පුංචි කාලේ මගේ හිතේ තිබුනේ තාත්තා වගේ කෙනෙක් වෙන්න. මොකද ඒ කාලේ මගේ ලෝකෙ හිටපු වීරයා තාත්තා. ඒ හීනේ එහෙම්මම තියාගෙන ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඔය කාලේ වෙනකොට අපේ රටේ යුද්දෙත් ටිකක් සැරට ගිය කාලයක්. රෑට ප්රවෘත්ති බලනකොට පෙන්නන්නේ මැරිච්ච කොටි පෝලිමට තියලා සුදු රෙදි වලින් ඔතලා තියෙන දර්ශනයි, අල්ලගත්තු ආයුධ පෝලිමට තියලා ගල් රෝලකින් කුඩු කරන ඒවයි තමයි. ඉතින් සොල්දාදුවා කියන චරිතේ මගේ හිතේ හොඳට කාවැදිලා තිබුණා. නිකම්ම නිකං සෙබළුත් නෙවෙයි, ගුවන් හමුදා සෙබළු තමයි මගේ වීරයෝ. ඔය අස්සේ ඉස්කෝලේ මිස්ලා සර්ලා අහනකොට කවුරු වෙන්නද කැමති කියලා එකෙන්ම පැනලා දෙන්නේ මොන උත්තරේද කියලා දන්නවානේ.
![]() |
මේක ගත්තේ... |
ඔය අව් අස්සේ මගේ නමේ පරහක් ආවා. ඕකේ දිග පළල තරු වල දිග පළලට හරියන්නේ නෑ කියලා එව්වට හරියන නමක් දැන් කස්ටිය හොයනවා. හුහ්.. උන්දැලට විතරක් මහන්සි වෙන්න දෙන්න පුලුවනෑ. මංම එපායැ මගේ නම හොයාගන්න.
මුලින්ම තිබුනේ "ධනුෂ්ක <Middle name><Surname>"
පුංචි අකමා ගේමට බැස්සා. එතකොට 2 වසරේ නැත්නම් 3 වසරේ. දැම්ම නමක්.
"ගුවන් <Middle name><Surname>" කොහොමද නමේ ලස්සන? රයිමින් එකත් හරියටම හරි. එකෙක්වත් ගණන් ගත්තේ නැති උනාට මං මක්කොරන්නද? මගේ පරණ පොත් අදිද්දීත් මුල් කවරේ ඔය නම ලස්සනට ලියලා තියෙනවා හකුරු වගේ අකුරින්.
ඊ ළඟට ලොක්කෙක් වෙන්න හිතාගෙන පහේ සිස්සත්තේ ගොඩ දාගෙන ගියා ලොකු ඉස්කෝලෙකට. අකමා ෆුල් මඥන්. තැනින් තැන තිබුණු හෝල් වෙනුවට ගිනිපෙට්ටි ඇහිරුවා වගේ ළඟ ළඟ බිල්ඩින්. ඒ මදිවයැ. ඒවත් තට්ටු පිට තට්ටු. ඒ කාලේ ඉස්කොලෙටම සුදු සපත්තු දාන කිහිප දෙනාගෙන් එකෙක් වෙච්ච අකමා අලුත් ඉස්කෝලේ නිකංම නිකං සුදු කැන්වස් සපත්තු දාන කීප දෙනාගෙන් එකෙක් උණා. එහෙදි හිටපු මිස්ලා මෙහෙදී ටීචර් වෙලා. අනාගත බලාපොරොත්තු "Future ambition" වෙලා.
හතර වෙනි පීරියඩ් එක ඉවරවෙනකන් අකමා ඉස්සර බලන් හිටියේ මොනවා හරි කොටාබාන්න. එතකන් ඉන්න බැරිනම් දුවලා ගිහින් අම්මගේ සාරි පොටේ එල්ලිලා කන්න දෙයක් ගන්න එක හරි, කැන්ටිමට දුවලා අම්මගේ නම විකුණලා මොනා හරි කටේ ඔබන් දුවන එක හරි සාමාන්‍ය දෙයක්. ඒත් ලොකු ඉක්කෝලේ පස් වෙනි පීරියඩ් එකට පස්සේ තමයි ඉන්ටවල්.
ඔන්න ලොකු ඉස්කෝලේ ෆියුචර් ඇම්බිශන් අහනකොට මං කිව්වේ සෙබලෙක් වෙනවා කියලා. පන්තියේ උන්ගේ නෝන්ඩි හිනා අස්සේ අන්තිමේදී අපිට ලැබුන උපදෙස් උනේ දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න. ටික කාලෙකට පස්සේ උපදෙස් ලැබුණා රටට වැඩදායී යහපත් පුද්ගලයෙක් වෙන්න කියලා. ඕක අපි ගිරව් වගේ කටපාඩම් කරගෙන අහන අහන හැම එකාටම පොර වගේ කෙලලා ඇරියට ඕකේ හරි තේරුම දැන ගත්තෙත් පස්සේ.
ඉතින් ඔහොම යද්දී වතාවක් කකුල පැටලිලා වැටුණා. මං නැගිට්ටා. ආයෙමත් වැටුණා. දැන් ආයෙමත් නැගිටින ගමන්. ඒ කාලේ බලාපොරොත්තුවෙන් හිටි සොල්දාදුවාවත්, දොස්තරවත් වෙන්න බැරි උණා. ඉංජිනේරුවෙකුත් වෙන්න බැරි උණත් අරෙහෙන් මෙහෙන් කෑලි අමුණන් වැඩ කරන්න දන්න හින්දා තාක්ෂණ ශිල්පියෙක් වෙන්න වරම් ලැබුණා. හැබැයි අර අමාරුවෙන් තේරුම හොයා ගත්ත වාක්‍යයේ රටට වැඩදායී කෙසේ වෙතත් කාටවත් ණයත් නැති, බයත් නැති, කරදරයකුත් නැති එකෙක් උණා කියන එකනම් ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඒකත් ඉතින් මම මං ගැන හිතන හැටි මිසක් අනික් උන් මං ගැන මොන විදියට හිතනවද කියලා කවුද දන්නේ. නෙහ්.. :D
රටට බරක් නොවෙන්නනම් ඉතින් අපි මුලින්ම පටන් ගන්න ඕනි දේශීය දේවල් අගය කරමින්. (හෝව් හෝව් දැන් දේශීය දේවල් අගය කරන්න කියලා කැලෑ අස්සේ රිංගන්න යන්න එපා) ඕක අගයන්නත් ඉතින් නිකන් බැහැ නෙව. ආකල්පමය වශයෙනුත් වෙනසක් වෙන්න ඕනි. සුද්දගේ දේවල් හොඳයි කියා කියා හිටියොත්, අපේ මුතුන් මිත්තෝ වගේ අපිට බෑ කියා කියා හිටියොත් වලේම තමයි. දැන් බලන්න අපේ රටේ ඕන තරම් පොල් ලෙලි තියෙනවා. ඒත් අපේ උන් සෝබනේට ගන්නේ ප්ලාස්ටික් කෙඳි තියෙන කොහු. වැලි කැට මග හල හලා සුද්දට පින් දිදී අතුගානවා.
බිත්තරයි බටරුයි සුද්දගේ පිටියි දාගෙන අතේ ජොයින්ට් ගෙවෙනකන් කේක් බීට් කරනවා. ඊට පස්සේ ඒවා ගිලලා කොලෙස්ටරෝල් ෂුගර් කියා කියා නහිනවා. අර යසට තියෙන අඹ අන්නාසි අමතක කරලා ඇපල් ගෙඩි කනවා. කැප්පෙටියා කොළ අමතක කරලා වහ බෝතල් කුඹුරට වක් කරලා තමුන් ලෙඩ වෙනවා මදිවට ඇලේ ඉන්න මාළු ටික මැඩියෝ ටික විනාශ කරනවා. බත් කූරෝ සමනල්ලු මරාගන්නවා.
දෙයියනේ කියලා අපේ රටේ දේශීයව නිෂ්පාදනේ කොරන සංස්ථා ටිකකුත් තොල ගාගෙන "සුද්දා අපිට පුරුදු කරපු බීම" ගැන ආදීනව කියා කියා හවහට සෙට් එක මැද පණ්ඩිතයා වෙනවා. ඒත් පොඩ්ඩක් හිතුවොත් ඔය දේශීය පානේ සුද්දට කලින් අපේරටේ තිබුන්නැද්ද? එකම වෙනස සුද්දගේ නීතියෙන් ඕවට තියෙන "ලජ්ජා බය නැති කරපු" එහෙමත් නැත්නම් ඉස්සෙල්ලා ඇඳ යටට රිංගලා බීලා කට පිහදාගෙන එන එකා වෙනුවට පොඩි එකාගේ බර්ත්ඩේ එකට පොඩි එකාව උකුලේ තියාගෙන බෝතල් හිස් කරන සමාජයක් බිහි කරපු එක විතරයි.
මම ඇමෙරිකන් විරෝධී ෂෝ කාරයෙක් නෙවෙයි. ඒත් අපේ රටේ දේවල් වලට මුල් තැන දීලා අපේ කමට මුල් තැන දීලා රටට බරක් නැති, සිංහල කමට බරක් නැති මනුස්සයෙක් කියන එකනම් කියන්න පුළුවන්. ඒ කාලේ පොඩි පොඩි බලාපොරොත්තු ලොකු වෙනකොට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනත් අන්තිමේදී සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා.
ඉතිං,
ලබන්නා වූ 2013 අලුත් අවුරුද්ද
රටට බරක් නැති
රටට ණයක් නැති
රටට දැයට වැඩදායී
යහපත් පුරවැසියෙක් වේවා!
කියලා ඔබ සැමට සුභ ප්‍රාර්ථනා කරනවා.