Thursday, September 20, 2012

නාඹර ගැටිස්සියක් ලෙස නුඹ ගැන සිතුවානම්

උකුලට ගෙන  නැල වූ නුඹ         පණට සම
තුරුලට ගෙන  සැනසූ මල         දෙවා පෙම
සුරතින් ගෙන  එක්කරගෙන      ගිය ලෙසම
මග වැරදුනේ   කිමදැයි මට        කියන් නුඹ

පෙන්වා මග හසර    බාලේ          සිට නුඹට
වැටුනා පස්සෙන්ම   යන එන     තැන් වලට
සෙවනැලි දෙකක් විය  මාපියො,  හට නුඹට
කිමදැයි කඩා බිඳ දැමුවේ             උන් වලට

ඉහලට ඉගෙන ගත්තේ අප        පැතු ලෙසට
අප හැර ලොවක් නැත තිබුනේ    ලෙස අපට
සැමදා අපට සිටියේ පොඩි          කෙල්ලක්ව
නොසිතුව එකයි නුඹ පැත්තෙන්     අප නුඹව

නුඹ නැග ගියා ඉගෙනුම් ලොව    හිනි පෙත්තේ
දොර ඇරුණා කූඩුවෙ නුඹේ           හිටි අඩියේ
ආදර සීනුව හැඬුවා දොර                ඉස්මත්තේ
ඇයි මගෙ පැටියො ඇරියේ දොර   හිතු මත්තේ

පෙම් ලෝකයේ දොරගුළු නුඹ         හැර දැමුවා
ඒ අවසරෙන් කොටියෙක් නුඹ    ඩැහැ ගත්තා
බිව්වද අනේ කඳුලැලි    මගෙ          මුව පැටියා
පෙම් මාලිග රා ගින්නෙන්                ගිනි ගත්දා

නාඹර ගැටිස්සියක්  ලෙස නුඹ ගැන    සිතුවානම්
ඉගෙනුම පසෙක ලා මගෙ තුරුලට      ගත්තානම්
කාසිය ඉවත ලා නුඹ ගැන                 සෙව්වානම්
මගෙ රන්කඳ තව චුට්ටක්                   රැක්කානම්

නැත නුඹ ගියේ කොහෙවත්  මිස      අපට වැඳ
දඟ පෑ දෑස කෝ නුඹේ ගොලු            වෙලා අද
අම්මා අප්පච්චි හඬවා හිතු                මතයෙ අද
කීම මගෙ දෙයියො! යන්නේ කර     මතින් නුඹ

4 comments:

  1. හයියෝ AKM මේක පොඩ්ඩක් හරි සත්‍යයට ආසන්න දෙයක්ද? අත්දැකීමක්නම් නොවේවායිකියලා ප්‍රාර්ථනා කරනවා. AKM, පොඩි හින්ට් එකක් දෙන්නද උඹට? මෙච්චර ලස්සන නිර්මාණය අපි කවුරුත් දැකලාවත් කමෙන්ට් කරලාවත් නැත්තෙ ඇයි කියලා මම හිතුවා. මෙන්න අහපං. මම නම් බ්ලොග් වලට යන්නෙ බ්ලොග් රෝල්වල දැක්කාම මිසක් ගූගල් රීඩරේවත්, සින්ඩි වලින්වත් නෙවෙයි. ඉතින් බ්ලොග් රෝලක තියෙන කොට ටක් ගාලා ඇහැ යනවා මොන මගුලක් හරි පින්තූරක් තිබ්බා නම්. ඇත්තටම පින්තූර වැලක් අස්සෙ අකුරෙන් විතරක් තියෙන බ්ලොග් එකක් මග ඇරෙන එක ඒ හැටි වැඩක් නෙවෙයි නේ?
    මේක ඇත්තෙන්ම හිතට වදින නිර්මාණයක්, AKM!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන ගොඩාක් සතුටුයි හෙන්රි අයියේ,
      මං දාපු පොස්ට් වලින් ගොඩාක්ම ආසාවෙන් දාපු පොස්ට් එකක් මේක.මේක පැල්මඩුල්ලේ ඉඳන් ඇඹිලිපිටියට යනකන් බයික් එකේ පිටිපස්සේ ඉඳන් ෆෝන් එකේ කොට කොටා ගියේ. පස්සේ එඩිට් කරලා අදහස් ගලපලා දැම්මේ.

      ඔයා දීපු උපදෙස හරියටම හරි. මං මේකෙන් පස්සේ දාපු හැම පොස්ට් එකකටම ෆොටෝ එකක් දැම්මා. වැඩේ ගොඩ. ඒත් මේකට මොන වගේ එකක් දාන්නද?

      මේක මගේ අත්දැකීමක් නොවුනත් මගේ හිතේ කාලයක් (අවු.10ක් විතර) හොල්මන් කර කර තිබුණු ලංකාදීපේ කතුවරියක් එයාගේ මියගිය දුව වෙනුවෙන් ලියපු "අහිමි දුවට ලියන ලියුම්" (නම හරිද මන්දා) කෘතියේ අදහස් පාදක උනා කියලනම් කියන්න ඕනි.

      Delete
  2. හොදාත ඩු‍ඩෙගේ අදහස් වටිනවා. මටත් එකක් කියන්න ඕන මේ අකුරු ලොකුවට දාන්න. එතකොට බලන එක පහසු වෙනවා. නැතිනං පටන් ගන්නෙම අයියෝ කියල. ඔය කවි වල ටැබ් තියන කරමේ ඩුඩෙ දන්නවා මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. අලුත් මල්ලි ගැජට් එකක් හදලා තියෙන්නේ. මන් හිතන්නේ දේශකයා කියන්නේ එක ගැන වෙන්නැති. හෙන්රි අයියා කියන්නේ අපි වගේ අලුත් එව්වන්ට ලොකු හයියක් දේශකයා. ඒ ගැන කියන්න වචන නෑ.

      Delete