ම්.... අදට ඇති. මගේ පහු ගිය කාලේ තිබුණු නිහැඬියාව  අර්ථාන්විතයි නේද?


(මෙහි පලවන ඡායාරූප අතුරින් සියල්ලටම පාහේ අකමා සම්බන්ධ අතර පහකම නිරූපණ ශිල්පියෙක් ලෙසද කටයුතු කළ බව ආදරයෙන්  ආඩම්බරයෙන් කියමි.)

Monday, April 15, 2013

සිරි ලක පිරි අවුරුදු සිරි.....


කාලයක් තිස්සේ අකමට ටීවී එක ඇලජික් වෙලා තිබුණේ.  බලන්න මෙලෝ දෙයක් නැති එක ඒකට ප්‍රධාන හේතුවක් උණා. ඔය අස්සෙ "සුජාත දියණි" ආවා. කට්ටිය හැමෝම බැන්නත් මමනම් ඒකෙ අමුතුම  පැත්තක් දැක්කා. ගත යුතු ආදර්ශ බොහොමයක් පිරුණු විශේෂයෙන්ම දෙපිට කැපෙන වචන නැති නාට්‍යයක්. යම් දෙයක් වෙනසක් සහිතව දකින්න පුළුවන්නම් ඒ වෙනස දකින්න නිදහසක් තියෙනවනම් ඒ දේ එයාට රසවත් වෙනවා. “සුජාත දියණි” මට රසවත් උනේ ඒ නිසයි. මට නීරස දෙයක් අනික් කෙනෙකුට රසවත් වෙන්නෙත් ඔය හේතුව නිසාමයි.

ඒත් එකම රිපීට් යනකොටත් එපා වෙනවා. ගොඩාක් ටෙලිවල, ෆිල්ම් වල, නවල් වල දෙවැනි කොටස අසාර්ථක වෙන්නෙත් ඒ නිසයි. “අභීත දියණි”යට වෙලා තියෙන්නෙත් එකම වෙන්න ඇති.

ඉතින් මං කියන්න ආවේ වෙන දෙයක්නේ.......


ගොඩාක් කාලෙකට පස්සේ ජාතික රූපවාහිනියෙන් හොඳ වැඩසටහනක් ඉදිරිපත් කළා අද දවසේ. “සිරි ලක පිරි අවුරුදු සිරි”

සිගරට් නොබොන එකෙක් එකක් බිව්වම ඌට බනිනවා වගේම දවසකට පැකට් එකක් බොන එකෙක් ඒක එක සිගරට් එකකට අඩු කලාමත් හොඳ කියන්න එපායැ. අද දවසේ කඩේ යෑම සාපේක්ෂව අඩුයි. (ආහාර අනුභවයෙන් පස්සේ වෙච්ච කතන්දර ටික ගැන මං කියන්නේ. )

අනික් චැනල් වල නිවේදක නිවේදිකාවෝ කියන්න දේවල් නැතුව එකම දේ කියවද්දී  දැනුණු අජූවනම් කියලා වැඩක් නෑ. ඒ වගේම තමයි වෙළඳ ප්‍රචාරක ආයතනවලට කොන්ද නවාගෙන ගැලපීමක් ඇතත් නැතත් සෑම වචන දහයකට දොළහකටම සැරයක් ඒ ඒ ආයතනයේ නම කියව කියවා දඟලපු දැඟලිල්ල.

ඒ අතින් ජාතිකේ අවුරුදු උත්සවේ ලස්සනට පැවත් උණා. වචන වලින් හිඟ නැති නිවේදකයෝ. නිවේදිකාවෝ. අනාගත නිවේදකයෝ වෙන්න පෙරුම් පුරන අයටත් ආදර්ශයක් වෙන විදියට ලස්සනට වැඩේ කෙරුවා. අන්තිමට තිබුණු අවුරුදු කුමාරි. ෂහ්.... ඒ ගැන නොකියා ඉන්න එක හොඳයි.

අන්තිම..ටම තිබුණු සංගීත සංදර්ශනේ. ෆ්ලෑෂ්බෑක් ලගේ සංගීතය, ශබ්ද, ආලෝකය, අනෙකුත් එෆෙක්ට්ස්, වේදිකාව, කැමරාකරණය, නිවේදනය, මෙහෙයවීම අන්තිම සුපිරියි. ඒ වගේම තමයි මට මෙච්චරක් කල් ප්‍රශ්ණයක් වෙලා තිබුණු ලංකාවෙ ඉහළම ජපන් තාක්‍ෂණය සහිත ජාතික රූපවාහිනිය ඒ උපකරණ වලිනුත් උපරිම ප්‍රයෝජනයක් අරගෙන වගෙයි.

ඉතින් අද මේ පෝස්ට් එක ලිව්වේ වෙන දෙයක් හින්දා නෙවෙයි. අපේ සැළලිහිණියා ආයෙමත් අපේ ගෙදරට ආපු නිසයි. ඉස්සර වගේම. අපි පොඩි කාලේ වගේම.

“උතුරේත් අපි අපි දකුණේත් අපි අපි
රට මැද රට වට කොතනත් අපි අපි
නෑදෑයෝ... අපි නෑදෑයෝ.....”
                     තාමත් මතකයි ඒ හඬ.

කරන්න තියෙන්නෙත් එක ප්‍රාර්ථනාවයි.
“සැළලිහිණියෝ, එක එකාට කඩේ යන්නැතුව ආයෙමත් අපේ ගෙදරට වරෙන්......”


ප.ලි: පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. පුළුවන්නම් අවුරුදු කුමරී තරඟේ අතර තුර ගිය "බඹර කැපීමේ" ගීය හොයාගන්න උදව්වක් කරන්නකෝ....

Sunday, April 14, 2013

සුභම සුභ නව වසරක් වේවා!!!



ලැබුවා වූ නව වසර 
ඔබටත් ඔබේ පවුලේ සැමටත්
සාමයෙන් සෞභාග්‍යයෙන් පිරි,
කිරියෙන් පැණියෙන් උතුරන 

සුභම සුභ නව වසරක් වේවා!!!