Showing posts with label අතීතයෙන් බිඳක්. Show all posts
Showing posts with label අතීතයෙන් බිඳක්. Show all posts

Sunday, July 28, 2013

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....


 සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ......

වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ...

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....

නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....




              ඒ 1997 අවුරුද්ද විතර වෙන්න ඇති. ඔය කාලේ තමයි මේ ගීතයත් එක්ක තව ගීත පහක් විතර ඇතුලත් TDK නයින්ටියක්  (TDK 90) හම්බ උණේ. TDK 90 කියන්නේ කැසට් එකක්. අපේ භාෂාවෙන් කියනවනම් කැසට් පීස් එකක්.  TDK කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන විනාඩි අනූවක් රෙකොර්ඩ් කරන්න පුළුවන් පීස් එකක්.  අයියනම් කිව්වේ මේක ඉන්දික ප්‍රසාද්ගෙන් හම්බ උණා කියලා. මටනම් හිතෙන්නේ එහෙම උණත් ඒ ආශ්‍රය දවසකට දෙහෙකට වැඩිය තියෙන්න නැතුව ඇති. නැත්නම් ඉතිං මගේ කන් දෙක මේ තරම් හොඳට ඇහේවියැ. කොහොම උණත් ඔය පීස් එක දාගෙන අපි ඉන්නේ ටිකක් උජාරුවෙන්. මොකද අනික් අය ගාව නැති ඇල්බම් එකක් අපි සතු වෙනවා කියන්නේ ගෙදරට ඉල්ලන් එන අය වැඩිවෙනවා කියන එකනේ. අනික ඔය කාලේ මාත් අයියගේ නැට්ටේ එල්ලිලා කීබෝඩ් පන්ති යන දවස්. ඉතිං කීබෝඩ් එකක් යාන්තම් ටාං ටාං ගාලා කොටාගන්න පුළුවන් කියන්නෙත් ඒ කාලේ හැටියට ලොකු දෙයක්නේ.



               ඔය කාලේ තමයි අකමා ට්‍රැක් එකෙන් පිට පැන්නේ. ඉස්කෝලේ එපා වුණේ. ඒ වගේම ගෙදරත්. ජීවිතයත්. මැරෙන්න ක්‍රම හොය හොයා හිටපු කාලයක් ඒක. මැරෙන එක, එක පාර මැරෙන්නත් එපායැ. ඉතිං එකක් බැරිනම් එකක් විදියට බැකප් ප්ලෑන්ස් කීපයක්ම තිබුණා.


             
ගහක ටිකක් උස අත්තක් යට පිහි ටිකක් උඩ අතට වෙන්න හිටෝලා ඒ ටික වැහෙන්න ගිනි ගොඩක් ගහලා ගහේ අත්ත උඩට ගිහින් වහ බෝතලයක් බීලා අරකට පනින එක. එහෙමත් නැත්නම් අපේ ගඟේ මැද තිබුණු ලොකු ගල උඩට නගිනවා අමාරුවෙන් උස්ස ගන්න පුළුවන් ගල් දෙකක් අරගෙන. එකක් කකුල් දෙකේ ගැට ගහ ගන්නවා. අනික බෙල්ලේ එල්ල ගන්නවා. ඊළඟට පිහියෙන් බඩට ඇනගෙන ඇනගෙන ගිහින් වතුරට වැටෙනවා. මිනියත් නෑ. :D



        තවත් ඔය වගේ සිම්පල් ප්ලෑන් කීපයක් තිබුණා. වැදගත්ම දේ තමයි ඔච්චර ප්ලෑන් ගහපු එකාගේ වයස 12යි. ඕක ක්‍රියාත්මක කරන්න බැරි උනේ වෙන මුකුත් හින්දා නිසා නෙවෙයි. අවුරුද්දේ මාස දොළහම එක එකා බෙදාගෙන හිටපු නිසයි. මැරෙන්න හදනකොට ඔන්න නංගිගේ බර්ත් ඩේ එක. ඔය අස්සේ මැරුණොත් ආයේ එයාගේ බර්ත්ඩේ වලට පාටි දාන්න වෙන්නෑනේ. දාන පාටි මිසක්. ඊළඟ මාසේ අයියා. මාර්තුවේදී හිතෙනවා අවුරුද්දත් කාලම මැරෙනවා කියලා. අප්‍රේල්නම් කොහොමත් බෑ. ඊළඟට අම්මගේ බර්ත් ඩේ එක...... ඔන්න ඔහොමයි මගේ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියේ.



          ඔන්න ඔය අතරේ දෙසැම්බරයේ දවස් තුනක ට්‍රිප් එකක් ගියා. අපේ බස් එකේ හිටියා ඒලෙවෙල් කරන අක්කා කෙනෙක්. දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට අපි දෙන්නා ෆිට්. දැන්නම් එයා අම්මා කෙනෙක්. අනික මෙලෝ රහක් නෑ. ඒත් ඒ දවස්වල මං එයාව දැක්කේ අමුතුම කෝනෙකින්. හප්පේ.. එයා තරම් ලස්සන කෙල්ලෙක් මීට කලින් මං දැකලම නෑ. දඟකාරකමත් ඒ වගේමයි. දැන් ඒලෙවෙල් කෙල්ලෝ ඇටිකිච්චියෝ වගේ පෙනුණට එදා කෙට්ටුම කෙට්ටු ඒ අක්කා දිහා බැලුවෙත් පතාක යෝධියෙක් දිහා බලන්නැහේ උඩ බලාගෙන. ඔය කාලේ අතේ බඳින බෑන්ඩ් හදන පිස්සුවක් තිබුණා නූල් කැරලි වලින් එකේක නම් මතුවෙන විදියට හදාගෙන. ඔය වැඩේ හැමෝටම කරලා දුන්නත් මං වෙනුවෙන් එකක් හදා ගත්තේ එයාගේ නම දාලා හාර්ට් දෙකකුත් දෙපැත්තෙන් එන විදියට හයි රෙසලුෂන් විදියට. ඒ කිව්වේ පික්සල් ගැන වැඩි කරලා බුදු කට්ටක් කාගෙන. ඕක කරන්නත් ඕනි ගෙදරට හොරෙන් නෙව. පස්සේ බලද්දී ඒකිගේ නම මං කොටපු නමේ රයිමින් එකට යන වෙනත් එකක්. හයියෝ සංසාරේ.......



ඕක තමයි මගේ ෆස්ට් ලව් එක. ගෑණියෙක්ගේ අහවල් එක මොන පාටද කියලවත් දන්නැතුව නුහුරු කඳුළු හෙළුවේ ඒකි වෙනුවෙන්.

  


             ඊළඟට ඔහොම කැරකිලා ගිහින් වැටුනේ වියලි කලාපයේ දුෂ්කර පළාතක ඉස්කෝලෙකට.අපේ පුංචි අම්මා උගන්නන ඉස්කෝලෙට. එයා හරියට කාලගුණේ වගේ. හරි හොඳයි. හොඳට සලකනවා. කන්න බොන්න දෙනවා. ඒත් හිටපු ගමන්........ කුඩම්මා කියන්නේ ඒකටද මංදා.....





    අලුත් පන්තියේ තුන් වෙනි පේලියේ දකුණු පැත්තේ කෙරෝලේ පුටුවක් මං වෙනුවෙන් වෙන් උණා. එතනින් පොඩි ස්පේස් එකක්. ඊළඟට කෙල්ලෝ. දුඹුරු පාට දිලිසෙන ඇස් දෙකක් තියෙන කෙල්ලෙක් මට දකුණු පැත්තේ. ඒකිගේ පොතක් බිමට වැටුණා දිග ඇරලා තිබුණු විදියටම. මාත් වැඩිය හිතන්නැතුව එක අර ගත්තා. එතකොට දැක්කේ ඇතුල් පිටු දෙකේ දූවිලි. ඒකත් අතින් පිහ දාන ගමන් මං පොත දුන්නා. ඒක එතැනින්ම ඉවරයි. ඒත් මාස දෙක තුනකට පස්සේ මෙන්න අපි දෙන්නගේ නම් අල්ලලා.. හයියෝ කියන්නත් ලැජ්ජයි වගේ.



          ඒ කාලේ අපි පුදුම සැහැල්ලුවකින් ජීවත් උණේ. මාත් එක්ක උජියා, සුමියා හොඳටම ෆිට් උණා. නිලූ, මධූ, ස්නේහා ත් එහෙමයි. ඕ ලෙවෙල් අවුට් වෙනකන්ම අපි හය දෙනාගේ ගැන්සිය අවුරුදු තුනක් විතර එහෙම්මම තිබුණා. 



             පන්ති භාර සර්රුත්, ඒ හින්දා එයා උගන්නන ගණිතය විෂයත්, ඒ හින්දා ඉස්කෝලෙත් එපා වෙච්චි මට අලුත් ඉස්කෝලෙට ඇවිත් හිටපු තරුණ ගුරුතුමියගේ පිහිටෙන් ආසම විෂය බවට ගණිතය පත් කර ගන්න පුළුවන් උණා. ඊළඟ පුදුමේ තමයි වාසගම ඇරෙන්න මගේ නමේ පාට් වන්, පාට් ටූ දෙකේම ස්ත්‍රීලිංග පදේ තමයි ඒ මිස්ට තිබුණේ. 



              ඕලෙවෙල් වෙනකන් මුළු පන්තියම යාළුවෝ. අපි හය දෙනා අඹ යාළුවෝ. අපි කොල්ලෝ තුන්දෙනාට ඔය අස්සේ තමයි පියාපත් හම්බ උණේ. ශිෂ්‍ය නායක පදවි. එකොළහ වසරට පා නගන කොට උජියට ලව් මාන්දම. අට වසරේ කෙල්ලෙක් පස්සේ ගියා. අපි ඔක්කොම බොක්කෙන් සපෝර්ට්. කට කතා ඇත්තක් වෙමින් නිලූයි මායි අතරේ සම්බන්දෙ තවත් වැඩි උණා. ඒත් කටින් පිට උණේ නෑ. ගොළු ආදරයක්. (හා හා බනින්න එපා. මං කොහොමත් ගොනෙක් තමයි) ඒ කාලේ කරපුවා කියපුවා මෙහෙම සාරාංශ කරලා ලියන්නත් අමාරුයි. ඉස්කෝලේ හවස පන්ති වලට නැවතිලා කරපුවා, ළඟ පන්සලේ පෙරහැරවල් සංවිධානය කරපු හැටි, පන්ති කට් කරලා ෆිල්ම් බලපු හැටි, කෙල්ලොත් එක්ක කැලේට යටවුණු ගුරු නිවාස අස්සේ කරපුවා........ හැබැයි එක දෙයක්. ඉස්සර ගොන් වැඩ අත ඇරලා ඉගෙන ගන්න එකට මුල් තැනක් දුන්න ඒ දවස්වල. 



             ඉස්කෝලේ ඇරිලා ගිනි කාෂ්ටක අව්වේ ප්‍රධාන පාරට කිලෝමීටර් එක හමාරක් විතර තියෙන දුර එන්නේ නිලූයි මායි එක කුඩේ යටින්. පුංචි වැවක් පහු කරන් එන්න තියෙන දුර අපි ආවේ මීටර් සීයක්වත් දුර නැති ගමනක් විදියට. ඔය විදියට ගිහින් ඕලෙවලුත් කළා. මං මාසයක් විතර ඒ ගෙදර ඉඳලා අපේ ගෙදර ආවා. ආයේ ගියෙ රිසාල්ට් බලන්න. ඒ වෙනකොට නොහිතපු දෙයක් සිද්ධ වෙලා තිබුණා. නිලූ ජීවිතය වරද්දගෙන. ඒ කිව්වේ කොල්ලෙක් එක්ක පැනලා ගිහිං. එහෙම සම්බන්ධයක් ඔච්චර යාළුවෝ වෙලා අපිවත් දැනන් හිටියේ නෑ. සමහරවිට මාස දෙක තුනක ලව් එකක් වෙන්න ඇති. හැබැයි නිලූට ගෙදරින් ඉස්සර ඉඳන්ම වැඩි සැලකිල්ලක් නෑ කියන එකනම් අපිටත් තේරිලා තිබුණේ. සමහරවිට ඒක වෙන්නත් ඇති ගෙදරින් යන්නත් හේතුව. 



          දැන් බලනකොට අපි දෙන්නා අතර යාළුකමකට වඩා දුර සම්බන්දෙකට අවශ්‍ය ගැලපීම් වගේම නොගැලපීමුත් තියෙනවා කියලා හිතුනට හිමි උන ආදරේට වඩා අහිමි උන ආදරේ තාමත් හිත පාරවනවා. වෙලාවකට හිතෙනවා කවදාහරි දවසක එයා මං ගාවට ආවොත් කියලත්.



හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....
නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....



      තවත් වෙලාවකට හිතෙනවා කොච්චර බහුසෘත කියෙව්වත් මාත් මේ සමාජයේම එක පුද්ගලයෙක් විතරක් නේද කියලත්.

Wednesday, July 3, 2013

මී අඹ වනයේ ගී හඬ පතුරා..... (කොල්ලන්ට විශේෂයි)


"මී අඹ වනයේ ගී හඬ පතුරා
                කාවද අමතන්නේ......"


              එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬ ගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මත තාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. 

                   කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලට යටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප් රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත, රේඩියෝ චැනලයෙන් කැසට් පීසයටද පසුව පරිගණකය හරහාද රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවම කරමිනි.

                මෙකල ගීතයේ කොටසින් කොටස පටිගත කලද හරියාකාරව ගායනා කර ගැනීමට නොහැකි ගායකයින් සිටිද්දී කිසිම පෙරහුරුවකින් තොරව පළමු වතාවෙන්ම නව ගීතයක් පටිගත කිරීම සඳහා හඬ දායකත්වය ලබා දුන් ගායකයාගේ පුරාජේරුව පවසන තාත්තාගේ හඬ ඒ කනින් ඇතුල්ව මේ කනින් පිටව ගියේ ඔළු ගෙඩියේ ඇති පුස්ස මොනවට පෙන්වමින්.

ගී හඬ නැවතත් පැතිරෙයි....

"මී අඹ වනයේ ගී හඬ පතුරා
             කාවද අමතන්නේ......"

           දෑස පියා ගතිමි... සිහි වනුයේ ඒ රුවයි. නැවතත්.. නැවත නැවතත් ගී හඬ දෝංකාර දෙයි. සිහි වනුයේ ඇයගේ හඬයි.

"මී අඹ වනයේ ගී හඬ පතුරා
            කාවද අමතන්නේ......"

       දෙසවන පිරී යන්නේ ගී හඬින්ද ඇගේ හඬින්ද යන්න කිසි විටෙකත් නොහැඟෙයි. පියා ගත් දෑසින් යුතු වත කමලෙහි මද සිනාවක් පිරී යන්නේ ආඩම්බරයෙනි.

"ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
                   ඔය හැටි හිනැහෙන්නේ..."

        ලෝකයම පරදා ඇය උරුම කරගත් ආඩම්බරය..... ඒ හා පල නොකෙරෙන තරවටුව...

"මිහි බට දෙවඟන ඇවිදින තාලෙට
                 ඔහොමද ඇවිදින්නේ...."

      කවුරුවත් දකීදෝ’යි නැගෙන නෝක්කාඩු සිත යටින් මගේ කර ගත් ඇගේ ලාලිත්‍යය, ආඩම්බරයෙන් කාට හෝ පෙන්වීමේ උවමනාව...

"ලා නිල් පාටට දිලිසෙන හින්දද
                 ඇස් දෙක නලවන්නේ...."

            ලොවක් දිනූ පෙම්වතෙකුගේ හඬින් මිමිණෙන පද වැල.....

         එදා නොරිස්සූ හඬ සමඟ මෙකල දැහැන් ගතවූ අපූරුව...... පලා ගිය නිදි දෙව් දුව වෙනුවට තුරුලට පැමිණි ඇය.... 


Saturday, February 23, 2013

ඉගෙන ගන්න ආස අයට


          අපි පොඩි කාලේ අපිට ඉගෙන ගන්න, කියවන්න ගොඩාක් අවස්ථාවල් අපේ දෙමවුපියෝ හදලා දුන්නා. මගේ තාත්තගේ විනෝදාංශය තමයි කියවීම. පුළුවන් හැම වෙලේම. ඉස්සර පුංචි පත්තරේ, බින්දු පත්තරේ, විජය පත්තරේ හැම සතියකම ගත්තා. ඒ ලංකාදීපයයි, සන්ඩේ ඔබ්සර්වර් එකටයි අමතරව. සමහරු හිනා උණා. මාස් පඩි කාරයෝ වෙච්චි අම්මයි තාත්තයි අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගනිද්දී පත්තර වලට සල්ලි නාස්ති කරනවා කියලා. සමහර දවස්වලට පත්තරේ ගන්න ළඟම ටවුමට තාත්තා යන්නේ පයින්. කිලෝ මීටර් දෙකක් වෙච්ච ඒ දුර බස් එකේ යන්නයි එන්නයි තරම්වත් මුදලක් පත්තර වලට අයින් කලාම ඉතුරු නොවෙන හින්දා..


           ඔය අස්සේ සාධන, වගේ ශිෂ්‍යත්වය උදෙසා නිර්මාණය උණු පත්තරත් ඊළඟට විදුසර, නව යුගය වගේ එව්වත් දක්වා කාලයත් එක්ක ගමන් කළා. එතකොට සමුදුර, පරිඝණක සඟරාව......

         තාත්තා ඉන්න දවස්වල ඉරිදා පත්තර ඔක්කොම වගේ කියවනවා. විශේෂයෙන්ම තාත්තා පැන්ෂන් ගියායින් පස්සේ. තාත්තගේ රාජකාරි යහළුවෙක් ගන්න ලංකාදීපය, එයාගෙ බෑණා ගන්න රාවය, හිටපු ග්‍රාමසේවක ගන්න සිළුමිණ, ඩොක්ටර් ගන්න ලක්බිම (එන හැම කෙනාම තාත්තගේ හිතවත්තු බවට පත් වෙච්ච නිසා හොඳයි) අපි ගන්න රිවිරයි, සන්ඩේ ඔබ්සර්වර් එකයි. මෙතැනදී කවුරු හරි ගන්න පත්තරේ වෙනස් උණොත් ඒකට හරියන්න අපේ එකත් වෙනස් වෙනවා. ඒත් පාඩුවක් නෑ. සතිය පුරාවටම පත්තර.


               මටත් ඔය කියවීමේ ඉතිහාසය මතක නැති කාලෙක ඉඳන්ම තියෙනවා. එව්වා මතක් කරලා දෙන්නේ ගෙදර කට්ටිය එකතු උණාම මඩකුත් එක්කම තමයි.
      ඒකත් කියන්න එපැයි. ඔන්න දවසක් කොල්ලෙක් ගියාලු තාත්තත් එක්ක ප්‍රධාන නගරෙක පුස්තකාලෙකට. තාත්තා පත්තරේ කියවනකම් මූ පත්තර බලනවලු. ඔන්න එක පාරටම “තාත්තේ තාත්තේ පුත්තකාලේ මූනෙක්” කිව්වලු.  ඒ වෙනකම් මූ හිතන් ඉඳලා තියෙන්නේ බත් කන වෙලාවට අපේ ගෙදරට විතරයි හූණෝ එන්නෙ කියලා. :D


          ඉස්කෝලේ අලුත් පොත් දීපු දවසට ගෙදරට එන්න කණවැල අල්ලන්නෙ අපේ අම්මා. පහුවෙනිදා උදේ වෙනකොට අළුත් පොත් මටනම් අළුත් එව්වා නෙවෙයි. ඔය කියවීමේ පුරුද්ද හින්දම වෙන්නැති අනිත් එව්වො ශිෂ්‍යත්වෙට පන්ති යද්දී (හැබැයි එච්චරම පන්ති මේනියාවක්නම් තිබ්බේ නෑ.) එක පන්තියකටවත් නොගිය මං ඉස්කෝලෙනුත් රෙකෝර්ඩ් එකක් තියලා ලකුණු 172ක් අරගෙන ගොඩ ගියේ. (සාපෙ ගැනත් කියන්න තිබුණත් එක පෝස්ට් එකකට එක නයෙක් හිටියම ඇති කියලා හිතුණා. :D)


          ඉතිං මං මේක ලිව්වේ තාත්තගේ විශේෂ ගුණයක් ගැන කියන්න. ඒ තමයි කියවීමට වගේම ඉගෙනීමට ඇති කැමැත්ත ගැන. තාත්තා ගෙදරට වෙලා ඉද්දි තමයි ඔය ටීවී එකේ දවල්ට යන නුග සෙවණ (අනිත් චැනල්නම් මතක නෑ) වගේ වැඩසටහන් පටන් ගත්තේ. ඉතිං එයාගේ වැඩේ ඕවයේ යන සාකච්ඡාවල සාරාංශය පොතක ලියාගෙන අපිට දෙන එක. ඒකත් පොඩි කාලේ බත් කවනවා වගේ තමයි. කන්න ගියාම, රෙදි හෝදන්න ගියාම ළඟට වෙලා එව්වා ගැන කියනවා. ඒත් කර දඬු උස් මහත් උණාම ඒවා වදයක් කියලා හිතපු වෙලාවල් අනන්තයි. (එහෙම හිතපු පවට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා කියලනම් දන්නවා.) ඒත් තාමත් සමහර වෙලාවට බලෙන් ඔලුවට දාපුවා ඕනි වෙනවා.
තාත්තගේ ඕල් ඉන් වන් පොත්
හොයාගන්න බැරි උණා. ඔක්කොම අම්මා ගාව.
ඉතිං මේ ලඟදි මට හම්බ උණු තාත්තා ලියපු කෙටි කතාවක් මේ.


               අර වැදගත් දේවල් පොතක ලියන කතාවක් මං කිව්වනේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි වචන පාඩම් කිරිල්ලත්. ඩික්ෂනරිය ළඟ තියාගෙන දවසකට නොදන්නා වචන 50ක් පාඩම් කරනවා. ඒ වගේම අපේ හොඳ පිටු ඉතුරු වෙච්ච පරණ පොත් අරගෙන ඒවා ලියලා මතකය අලුත් කර ගන්නවා. මොනවා උනත් එහෙම නොකලත් තාත්තට රැකියා තත්ත්වයත් එක්ක හොඳ ඉංග්‍රීසි පරිහරණය කිරීමේ හැකියාවක් තිබුණා. ඒත් නොදන්නා දේවල් අනන්තයිනේ.


              ඉතිං මෙච්චර දෙයක් කියලා වටෙන්ම ආවේ මේ වගේ ඉගෙන ගන්න ආස අය ඉන්නවනම් අතිශයින්ම වැදගත් සොෆ්ට්වෙයාර් එකක් හම්බ උණා. මේ ගැන දැනටමත් දන්නා ගොඩක් අය ඉන්නවා. ඒත් නොදන්නා එක්කෙනෙක් හරි ඇතිනේ කියලා තමයි මේ ගැන කියන්නේ.

             නාමල් ජයතුංග කියලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් හදාපු ඩික්ෂනරියක්.
    “The Namal Dictionary” හෙවත් “The NDictionary”.

            මේකේ මටනම් හැම ඔප්ෂන් එකක්ම වැදගත්. සිංහල යුනිකෝඩ් වගේම සිංග්ලිෂ් වලිනුත් ටයිප් කරන්න පුළුවන්. ප්‍රෝනවුන්ස් කරන හැටිත් තියෙනවා. ඉංග්‍රීසි-සිංහල වගේම ඉංග්‍රීසි-ඉංග්‍රීසි තේරුම ගන්නත් පුළුවන්. KMPlayer එකෙන් ෆිල්ම් බලද්දී සබ්ටයිට්ල් වල තේරුම බලන්නත් පුළුවන්. ග්‍රෑමර් චෙක් කරන්නත් පුළුවන් (ඒකනම් මාත් බැලුවේ නෑ) තව වැදගත්ම දේ තමයි දවසකට වචන දහයක් දෙනවා පාඩම් කරන්න.


               ඉතිං මේ දිරිය පුතණුවන් මහන්සි වෙලා හදපු මේ ශබ්ද කෝෂය පාවිච්චි කරලා බලලම මොකක් හරි ඒ ගැන එයාගෙ සයිට් එකේම කියන්නකෝ දිරි දීමක් විදියට.  මෙන්න මෙතනින් එයාගේ නාමල් යායට යන්න පුළුවන්.

මෙන්න ලින්ක් එකත්,
http://namalyaya.blogspot.com/2012/12/EnglishSinhalaDictionary.html

Tuesday, February 19, 2013

කට්ටි පැනලා ඉස්කෝල තුනකින්ම චාටර් උණා කියන්නේ....


            අදනම් කියන්න යන්නේ අකමට වෙච්ච චාටර් සිද්ධි ටිකක්. ආගිය කතා එතකොට පියසේන මාමට වගේම බාසුන්නහේලට මඩ ගහන එව්වා එතකොට කවි එහෙම කියා කියා හිටියා මිසක් මං ගැන හැඳින්වීමක් කලේම නෑනේ.  ඕන්එහෙනම් කට ඇරගෙන බලන් හිටිය හැමෝටම.

          මෙව්වා ලියනකොට පිළිවෙල කියන එකට වඩා රසවත් භාවයනේ වැදගත් වෙන්නේ. ඉතිං ඔන්න හොඳ හොඳ එව්වා එළිවෙන ජාමෙට කියලා 3,2,1 පිළිවෙලට ඉදිරිපත් කරන්නම්කෝ.....

------
ප.ලි. සිද්ධි දහසකට එකක් විතර තමයි මෙහෙම උණේ. වරදවා හිතන්නෙපා හැමදාම මෙහෙමයි කියලා. මතකනේ... දාහකට එකයි.
-------

කට්ටි පැනීමේ 3.
        මේක උනේ ඒලෙවල් කරන කාලේ. ඒ දවස්වල පන්තියටම එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා කම්පියුටරයක් ගෙදර තියෙන අය හිටියේ නෑ. ඉතිං අපේ සෙට් එකේ හිටපු අයගේ වැඩි හරිය රජයේ රැකියාවන්වල යෙදුණු දෙමව්පියන්ගේ ළමයි. ඒ කියන්නේ දවල්ට උන්ගේ ගෙවල් සුරපුර වගේ තමයි. ඒ කාලේ පාඩම් කරන්න, “ජීන් ක්ලූඩ් වෑන් ඩැම්”ගේ, “ආනොල්ඩ්”ගේ නැත්නම් “සිල්වියා සෑන්ට්”ගේ චිත්තර පටියක් බලන්න එහෙම සෙට් වෙන්නේ ඔය වගේ ගෙයක තමා.
ඉතිං ඔන්න එදා ඉන්ටවල් එක පහු උනත් එක්කම අපි හය දෙනෙක් විතර බෑග් එල්ලගෙන ඉස්කෝලේ මැදින්ම යනවා නිකං ගෙදර යනවා වගේ. :D (ඒ කාලේ හොරෙන් යනවා කියන එකත් නෝන්ඩියිනේ. අනික ඉස්කෝලේ එක මායිමක් වෙච්ච ගඟේ වතුරත් පතල් වලින් එන මඩ වතුරෙන් පිරිලා හින්දා ඕකෙන් එතෙර වෙන්න කාගේවත් උනන්දුවක් නෑ.)

        ඉතිං ඔන්න ඔහොම යනකොට මෙන්න මූණටම හම්බ වෙනවා කියන්නකෝ අංශ භාර සර්. හුටා..... ඒ මදිවට අන්තිම පීරියඩ් දෙකත් එයාට. මොකක්ද දන්නවද උණේ?

“පුතාලා යනවද? හා එහෙනම් මං හෙට උදේ පීරියඩ් එකෙන්ම අලුත් පාඩම පටන් ගන්නම්කෝ”
             කියලා සර් කියපි. දැන් ඉතිං හැමෝම සර්ට බනින්න පටන් ගන්න එපා නොදකින් කියලා. ඒ කියපු හැටියෙන් (ස්වරයෙන් කියන්නේ ඒකටමද මන්දා) අපිට නොහිතුණු දෙයක් නෑ අප්පා. අයියෝ ඊට පස්සේ බලපු එකේ සිල්වියා ඇන්ටි වෙච්ච මහන්සිය වතුරේ ගියා කියලා දන්නවනම් ආයේ එයා රඟපාන්නෙත් නෑ.


මෙන්න ඊට වඩා චාටර් දෙක.

 මේක ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියන්නම්කෝ..
            මේක උණේ දහය වසරේදී. බදාදට තමයි අපේ ඉස්කෝලේ සමිතිය තියෙන්නේ. ඉතිං එදත් අපේ සෙට් එක (මේක වෙන ඉස්කෝලෙක වෙන සෙට් එකක්) වේලාසන ගෙදර යන්න යනවා. අපේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ඇවිත් මහ පාර පැත්තට එනකොට පල්ලමක් තියෙනවා. ඔය පල්ලමේ අන්තිම හරිය එනකොට අපිට ඇහෙනවා අප්පුඩි හඬක්. නිකං පුරුද්දට වගේ හැරිලා බලනකොටයි දැක්කේ...... අපේ ප්‍රින්සිපල් තුමා...... අප්පොච්චියේ..... ඉතුරු ටික කියන්නත් ලැජ්ජයි ඕයි...... අපේ එකෙක් සින්දුවක් කිව්වා. අනිකා කයියක්. මංතුමා තේරවිල්ලක්.


මෙන්න හම්බ චාටර් එක.
මෙන්න අපේ වගේම තව සෙට් එකක්.

          හ්ම්ම්ම්ම්ම්.... දැන් ඔහෙලා හිතන්නෙ අකමගේ කට්ටි පැනිල්ලේ එක්ස්පීරියන්ස් එක කොච්චරක් කල් කියලද? හුහ් අපි එව්වයේ දීර්ඝ ඉතිහාසයක් තියෙන කොල්ලෝ බොලව්. අනික් එව්වො වගේ නෙවෙයි. පළවෙනි කට්ටි පැනිල්ල තුන වසරේදී.  J හරිය.... තුනවසරේදී.

        එක වසරෙයි, දෙක වසරෙයි උදේ එකොළහ වෙනකොට ඇරුනට තුන වසරේ ඉඳන් හවස එකහමාර වෙනකන් ඉන්න එපැයි. කොහොමත් මං ඉස්සර ඉඳන්ම හවස් වෙනකන් ඉස්කෝලේ හිටියා අම්මා වැඩ ඉවර වෙනකන්.  මායි තව අපේ පන්තියේ කෙල්ලෝ දෙන්නෙකුයි ඔහොම ඉතුරු වෙනවා. අපි ඉතිං දන්න සෙල්ලම් දදා ලොකු අයියලා විශේෂයෙන් අක්කලාගෙන් හුරතල් වෙවී නැත්නම් අම්මත් එක්ක පන්තියට ගිහිං හවස ගත කරනවා.

           තුන වසරට ආවම ඔය මුකුත් කරන්න හම්බ උණේ නෑ. ඔහොම ඉද්දි මායි අරුණයි (කංගාචෝරු - එහෙම කියන්නේ කංගෙක් චප්ප කරපු හින්දා) තව එකෙක් හරි දෙන්නෙක් හරියි ඉන්ටවල් එකේදී සෙට් උණා. අරුණයා කිව්වා ගෙදර තැඹිලි තියෙනවා බොමුද කියලා. අපිටත් ඉතිං වචන දෙකක් නෑනේ. අපේ කල්පනාව තැඹිලි බීලා ඉන්ටවල් එක ඉවරවෙන්න ඉස්සෙල්ලා ආපහු එන්න.

            මුන්ගේ ගෙදරත් වැඩි දුරක් නෑ කියලා කිව්වේ. ඉස්කෝලේ පිට්ටනිය මැදින් ගිහිං වැටෙන් පැනලා වැට මායිමෙන් තියෙන පාර (පාර?) දිගේ ගිහින් වංගු දාලා එකේක අඩි පාරවල් වලට හැරිලා ඔන්න උන්ගේ ගෙදරට සැපත් උණා. ඒක පොඩි කටු මැටි ගෙයක්. ගෙදර කවුරුවත් නෑ. කොටුවට ගිහිං. අපිත් ඉතිං ගේ පිටිපස්සට ගිහින් පිටිපස්සේ හදලා තියෙන වලං මැස්ස උඩ තියාගෙන අරුණයා කපලා දෙන තැඹිලිවල රහ බලනවා. වැඩි වෙලාවක් හිටියෙත් නෑ. ඉන්ටවල් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉස්කෝලෙට යන්නත් එපැයි.

              ඔන්න ඉතිං අපි ආපහු අර පහු කරපු වංගු කෙලින් කර කර ආපහු එනවා. ටික දුරක් එනකොට මෙන්න ඇහෙනවා බෙල් අටක් වදිනවා. අපිත් ෆුල් හොල්මන්. ඉක්මණට දුවලා ගියා ඉස්කෝලේ ගාවට. මෙන්න යකෝ මුන් ගෙදර යන්න ලැස්ති වෙනවා ඈතටම පේනවා. යකෝ අපි ගියාට ආතල් එකක් ගන්න රැඳුනෙත් නෑ. අනික අච්චර ඉස්කෝලේ ගාව තිබුණු ගෙදරට එක බෙල් එකක්වත් ඇහුනෙත් නෑ. මේක හරි අසාධාරණයිනේ අප්පා... කියලා හිත හිතා අපි වැටෙන් පැනලා පිට්ටනිය මැදින් ඇවිත් පන්තිය ගාවට කිට්ටු කළා.


          අපේ පන්තියේ හිටියෙත් ඉස්කොලෙන්ම සැරම ටීචර්. එයාගෙ වේවැල දැකපු ගමන් අපි සෙට් එකම පිට්ටනිය පැත්තට දුවනවා.

ශිෂ්‍ය නායක අයියලා අපේ පස්සෙන් පන්නනවා.

එයාලා අපේ පස්සෙන් පන්නනවා.

අපි දුවනවා.

ඒ අස්සේ මං දුවන ගමන් ඉකි ගහනවා. (අනිත් උන් නම් කොහොමද දන්නෑ)

මං ඉකි ගහනවා. 

ඒ අස්සේ අඬනවා.

අයියලා පස්සෙන් එනවා.

මං දුවනවා.

          කොහොමත් අපේ සෙට් එකෙන් අන්තිමටම තමයි මාව අල්ලගන්න පුළුවන් උණේ. ඉස්කෝලේ කට්ටියම ගාථා කියන එක පැත්තක දාලා දැල් වල එල්ලිලා බලන් ඉන්නවා. ශික් විතරක්. උන්ගේ කැත විතරක්! කූඩුවේ දාපු වඳුරෝ වගේ.

Saturday, February 9, 2013

මළ ගෙදර චාරිකාව


         මීගමුව ගුරු අභ්‍යාස විද්‍යාල සිසු සිසුවියන් උදෑසනම එකා වන්ව සූදානම් වූයේ තම සහෝදර සිසුවෙකුගේ පියාගේ අවමංගලෝත්සවයට සහභාගී වනු පිණිසය. ඒ 1980 වසර විය යුතුය. සූර්යයා අවදි වීමටත් පෙර පිණි පොද වැටෙන සීතලේ තමන් රැගෙන යාමට පැමිණි බස් රථය වෙත පිරිස ගොඩ වූයේ කලකින් නොගිය සුන්දර චාරිකාවක් බවටද චාරිකාව පත් කර ගැනීමේ අටියෙනි.

         සුවඳ හඳුන් කූරු දල්වා ඩෑෂ් බෝර්ඩ් එකෙහි ඇති සිදුරක ගසා තෙවරක් සුක්කානම වටා අත යවා වැඳ රියදුරු තෙමේ රථය පණ ගැන්වූයේ සැහැල්ලු සිතිනි. අද මෙන්ම එදාත් කොලු කෙල්ලන් කොලු කෙල්ලන්මය. සාධු කාරය වෙනුවට බසයේ හඬ පරදමින් ඇසුණේ විහිලු තහළුය. ගීතය. ඝන අඳුර මැදින් ඇද හැලෙන පින්න විනිවිද යාමට තැතනූ ප්‍රධාන විදුලි පහන් ආලෝකය සුළු දුරකින්ම පරාජය බාර ගත්තේය. පීඨ භූමියෙන් පිට වූ බස් රියට බාධාවකින් තොරව මාර්ගය දිගේ යාමට හැකි වූයේ සුළු දුරකි.

      “බරාස්” හඬින් බසයේ තිරිංග තද විය.

          බසයේ ඉදිරිපස රෝදයට යටවී ඒ වනවිටත් අවසන් හුස්ම පිට කර තිබූ කළු බළලාගේ ශරීරය ඉවතට ඇද දැමූ සිසුන් වාහනයේ ටයරයන්ට තබා දොස් යැවීම සඳහා රියදුරු විසින් බිත්තර ගෙන ඒමට සැදු යත්නයද වලකාලූයේ එය සමච්චලයටද භාජනය කරමිනි. තලතුනා රියදුරු කිසි කතාවකින් තොරව බැරෑරුම් පෙනුමක් මුහුණට ආරෝපණය කර ගනිමින් යලි ගමනාරම්භ කලේ විමසිලිමත් දෑසින් මාර්ගයටම දෑස යොමමිනි.

              උදෑසන කාලය නිමවීමට ආසන්නව තිබියදී දකුණු පළාතේ සුන්දර ගම්මානයක් අසලට පැමිණි බස් රිය නතර කලේ දැඩි වර්ෂාව මධ්‍යයේ යටවී තිබූ මාර්ගයේ තව දුරටත් ඉදිරියට යා නොහැකි බැවිනි. එතැන් පටන් පිරිසේ ගමන ගම්වැසි තරුණයන් විසින් සපයා දුන් අඟුල් ආධාරයෙනි. ඒ වන විටත් තමන් යන ගමන ගැන මොහොතකට අමතක කල පිරිස කලකින් ලද හෝ කිසි කලෙක නොලද ගංවතුරේ අඟුල් පැදීමේ ආශ්චර්යවත් අත්දැකීමට මුහුණ දෙමින් උන්හ. මළ ගෙදරට යාමට පැමිණි පිරිස විනෝද ගමනක් බවට පත් කරගත් එම ගමන ඇත්තටම සුන්දර එකක් විය.
මේ නම් පහුරක්...........

            අඟුල් අටකින් මළ ගෙදර පිහිටි ඉසව්වට පැමිණි ඔවුන් කඳු ගැටයක් මත පිහිටි මළ ගෙදරට සහභාගී වී සවස තුන පමණ වනවිට නැවත පැමිණීම සඳහා අඟුල් කරා ඇදෙන්නට වීය. ඒ වනවිට වැස්ස තුරල් කර තිබූ නමුදු ගඟ දියේනම් අඩුවක් නොවිණි.
             අඟුල් පෝලිම බසය පිහිටි ඉසව්ව කරා ඇදෙන්නට විය. ඒ විදුලි රැහැන් මග හරිමින් ජලයේ සැඩ තැන් මග හරිමිනි. පසු පසින්ම ඇදුනේ විසේකාර කොලු කෙල්ලන් පිරිසක් රැගත් ඊටම සරිලන අඟුල් පදවන්නෙකුත් සහිත අඟුලකී. අනෙක් අඟුල් වල සිටි තම නඩයට හූ තබමින් දඟලමින් ඔවුන් සිටි අඟුල ඉදිරියට ඇදුනේ අනෙක්වා පසු කරමින් වේගයෙනි. තුරු හිස් රැසකින් යුත් ගොමුවක් වටා වේගයෙන් වංගුවක් ගත් ඔවුන් නොපෙනී ගියහ. අනෙක්වා තම පාඩුවේ ඉදිරියට ඇදුණි.

              ගත වූයේ සුළු මොහොතකි. වේගයෙන් ඉදිරියට ගිය අඟුල නැවත ආපිට පැමිණියේ සියල්ලන්ම මවිත කරමිනි. එහි හුන් සියල්ලන්ම තෙත බරිත ඇඳුම් වලින් වෙලී සිටියාහ. එම අඟුලෙන් අතුරුදන් වූ සිසුවෙක් හා සිසුවියක් සොයමින් ඔවුන් නැවත මෙසේ පැමිණ ඇත. පිරිසේ විලාප හඬ පලාතම දෙදරුම් කවන්නට විය. ඒ වනවිටත් අඟුල් පැදවූ තරුණයන්ද අන්ද මන්ද වී සිටි හෙයින් ගමේ වැඩිහිටි පිරිසක් විසින් ජල තලය මත පාවෙමින් තිබූ අඟුල් සියල්ලම ගොඩ බිමක් වෙත ගෙන එන්නට කටයුතු ඉටු කලෝය.

                 අඳුර වැටී එන යාමයේදී අතුරුදන් වූ දෙදෙනා ගොඩට ගන්නට ගම් වැසියන්ට හැකි විය. විදුලි කණුවල රැහැන් පමණක් පෙනෙන්නට ජලයෙන් යටවී තිබූ ගම්මානයේ එක් විදුලි කණුවක ඉහළට ආසන්නයෙන් කණුව තදින් බදා සිටි ගුරු පියාද ඔහුගේ කකුලේ එල්ලී සිටි ගුරු මෑණියන්ද ගොඩ ගැනුණේ ජීවිතයේ සිනහව කඳුළක් කිරීමට ගතවන කාලය ඇසිල්ලක් බව සැමටම පහදා දෙමිනි. 

ප.ලි.
  පොඩි වැරදීමකින් විද්‍යා පීඨ කියලා දාලා තිබුණේ. ඒ දවස්වල විද්‍යා පීඨ තිබිලා නෑ. ගුරු අභ්‍යාස විද්‍යාල (Teachers Training Collages) තමයි තිබිලා තියෙන්නේ. ඊළඟට දුරස්ථ අධ්‍යාපන ඒකක. දැන් තමයි විද්‍යා පීඨ තියෙන්නේ.

ප.ප.ලි.
අඟුල යනුවෙන් සඳහන් කර දමා තිබුණේ පහුරක පිංතූරයක් වන අතර එම වැරැද්ද පෙන්වා නිවැරදි කර ගැනීමට උපදෙස් දුන් විචාරකතුමාට මාගේ ස්තූතිය.

ප.ප.ප.ලි.
විචාරකතුමාගේ මග පෙන්වීම යටතේ ලක්ෂිතගේ Blog අඩවියෙන් නිවැරදි අඟුලක පිංතූරයක් ලබා ගතිමි.