වේලාව උදේ 6.55ට විතර. අකමා ඔපීසියෙන් දීපු දඬු මොණරේ එලියට ගත්තෙ අද දවසේ යන්න තියෙන දුර ගැන හිතමින්. යන්න හිටියෙ ගෙදරින් 6ට.
"අඩේ මේකෙ පෙට්‍රල් වැඩ කරන්නෑ බන් 35ක්වත්. යන්න ඉස්සෙල්ලා හදාගෙන පලයන්."
ඊයෙ එන්න හදනකොට ජිම් පප්පා කිව්වා.(අපේ ඔපීසියේ ටෙක්නිකල් ටීම් එකේ ඉන්නේ ජිම් පප්පා, කෝටු කිතයියා, බක මූන්ස් සමග අකමා බව කරුණාවෙන් සලකන්න.)
ඊයෙ එන්න හදනකොට ජිම් පප්පා කිව්වා.(අපේ ඔපීසියේ ටෙක්නිකල් ටීම් එකේ ඉන්නේ ජිම් පප්පා, කෝටු කිතයියා, බක මූන්ස් සමග අකමා බව කරුණාවෙන් සලකන්න.)
ඔන්න ඉතින් උදේ පාන්දරම දන්න කියන ශිල්ප දාලා පෙට්‍රලුත් අඩු කරලා ගමන යන්න පටන් ගත්තා. 100CC උනත් යකා වගේ. ඔය අනිත් ඉන්දියන් කටු වගේ නෙවෙයි. තාක්ශනේ ජපන්. බැලන්ස් එක උපරිමයි. ඉතින් දෙයියනේ කියලා මීටරේ 70 , 80 අතරේ දෝලනය වෙන්න ඇරලා සේද සලුපොටක් වැනි ජැකට්ටුව අතරින් ගලා එන සීතල සුලන් වල පහස විඳිමින් ලොක් එකක් නැති හෙල්මට්ටුවේ පටියත් පටලෝගෙන අකමා යනවා. ගෙවාගෙන ආපු දුර අඟුරුවැල්ලට එනකොට 100ට පොඩ්ඩක් අඩුයි. අත පයේ හිරි ඇරගන්න විනාඩි 5ක් විතර ඉන්නකොට ආයෙත් බොක්ක දන්න ගත්තා. බලනකොට මටත් හොරෙන් යන්න තියෙන දුර මතක් වෙලා.
බුලත්කොහුපිටිය ටවුන් එක පටන් ගන්නකොටම ඔන්න අතක් දික් උනා. දැම්මත් වැඩකරන්නැති හින්දා සිග්නල් නොදමාම නැවැත්තුවා. තඩි බෑග් එක බයික් එක උඩම තියලා හෙල්මට් එකවත් නොගලවා හිමින් හිමින් ගියා ගම් බට්ටා ගාවට. අලුත් කලායින් පස්සේ කාටවත් පෙන්නපු නැති ලයිසොම එලියට අරන් පෙන්නුවා. මූ දැන් එල්ලී එල්ලී කතා කරන්න හදනවා. (බයික් එක WP හින්දද මන්දා.) හෙන්රි අයියට වගේ මටත් පේන්න බැරි ජාතියක් නිසා මාත් හිනාවක් නැතුවම අහපු දේට උත්තර දීලා යන්න තිබුණු Tea Estate එකට පාරත් අහගෙන පිටත් උනා.
දේදුගල පාරට දැම්මත් එක්කම මෙන්න ලොකු බෝඩ් එකක් පින්තුරත් එක්ක. "නළඟන ඇල්ල දුර කි.මී.6යි" කියලා අකුරින් ගහලා. තමන් හදාපු එකක් වගේ අයියා මලෝල සෙට් එක තමන්ගේ මුනත් තහඩු ටිකත් අලෝගෙන ඇල්ලේ පින්තුරෙකුත් දාලා. ඕකත් හිතේ තියාගෙන ඔන්න මං යනවා.
වත්තට ඇතුල් වෙන කොටම තියෙන පාලම උඩ අංකල් කෙනෙක් මාළුන්ට පාන් කවනවා.
"අංකල් ඔෆිස් එකට යන්නේ කොයි පාරෙන්ද?"
පාරේ යන හැම ගෑන් ළමයගෙන්ම පාර ඇහුවත් උන්ව ශුවර් නැති හින්දා ආයෙත් ඇහුවා.
"බලන්න මහත්තයෝ මුන් මෙ අහින්සකයොත් මරාගෙන කනවනේ. කෑම දෙන්න හුරු කර ගත්තාම ඕක තමයි වෙන්නේ"
යන පාරත් කියපු ලොකු උන්නැහේ හිතන්නත් දෙයක් එකතු කරා.
සුද්දගේ කාලෙන් පස්සේ තාර කඳුලක් නොදැකපු ගල් පාරේ කිලෝ මීටර් 3ක් විතර තනි කන්ද නගින්න විනාඩි 45ක් විතර ගියා. ඔය අස්සේ වට පිටාවේ තියෙන චමත්කාරය දෑහින් ඇදල අරන් හිත ඇතුලටම දා ගන්නත් අමතක කරේ නෑ. මීටර් 100ක් දුරින් තියෙන කඩේට යන්නවත් දඬු මොණරේ නැතුව බැරි අපිට බැරි වෙලාවත් අන්තිම ප්‍රධාන නගරෙත් (හුහ්.. ඒකෙත් මොන ප්‍රධානයක්ද?) පහු කරලා 6KM විතර ඇවිත් ආයෙත් හද්ද පාලු කැලයක් මැදින් 3KM විතර එන්න උනානම් දැනෙන සැප ගැන සිහි කර කර අදාළ රාජකාරිය ඉවර කරලා වත්ත ඇතුලෙම තියෙන ඇල පාරක සිරියත් නරඹලා පාරට ආවා.
"නළඟන ඇල්ල"
ඉස්සුවේ මෙතනින් |
ඔන්න ආයෙත් පිස්සුව.
කොහෙද ඉතින් සනීප කරන්නත් එපැයි. ගියා හොයාගෙන. 6යි කිව්වට හත්වෙනි කිලෝමීටර් කණුවට මීටර් 20ක් විතර මෙහායින් කැලේ වැවිච්ච ගුරු පාරක් තියෙනවා. හුහ්.. ඒ පාරේ විදුලි බලාගාරෙකුත් තියෙනවලු. ඔන්න එහෙව් පාරක් තමා මේ. 100ක්-200ක් විතර යනකොට ලොකු ගේට්ටුවකින් පාර ඉවරයි. ආයෙත් එනකොට අඩි පාරක්. අහන්නත් කෙනෙක් නැති හින්දා ඕන රෙද්දක් කියලා වීරයා වගේ ගියා. (නොදන්නා පලාතක කැලයක් මැදින් අඩි පාරක යනගමන් මටම බැන බැන.)
හුටා.....
මෙන්න පොඩි ගෙයකට අල්ලලා තියෙන සරසපු මඩුවකින් පාර ඉවරයි. (එතන ගෙයක් තියෙනවා දැක්කෙත් මඩුව අස්සෙන්) මඩුව ඇතුලෙ කොල්ලො සෙට් එකක් කුට්ටමක් දිග ඇරගෙන බෝතලේකට වග කියනවා. බලනකොට මගුල් ගෙයක්. මගෙ වෙලාවට මගුල ඉවර වෙලා. (නැත්නම් කපලා එකයි.) මඩුවට අඩි 10ක් 15ක් විතර මෙහායින් බයික් එක නවත්තගෙන ඇල්ලට පාර ඇහුවා.
"මේ තියෙන්නේ මල්ලි"
යකෝ වහලෙට උඩින් ලොකුවට පෙන්නේ ඇල්ලනේ.
"බයික් එක ඔහොම දාල යන්න මල්ලි. මෙතනින් තමයි යන්නේ."
අඩිය මතුවෙනකොට ඇතිවෙන ගොතෙත් එක්ක යෝජනාවක්.
නොදන්නා පලාතක්. පාලු කෑලෑවක්. නොදන්නා බීමත් තරුණයන් පිරිසක්. ඒ මදිවට කෑ ගැහුවත් ඇහෙන්නැති ඇල්ලේ සද්දෙ. අඩි පාරෙන් ගුරුපාරට එතනින් තාර පාරෙත් 2KM විතර ගියාම තමයි ගෙයක්වත් හම්බ වෙන්නේ. (මතක හැටියට කිව්වේ ඕන්. වැරදිනම් කියන්න)
මොකක්ද තීරණේ.......
ලබ් ඩබ්.. ලබ් ඩබ්..
ගියත් අවුලක් නෑ කියමුකෝ. ඒත් මෙහෙම සෙට් එකක් මැද බයික් එක. ගෙවන්න උනොත් පට්ට ගහපු එකකට අලුත් එකක ගාන. (ඔහොමනෙ කොම්පැණි)
ලබ් ඩබ්.. ලබ් ඩබ්..
"පස්සේ එන්නම්"
ට්රූම්.....
ඔන්න වීරයා! ආයෙත් එනකොට කෝටු කිතයියවවත් එක්ක එන්න ඕනි කියලා හිත හිතා ඔන්න අකමා ආපහු ගමනේ යා.
තව වතු දෙකක රාජකාරි කටයුතු නිම කරපු අකමා ශෝර්ට්කට් හොයන්න ගිහින් රබර් වතු මැදින් කිලෝමීටර් 5-6 විතර කරක් ගහලා ආයෙත් දන්නා පාරෙන්ම ආවා. දැන් කට්ටිය හූ තියන්න කට උල් කරනවා නේද? හුහ්.. මට පාර වැරදුනේ නෑ යකුනේ. පාර හරහා ලොකු කොට දාල කොන්ක්‍රීට් කරනවා. මග කිසිම බෝඩ් එකක් නෑ. ඒත් ඉතින් නගරේ පැත්තට මිසක් රබර් වත්තකට මොන බෝඩ්ද? නෙහ්. ඉතින් මුවා වෙන්නවත් තැනක් නැතුව වැස්සකටත් තෙමීගෙන ආවා.
ආයෙත් නුවර පාරට දාගෙන අවිස්සාවේල්ලට ඇවිත් කාපට් එකේම බදුල්ල පැත්තට හැරුණා. කොච්චර වේගෙන් ආවත්, වාහන මිටි බැඳන් ඉස්සර කලත් පේන්නැති වංගු වලදී ඉස්සර කරන්නනම් මං කොහොමත් යන්නෑ. මගේනේ අත පය. ඉරි කපන්න ඉස්සරත් දෙපාරක් හිතනවා. ඔන්න ඇහැලියගොඩ පහු උනා. වැස්සකට පැය බාගයක් විතර ඉඳලා පොදේම ආවා. රත්නපුරේ පහුවෙලා තුන්වෙනි කන්ද නැග්ගා. එතන ගාමන්ට් එක ඇරලා හින්දා ට්‍රැෆික් එක. ලොරි, බවුසර්, බස් බඩගානවා. තෙමුණු සපත්තු, කමිසේ, කලිසම, ජැකට් එක ගෙදර මව මවා පෙන්නනවා. වමෙන් දකුණෙන් අස්සෙන් රිංගමින් අකමා යනවා. කන්ද මුදුනේදී වාහන පෝලිම ඒත්. මුන්ට යන්න බැරිනම් මමවත්....
මිටියක් බැඳලා එක පාරින්ම දානකොට මාව දැකපු එකෙක් එක පාරටම කලබල උනා. අනිත් පැත්තෙන් එන උන් ගැනවත් හිතන්නැතුව පාර මැද්දේ සුදු ඉරි දෙක උඩටම පැනපු එකෙක් මහා හයියෙන් විසිල් එකකුත් ගහගෙන අත දික් කරනවා. පූසා ලස්සනට මීයා ඇල්ලුවා. කඩාගෙන යන්නත් බෑ අත දාපු විදිහට. මොනා කරන්නද. ඩබල් ඉර පටන් ගන්න තැන සිග්නල් නැතුවම නවත්තලා ටිකක් හති ඇරලා ගියා අනික් රාලහාමි ළඟට. කිරි ටොයියා වගේ තියෙන අලුත්ම අලුත් ලයිසොම අතට ගත්තා. දුන්නා. අනික්වා තියෙනවද බැලුවෙත් නෑ.
"මොකක්ද සර් වැරැද්ද"
තෙමිලා තෙමිලා හෙම්බත් වෙලා හිටපු අකමා මේ වෙච්ච අකරතැබ්බෙන් මල පැනල හිනා පොදක්වත් නැතුවම ඇහුවා.
"අතන කහ ඉරයි සුදු ඉරයි දෙකම ඔයා කපාගෙන ආවේ"
"එතන ත්‍රීවීල් එකක් ආවේ. ඉර කපන්නැතුව ඕවර්ටේක් කලේ"
අන්තිම තුරුම්පුව.
"නෑ නෑ "අන්න අරයකා දාපු දැමිල්ල" කියාගෙනමයි මේ රාලහාමි අත දැම්මේ"
දැන් ඉතින් කියපියව්කෝ. නොකර සද්ද අකමාත් ඉන්නවා. ලොක්කත් දැන් යට ඉඳන් ලියාගෙන එනවා.
"දැන් ලිව්වේ මොකක් කියලද"
මල පැනපු වොයිස් එකෙන්ම මං තදින් ඇහුවා.
එහෙම ඇහුවේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ හින්දා. කහ ඉර කැපීම, සුදු ඉර කැපීම, අපරක්ෂාකාරි ධාවනය, වමෙන් නොපැදවීම, සිග්නල් නොදමා ඉස්සර කිරීම, සිග්නල් නොදමා නැවත්වීම... තව කොච්චරක්ද?....
වමෙන් නොපැදවීම.
වෙලාවට ඒක විතරයි ලිව්වේ.
වතුර පිරුණු සපත්තුව චිරිචිරි ගාද්දී අකමා පාර පැන්නේ හෝන් ඒක ගහගෙන ඩබල් ඉර කපාගෙන ආපු සැප වාහනේට යන්න ඇරලා.
--------------------------------------------------
කොච්චර බැන්නත් මේ අයත් කරන්නේ රාජකාරියනේ. අනික අපේම හොඳටනේ.
ලස්සන චාරිකාවක්.. අකමා මොන අංශයක වැඩ කරන එකෙක්ද ? මට හිතුනෙ නිකන් වතු සුපිරෙන්ටන්ඩන්ට් කෙනෙක් වගේ කියලා..
ReplyDeleteමොන SDද සෙන්නා අයියේ. මං පරිගණක අංශයේ තාක්ෂණික ශිල්පී කියන තනතුර හොබවන්නෙක්. කැඩුනම හදන්න යෑම නැත්නම් මාස කීපයකට වතාවක් ගිහිල්ලා ලෙඩ දුක් විමසලා පොඩ්ඩක් පිහදාල කරලා එන එක තමයි මගේ රාජකාරිය.
Deleteහව්වෝ... පෝස්ට් එක දැන් කියවන්ට බැරියෝ... වෙලාව තියෙන වෙලාවක ආයෙත් ඇවිත් කියවන්නම්කෝ... ජය වේවා...
ReplyDeleteආයේ ඇවිත් යන්ඩ එන්ඩෝ...
Deleteඅලුත් මල්ලිගෙ අලුත් කවි මේකර් සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරලා බලන්න ඕනි.
ජය වේවා!!
හම්! එල මචං! මොනා උනත් එල ටුවර් එකක් ගියානේ බං!
ReplyDeleteමොනා උනත් සුන්දර වටපිටාවක, අලුත් පරිසරයක යද්දී මන්සිය පොඩ්ඩක්වත් දැනෙන්නෙ නෑ. ළඟදීම ඇල්ලේ විස්තර දාන්න ට්‍රයි කරන්න ඕනි. අන්න එදානම් එල ටුවර් එකක් වෙයි.
Deleteජයම වේවා!
ඇත්තටම බං AKM ඔය දඩ කොලේ ලියන එක හරිම මිස්ටරි එකක්. හුඟක් වෙලාවට ලියලා තියෙන්නෙ කරපු වැරැද්ද නෙවෙයි. සමහර වෙලාවට ලියලා තියෙන වැරැද්දට ගහපු දඩේ, කරපු වැරැද්දෙ දඩේට වඩා අඩු වුනාම කට වහගෙන නිකං ඉන්නවා. සමහර වෙලාවට ඒ සමාන දඩයක් නියමිත වෙන හීනෙකින්වත් හිතපු එකකට ටික් එක දාල ඒක ගෙවන වෙලාවල් තියෙනවා.
ReplyDeleteඅර ඇල්ල නම් මාර ගති නේ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒකනම් ඇත්ත හෙන්රි අයියේ. මං මුලින්ම දඩයක් කෑවේ බයික් පදින්න පුරුදු වෙලා දවස් 6යෙන්. මොනරාගල යන්න වෙලා. මාමට කියලා දන්න රාලහාමි කෙනෙක්ගේ මාර්ගයෙන් "නො:තහඩුව නිසියාකාරව නොමැති වීම" යටතේ රු.100ක දඩයක් ලියා ගත්තා. ඔන්න මගේ ටෙම්පරි ලයිසොම.
Deleteඅද තමයි ඔය දඩේ ගෙව්වේ. ඇල්ල නම් මාර ගති. ඒත් ළඟටම ගිහින් බලන්න බැරි උන එක තමයි දුක.
තව ෆෝටෝස් ටිකක් එකතු කළා නම් හොඳයි ඕන්
ReplyDeleteෆොටෝ ගන්න මට යන්න උනේ නෑ හසිත. ආයේ ගිය දවසක දාන්නම්කෝ.
Delete