Sunday, July 28, 2013

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....


 සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ......

වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ...

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....

නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....




              ඒ 1997 අවුරුද්ද විතර වෙන්න ඇති. ඔය කාලේ තමයි මේ ගීතයත් එක්ක තව ගීත පහක් විතර ඇතුලත් TDK නයින්ටියක්  (TDK 90) හම්බ උණේ. TDK 90 කියන්නේ කැසට් එකක්. අපේ භාෂාවෙන් කියනවනම් කැසට් පීස් එකක්.  TDK කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන විනාඩි අනූවක් රෙකොර්ඩ් කරන්න පුළුවන් පීස් එකක්.  අයියනම් කිව්වේ මේක ඉන්දික ප්‍රසාද්ගෙන් හම්බ උණා කියලා. මටනම් හිතෙන්නේ එහෙම උණත් ඒ ආශ්‍රය දවසකට දෙහෙකට වැඩිය තියෙන්න නැතුව ඇති. නැත්නම් ඉතිං මගේ කන් දෙක මේ තරම් හොඳට ඇහේවියැ. කොහොම උණත් ඔය පීස් එක දාගෙන අපි ඉන්නේ ටිකක් උජාරුවෙන්. මොකද අනික් අය ගාව නැති ඇල්බම් එකක් අපි සතු වෙනවා කියන්නේ ගෙදරට ඉල්ලන් එන අය වැඩිවෙනවා කියන එකනේ. අනික ඔය කාලේ මාත් අයියගේ නැට්ටේ එල්ලිලා කීබෝඩ් පන්ති යන දවස්. ඉතිං කීබෝඩ් එකක් යාන්තම් ටාං ටාං ගාලා කොටාගන්න පුළුවන් කියන්නෙත් ඒ කාලේ හැටියට ලොකු දෙයක්නේ.



               ඔය කාලේ තමයි අකමා ට්‍රැක් එකෙන් පිට පැන්නේ. ඉස්කෝලේ එපා වුණේ. ඒ වගේම ගෙදරත්. ජීවිතයත්. මැරෙන්න ක්‍රම හොය හොයා හිටපු කාලයක් ඒක. මැරෙන එක, එක පාර මැරෙන්නත් එපායැ. ඉතිං එකක් බැරිනම් එකක් විදියට බැකප් ප්ලෑන්ස් කීපයක්ම තිබුණා.


             
ගහක ටිකක් උස අත්තක් යට පිහි ටිකක් උඩ අතට වෙන්න හිටෝලා ඒ ටික වැහෙන්න ගිනි ගොඩක් ගහලා ගහේ අත්ත උඩට ගිහින් වහ බෝතලයක් බීලා අරකට පනින එක. එහෙමත් නැත්නම් අපේ ගඟේ මැද තිබුණු ලොකු ගල උඩට නගිනවා අමාරුවෙන් උස්ස ගන්න පුළුවන් ගල් දෙකක් අරගෙන. එකක් කකුල් දෙකේ ගැට ගහ ගන්නවා. අනික බෙල්ලේ එල්ල ගන්නවා. ඊළඟට පිහියෙන් බඩට ඇනගෙන ඇනගෙන ගිහින් වතුරට වැටෙනවා. මිනියත් නෑ. :D



        තවත් ඔය වගේ සිම්පල් ප්ලෑන් කීපයක් තිබුණා. වැදගත්ම දේ තමයි ඔච්චර ප්ලෑන් ගහපු එකාගේ වයස 12යි. ඕක ක්‍රියාත්මක කරන්න බැරි උනේ වෙන මුකුත් හින්දා නිසා නෙවෙයි. අවුරුද්දේ මාස දොළහම එක එකා බෙදාගෙන හිටපු නිසයි. මැරෙන්න හදනකොට ඔන්න නංගිගේ බර්ත් ඩේ එක. ඔය අස්සේ මැරුණොත් ආයේ එයාගේ බර්ත්ඩේ වලට පාටි දාන්න වෙන්නෑනේ. දාන පාටි මිසක්. ඊළඟ මාසේ අයියා. මාර්තුවේදී හිතෙනවා අවුරුද්දත් කාලම මැරෙනවා කියලා. අප්‍රේල්නම් කොහොමත් බෑ. ඊළඟට අම්මගේ බර්ත් ඩේ එක...... ඔන්න ඔහොමයි මගේ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියේ.



          ඔන්න ඔය අතරේ දෙසැම්බරයේ දවස් තුනක ට්‍රිප් එකක් ගියා. අපේ බස් එකේ හිටියා ඒලෙවෙල් කරන අක්කා කෙනෙක්. දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට අපි දෙන්නා ෆිට්. දැන්නම් එයා අම්මා කෙනෙක්. අනික මෙලෝ රහක් නෑ. ඒත් ඒ දවස්වල මං එයාව දැක්කේ අමුතුම කෝනෙකින්. හප්පේ.. එයා තරම් ලස්සන කෙල්ලෙක් මීට කලින් මං දැකලම නෑ. දඟකාරකමත් ඒ වගේමයි. දැන් ඒලෙවෙල් කෙල්ලෝ ඇටිකිච්චියෝ වගේ පෙනුණට එදා කෙට්ටුම කෙට්ටු ඒ අක්කා දිහා බැලුවෙත් පතාක යෝධියෙක් දිහා බලන්නැහේ උඩ බලාගෙන. ඔය කාලේ අතේ බඳින බෑන්ඩ් හදන පිස්සුවක් තිබුණා නූල් කැරලි වලින් එකේක නම් මතුවෙන විදියට හදාගෙන. ඔය වැඩේ හැමෝටම කරලා දුන්නත් මං වෙනුවෙන් එකක් හදා ගත්තේ එයාගේ නම දාලා හාර්ට් දෙකකුත් දෙපැත්තෙන් එන විදියට හයි රෙසලුෂන් විදියට. ඒ කිව්වේ පික්සල් ගැන වැඩි කරලා බුදු කට්ටක් කාගෙන. ඕක කරන්නත් ඕනි ගෙදරට හොරෙන් නෙව. පස්සේ බලද්දී ඒකිගේ නම මං කොටපු නමේ රයිමින් එකට යන වෙනත් එකක්. හයියෝ සංසාරේ.......



ඕක තමයි මගේ ෆස්ට් ලව් එක. ගෑණියෙක්ගේ අහවල් එක මොන පාටද කියලවත් දන්නැතුව නුහුරු කඳුළු හෙළුවේ ඒකි වෙනුවෙන්.

  


             ඊළඟට ඔහොම කැරකිලා ගිහින් වැටුනේ වියලි කලාපයේ දුෂ්කර පළාතක ඉස්කෝලෙකට.අපේ පුංචි අම්මා උගන්නන ඉස්කෝලෙට. එයා හරියට කාලගුණේ වගේ. හරි හොඳයි. හොඳට සලකනවා. කන්න බොන්න දෙනවා. ඒත් හිටපු ගමන්........ කුඩම්මා කියන්නේ ඒකටද මංදා.....





    අලුත් පන්තියේ තුන් වෙනි පේලියේ දකුණු පැත්තේ කෙරෝලේ පුටුවක් මං වෙනුවෙන් වෙන් උණා. එතනින් පොඩි ස්පේස් එකක්. ඊළඟට කෙල්ලෝ. දුඹුරු පාට දිලිසෙන ඇස් දෙකක් තියෙන කෙල්ලෙක් මට දකුණු පැත්තේ. ඒකිගේ පොතක් බිමට වැටුණා දිග ඇරලා තිබුණු විදියටම. මාත් වැඩිය හිතන්නැතුව එක අර ගත්තා. එතකොට දැක්කේ ඇතුල් පිටු දෙකේ දූවිලි. ඒකත් අතින් පිහ දාන ගමන් මං පොත දුන්නා. ඒක එතැනින්ම ඉවරයි. ඒත් මාස දෙක තුනකට පස්සේ මෙන්න අපි දෙන්නගේ නම් අල්ලලා.. හයියෝ කියන්නත් ලැජ්ජයි වගේ.



          ඒ කාලේ අපි පුදුම සැහැල්ලුවකින් ජීවත් උණේ. මාත් එක්ක උජියා, සුමියා හොඳටම ෆිට් උණා. නිලූ, මධූ, ස්නේහා ත් එහෙමයි. ඕ ලෙවෙල් අවුට් වෙනකන්ම අපි හය දෙනාගේ ගැන්සිය අවුරුදු තුනක් විතර එහෙම්මම තිබුණා. 



             පන්ති භාර සර්රුත්, ඒ හින්දා එයා උගන්නන ගණිතය විෂයත්, ඒ හින්දා ඉස්කෝලෙත් එපා වෙච්චි මට අලුත් ඉස්කෝලෙට ඇවිත් හිටපු තරුණ ගුරුතුමියගේ පිහිටෙන් ආසම විෂය බවට ගණිතය පත් කර ගන්න පුළුවන් උණා. ඊළඟ පුදුමේ තමයි වාසගම ඇරෙන්න මගේ නමේ පාට් වන්, පාට් ටූ දෙකේම ස්ත්‍රීලිංග පදේ තමයි ඒ මිස්ට තිබුණේ. 



              ඕලෙවෙල් වෙනකන් මුළු පන්තියම යාළුවෝ. අපි හය දෙනා අඹ යාළුවෝ. අපි කොල්ලෝ තුන්දෙනාට ඔය අස්සේ තමයි පියාපත් හම්බ උණේ. ශිෂ්‍ය නායක පදවි. එකොළහ වසරට පා නගන කොට උජියට ලව් මාන්දම. අට වසරේ කෙල්ලෙක් පස්සේ ගියා. අපි ඔක්කොම බොක්කෙන් සපෝර්ට්. කට කතා ඇත්තක් වෙමින් නිලූයි මායි අතරේ සම්බන්දෙ තවත් වැඩි උණා. ඒත් කටින් පිට උණේ නෑ. ගොළු ආදරයක්. (හා හා බනින්න එපා. මං කොහොමත් ගොනෙක් තමයි) ඒ කාලේ කරපුවා කියපුවා මෙහෙම සාරාංශ කරලා ලියන්නත් අමාරුයි. ඉස්කෝලේ හවස පන්ති වලට නැවතිලා කරපුවා, ළඟ පන්සලේ පෙරහැරවල් සංවිධානය කරපු හැටි, පන්ති කට් කරලා ෆිල්ම් බලපු හැටි, කෙල්ලොත් එක්ක කැලේට යටවුණු ගුරු නිවාස අස්සේ කරපුවා........ හැබැයි එක දෙයක්. ඉස්සර ගොන් වැඩ අත ඇරලා ඉගෙන ගන්න එකට මුල් තැනක් දුන්න ඒ දවස්වල. 



             ඉස්කෝලේ ඇරිලා ගිනි කාෂ්ටක අව්වේ ප්‍රධාන පාරට කිලෝමීටර් එක හමාරක් විතර තියෙන දුර එන්නේ නිලූයි මායි එක කුඩේ යටින්. පුංචි වැවක් පහු කරන් එන්න තියෙන දුර අපි ආවේ මීටර් සීයක්වත් දුර නැති ගමනක් විදියට. ඔය විදියට ගිහින් ඕලෙවලුත් කළා. මං මාසයක් විතර ඒ ගෙදර ඉඳලා අපේ ගෙදර ආවා. ආයේ ගියෙ රිසාල්ට් බලන්න. ඒ වෙනකොට නොහිතපු දෙයක් සිද්ධ වෙලා තිබුණා. නිලූ ජීවිතය වරද්දගෙන. ඒ කිව්වේ කොල්ලෙක් එක්ක පැනලා ගිහිං. එහෙම සම්බන්ධයක් ඔච්චර යාළුවෝ වෙලා අපිවත් දැනන් හිටියේ නෑ. සමහරවිට මාස දෙක තුනක ලව් එකක් වෙන්න ඇති. හැබැයි නිලූට ගෙදරින් ඉස්සර ඉඳන්ම වැඩි සැලකිල්ලක් නෑ කියන එකනම් අපිටත් තේරිලා තිබුණේ. සමහරවිට ඒක වෙන්නත් ඇති ගෙදරින් යන්නත් හේතුව. 



          දැන් බලනකොට අපි දෙන්නා අතර යාළුකමකට වඩා දුර සම්බන්දෙකට අවශ්‍ය ගැලපීම් වගේම නොගැලපීමුත් තියෙනවා කියලා හිතුනට හිමි උන ආදරේට වඩා අහිමි උන ආදරේ තාමත් හිත පාරවනවා. වෙලාවකට හිතෙනවා කවදාහරි දවසක එයා මං ගාවට ආවොත් කියලත්.



හද සසල වී ගියත් එදා දුටුව හීනයේ....
නෑ ලතවුලක් මගේ චන්න කින්නරාවියේ....



      තවත් වෙලාවකට හිතෙනවා කොච්චර බහුසෘත කියෙව්වත් මාත් මේ සමාජයේම එක පුද්ගලයෙක් විතරක් නේද කියලත්.

Wednesday, July 3, 2013

මී අඹ වනයේ ගී හඬ පතුරා..... (කොල්ලන්ට විශේෂයි)


"මී අඹ වනයේ ගී හඬ පතුරා
                කාවද අමතන්නේ......"


              එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬ ගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මත තාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. 

                   කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලට යටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප් රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත, රේඩියෝ චැනලයෙන් කැසට් පීසයටද පසුව පරිගණකය හරහාද රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවම කරමිනි.

                මෙකල ගීතයේ කොටසින් කොටස පටිගත කලද හරියාකාරව ගායනා කර ගැනීමට නොහැකි ගායකයින් සිටිද්දී කිසිම පෙරහුරුවකින් තොරව පළමු වතාවෙන්ම නව ගීතයක් පටිගත කිරීම සඳහා හඬ දායකත්වය ලබා දුන් ගායකයාගේ පුරාජේරුව පවසන තාත්තාගේ හඬ ඒ කනින් ඇතුල්ව මේ කනින් පිටව ගියේ ඔළු ගෙඩියේ ඇති පුස්ස මොනවට පෙන්වමින්.

ගී හඬ නැවතත් පැතිරෙයි....

"මී අඹ වනයේ ගී හඬ පතුරා
             කාවද අමතන්නේ......"

           දෑස පියා ගතිමි... සිහි වනුයේ ඒ රුවයි. නැවතත්.. නැවත නැවතත් ගී හඬ දෝංකාර දෙයි. සිහි වනුයේ ඇයගේ හඬයි.

"මී අඹ වනයේ ගී හඬ පතුරා
            කාවද අමතන්නේ......"

       දෙසවන පිරී යන්නේ ගී හඬින්ද ඇගේ හඬින්ද යන්න කිසි විටෙකත් නොහැඟෙයි. පියා ගත් දෑසින් යුතු වත කමලෙහි මද සිනාවක් පිරී යන්නේ ආඩම්බරයෙනි.

"ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද
                   ඔය හැටි හිනැහෙන්නේ..."

        ලෝකයම පරදා ඇය උරුම කරගත් ආඩම්බරය..... ඒ හා පල නොකෙරෙන තරවටුව...

"මිහි බට දෙවඟන ඇවිදින තාලෙට
                 ඔහොමද ඇවිදින්නේ...."

      කවුරුවත් දකීදෝ’යි නැගෙන නෝක්කාඩු සිත යටින් මගේ කර ගත් ඇගේ ලාලිත්‍යය, ආඩම්බරයෙන් කාට හෝ පෙන්වීමේ උවමනාව...

"ලා නිල් පාටට දිලිසෙන හින්දද
                 ඇස් දෙක නලවන්නේ...."

            ලොවක් දිනූ පෙම්වතෙකුගේ හඬින් මිමිණෙන පද වැල.....

         එදා නොරිස්සූ හඬ සමඟ මෙකල දැහැන් ගතවූ අපූරුව...... පලා ගිය නිදි දෙව් දුව වෙනුවට තුරුලට පැමිණි ඇය.... 


Monday, July 1, 2013

මනුසත්කම......

හැඳින්නෙමි මිනිස්කම

නසනු නැතිනම් නැසෙනු

බැරි විනිය නසන්නට

දැන් ඉතින්......






Thursday, June 13, 2013

දඩ කොළයයි මළකෙළියයි.....


              ඔන්න ඉතින් මන්තුමා පස්වෙනි වතාවටත් මාර්ග නීති කඩකිරීමේ වරදට දඩයක් කෑවා. ඔතන පස්වෙනි වතාවට කිව්වට ඇත්තටම පොලිස් පොතේ ලියවුනේ දෙවතාවයි. පලවෙනි එක ලියාගත්තේ පොලිස් කාරයෙකුට පගාවක් දීලා. (අපි එහෙමයි ඈ...) ඒ දවස්වල දඬුමොනරේ කෙලින් කරගන්න පුළුවන් වෙලා දවස් හයයි. මාමගේ පොඩි දුවගේ බිග්ගර්ල් පාටි එක සෙට් උනේ ඒ දවස්වල. ඔය වගේ තැනකට බයික් එකේ වටිනාකම ආයෙ කියන්න දෙයක් නෑනේ. ඉතින් නීතියෙන් බේරෙන්න හිතාගෙන දඩ කොලෙකුත් ලියාගෙන තමයි ඒ දවස්වල රන් කෙරුවේ. අන්තිමේදී ඒක එක්ස්පයර් වෙන්න කලින් කි.මී. දෙසීයක විතර රවුමකුත් ගහලා තමයි ආවෙ. (ඒ ගොන්කම් මතක් වෙනකොටත් මයිල් ඉස්මයිල් වෙනවා අප්පා.....)


මේකත් මංතුමාගේ ෆෝන් කට්ටෙන් අල්ලපු ෆොටෝවක් නෙව....


          ඊළඟ දෙපාරම හෙල්මට් නැතුව. මන් සාමාන්‍යයෙන් හෙල්මට් නැතුව කොහෙවත් යන්නෑ. අඩුම ගානෙ හංදියේ කඩේටවත්. එදා කරුමෙට හන්දියට යනකොට කඩේ වහලා. ඉතින් ළඟම තියෙන හන්දියට යන්න ගියා.  ඊළඟ සුභ මුහුර්තිය එළඹුණේ රෑක. මගදී යාළුවෙක් හම්බ උණා. යන්න බස් එකක් නැතුව. ඉතින් මනුස්ස කමට උදව්වක් කරන්න ගිහිං ඒකත් කෑවා. ඒත් කරුමේ කියන්නේ ඔය දෙකම පොලිස් පොතේ ලියලා නෑනේ. දඩ කොලේ ලියාගෙන ගෙවලා ඇවිත් බැලුවම පොතේ නම නෑ. ඉතින් ගෙවාපු රිසිට් එක කුණු කූඩෙට දාලා ලයිසොන් එක අරං ආවා.



                    හතරවෙනි අවස්ථාව ගැනනම් කලින් කියල තියෙනවනේ. ඕක තමයි හරියටනම් පළවෙනි මාර්ග නීති කඩ කිරිල්ල. අනික පොතේ ලියවුනු පළවෙනි වතාව. අවුරුදු හයක ලයිසන් ඉතිහාසයේ.කිලෝමීටර් වලින් ගත්තොත් ලක්‍ෂ දෙහෙක විතර (බයික් එකේ විතරක්). 



             පහුගිය තිස් වෙනිදා මහ වැස්සෙම ඉර කපලා අහු වුණා. ඕක ගෙවන්න අද ගියාම දවස් දාහතර පහු වෙලාලු. උන් දවස් ගනින්නේ වැරැද්ද කරපු දවසත් එක්කළු. හුටා... දැන් පලකෝ උසාවි. පන් හය දාහකට කෙලෝ ගන්න. කෝකටත් ශේප් න්‍යාය හොඳයි නේද කියලා මුකුත් කරන්න බැරිද කියල ඇහුවම OIC මහත්තයගෙන් අහලා බලන්න කිව්වා.


ගියා උන්දැ ළඟට.

“මල්ලි, මේක උසාවි යන කේස් එකක්. ම්ම්ම්... අපි මොකද මේ ගැන කරන්නේ....” කියලා ඇදලා එහෙම,

“හරි කමක් නෑ. ඔයාට උදව්වක් විදියට මන් මේකේ දිනේ වෙනස් කරලා දෙන්නම්. ඔයා දඩ කොලේ ගෙවලා එනගමන් බොක්ස් ෆයිල් එකක් අරං එන්නකෝ..” කියලා ගන්න ඕනි කඩෙත් කිව්වා.



            එතනම හිටපු තවත් කොස්සෙක් මට තවත් දඩ කොලයක් දුන්නා. “මල්ලි ඕකත් එක්ක මේකත් ගෙවාගෙන එන්නකෝ..” කියලා. රුපියල් හයසීයකුත් දුන්නා ඉතුරු සල්ලි ගෙනත් දෙන්න කියලා. තව ලියුමකුත් දුන්නා රෙජිස්ටර් කරන්නෙයි කියලා. වෙලාවට ඒකෙ මුද්දර ගහලා තිබුණේ.



           ඉතිං දඩ කොළ දෙකත් ගෙවලා, ලියුමත් රෙජිස්ටර් කරලා, 230ක් දීලා බොක්ස් ෆයිල් එකත් අරගෙන මන් ගියා පොලීසි. ඔතන හිටියේ මට දඩ කොළේ ලියලා දීපු WPC දැරිවි විතරයි. ඔන්න එයාට කොනක ඉඳන් රිසිට් ටික දුන්නා. 


“මල්ලිට වැඩ ගොඩක් හම්බ වෙලා වගේ”

              ලතාවකට ගස්සලා පද්දලා කියනකොට ඉතුරු වැඩ ටික අමතක වෙන එක අහන්නත් දෙයක්යැ.  550හේ දඩ කොළ දෙකට අරුන්දගෙන් හයසීයි මගෙන් පන්සීයයි. එතකොට එතනින් පනහකුයි බොක්ස් ෆයිල් එහෙකුයි ලාභයි නෙව. එකම අවුල උනේ ගෙවාපු දඩ කොළේ ෆොටෝ කොපියක් ගහගන්න බැරි උන එක විතරයි.




මේ ඔය වගේ තව එකක්. මං හෙව්වෙනම් අර ගුටිකන මූණක් තියෙන එකා මඩකලපු පැත්තේ ගිහින් වෙච්ච ඇබැද්දිය. හම්බ උනේ මේක විතරයි.

මේ අනික් සිද්ධිය.

Thursday, May 23, 2013

දැන් ඉතිං නැගිටියව්!!!

මොකද සර් කට්ටිය පරක්කු. ඔන්න මමනම් කියපු වෙලාවටත් කලින් ආවා”


“කවුරුවත් පරක්කු නෑ ජයේ. යන කට්ටිය ඔක්කොම ඇවිත් ඉන්නේ. අනික් කට්ටිය හැමෝටම ඔලුවේ කැක්කුම් බඩේ කැක්කුම් එහෙම හැදිලා කියලා උදේ ඉඳන් කෝල් ආවනේ. එහෙනම් අපිවත් එකතු වෙලා බස් එක සරසමු.”


       අප්පට සිරි ඒ ගමන බස් එකේ ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයිත් වැඩක් සෙට් වෙලා. රාජ්‍ය ආයතනයක් වෙච්ච එතන වැඩ කරන  පනහක් සීයක් විතර වෙච්චි පිරිසෙන් එදා උදේ ලෙඩක් දුකක්  නොහැදිලා තියෙන්නේ නිලධාරීන් දෙන්නෙකුටත් නිලධාරිනියන් දෙන්නෙකුටත් සේවකයන් දෙන්නෙකුටත් විතරයි. ඒ කියන්නේ ආසන පනස් ගානක බස් එකකටම හය දෙනයි.




        ඔන්න ඔහොමයි නොමිලේ යන්න හම්බවෙන ට්‍රිප් එක යන්නත් කට්ටිය සෙට් වෙලා තියෙන්නේ. මේ අය යන්නෙත් නිකං ගමනක් නෙවෙයි. කම්කරුවෝ සමරන්න. මැයි පළවෙනිදා උදේ හය හමාරට විතර සෙට් වෙච්ච කට්ටිය දැන් හෝ ගාලා බස් එක සරසනවා. කම්කරුවන්ගේ පාටින්... ආ නෑ... නෑ...  පක්ෂේ පාටින්. ඉස්සරහින්ම ගහනවා පාලක පක්ෂේ තඩි බැනර් එකක්. ඔන්න දැන් පිටත් වෙන්නත් කට්ටිය ලෑස්තියි.



“මේ ජයේ, මෙහෙම අමුවෙන් යන්න පුලුවන්ද බං” ඔන්න නිලධාරියෙක් පලවෙනි වෙඩි මුරේ පත්තු කළා.


“කමක් නෑ සර්ලා ගන්න. සර්ලට අද නිවාඩු උනාට අපිට අද වැඩනේ” කොන්දොස්තර දිහා බලන ගමන් මාතලී උත්තරේ දුන්නා.


“එහෙම නෙවෙයි බං අපි ඉන්නෙත් දෙතුන් දෙනයි මේ දවස්වල ලොකු දෙයක් කරන්න තරම් ආර්ථිකෙත් හොඳ නෑ”


           ඔන්න ඔහොමයි කට්ටිය වැඩේට එන්ටර් උනේ. ඉස්සරහා බැනර් එක අකුලලා ඇතුළට දාලා ඔන්න බස් එක ලෝඩ් කරනවා. ඔය විදියට තමයි ගානක් එක්කහු කොරන් බෝතල් එක හමාරක් හතර දෙනෙක් එකතු වෙලා හිස් කරන තැනට වැඩේ සෙට් උනේ.  



           දැන් ඔන්න බස් එකේ යන සෙට් එකට අදාළ ප්‍රධාන කාර්යාලයට කට්ටිය එන්ටර් උණා. ඔතෙන්ට ආවා කිව්වට රට වටේම තියෙන ශාඛා වලට අයිති කට්ටිය ඇවිත් නිසා ටිකක් ඈතින් තමයි බස් එක නවත්තලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ. ඇතුළට යන්නනම් සිහියක් තියෙන්න එපෑ. ගෑනු දෙන්නව යවන්නත් බෑනේ. ඔන්න ඕකටත් අත ගහන්න උනේ ජයේටම තමයි. ජයේත් එක්ක ගිය නිලධාරියාගෙන් ඔන්න ඇතුලේ ඉන්න කට්ටිය කට උත්තර ගන්නවා.


“පිරිමි කීයක් ආවද?”


“දාහතයි සර්”


“එතකොට ගෑණු?”


“අටයි සර්”


“ආ එහෙනම් මේ නවය ගන්නවා උඹලා. මේ බියර් අට දෙනවා ගෑණු සෙට් එකට. එතකොට ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි?”


“ඒ දෙන්නා බස් එකේ” ඒ පාර ජයා මාමා පැනලම උත්තරේ දෙනවා. අතින් පයින් යන එකක්යැ.


“ඒ දෙන්නට මේ දෙක” මල්ලට තවත් බෝතල් දෙකක්.



          දැන් ඔක්කොම බෝතල් එකොළහයි, බියර් අටයි. ඒ වෙනකොටත් උදේ ගත්තු දෙකෙන් කට්ටිය දොයි. 


“ඒක නෙවෙයි ජයේ, මං මේ කල්පනා කළේ හොඳ සිහියෙන් හිටියත් කොළඹ යන එන එක අමාරු එකේ මේ ලක්ෂ ගානක් සෙනග අස්සේ මුන් මෙහෙම අත ඇරියොත් අපි ඔක්කොම අමාරුවේ”


“ඔහොම්මම අල්ලපන් බං ගෝල්ෆේස් පැත්තට” අනික් නිලධාරියාගෙන් කදිම පිළිතුරක්.



              ඔය විදියට දවල් කෑමත් (මේකට පෙටි කෑෂ් වලින් සල්ලි අරන් ආවද නැත්නම් උදේම හම්බ උණාද කියලනම් අහගන්න බැරිඋණා.) සප්පායම් වෙලා ලස්සන ට්‍රිප් එකකුත් ගිහින් රෑ අට විතර වෙනකොට වන්දනා නඩේ සාදුකාර දීගෙන ගෙදරටත් ඇවිත්.



(මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්. දාන්නනම් හිටියේ පළවෙනිදා :D )

Tuesday, May 21, 2013

නුමට රසඳුනක්ද මා ගත වේදනාව.......


කිමද නුඹ මට පැවසුවේ රස කර මුසා
“ආදරෙයි මම නුඹට” පිළිගන්න බෑ සදා
පැන්නත් පහළට මම සුදු සේල විදා
නුඹට රසඳුනකි මා ගත ඉහිරුණු රුධිරය සදා

----------------------------------

සිත හදාගත්තෙ කොහොමද නුඹ
ගල් පව්වෙන් පනින්නට
සුදු සේල ගත දරන්
පනින විට ලස්සනයි නුඹ සිතුවාද........




පළාතම දෙදරමින්
ඳේානා හඬ නගන නුඹ
සිතුවාද මගෙ සවනට එය 
කන්කළු වේ යැයි අද....

කියන් සබඳ
නුඹෙ සිසිල් සුසුම් රළ
මා ගත පුබුදුවාලයි සිතුවේ කෙලෙස
වියරු වූයේ කෙලෙස නුඹ සැහැසි වී මෙලෙස


.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.

Tuesday, May 14, 2013

නිදහස.......


රුදු රුපුන් මැද
දිනූ ඒ  නිදහස
නොබියව යන කලට මහ මග
දැනෙයි එහි අසිරිය තව තව


දැනෙන්නට එහි අගය තව තව
අවැසියි තැබුමට බිම අද
සිතේ ඇති බර පොදිය හනිකට


වසරකට වරක් අපහට
මොනරෙක් දික් කරයි සිත පිනුමට
එනමුදු අද දින
විදුලිය වදියි මොනරෙකුත් තව පැටියෙක් සමගින







ඒ මදිවට දුක් කරදර
කකුලටත් කෙලවිය කොර වන්නට
ගත්තු සීසන් එක
හංගා ප්‍රයිවට් අදියි වාඩිවී අද


තුන් සක් රිය පිහිටෙන්
ගත වෙහෙස අඩු කොරත් සතොසින්
වෙදදුරුගේ පිහිටෙන්
ගත මෙන්ම සිතත් හිල්වෙයි යහමින්


ලබන්නට අවසන් සැනසුමත්
යන්නෙමි නින්දට ට්‍රයි කොරන්
මතක් වනවිට බර මහ මෙරක්
ලැබෙයි එදිනටත් අතට නිදහසක්