ප.ලි. මේ පෝස්ට් එක මනුස්සකම ගැන. ඉතිං මේක ලියද්දි තවත් මනුස්සකමින් පිරුණු මහත්මයෙක් ලොකු උදව්වක් කළා . ඒ තමයි අයිලාස්. උදව්වක් ඉල්ලපු ගමන් කිසිම ලොකුකමක් නැතිව නිහතමානීව ඒ ගැන ක්‍රියාත්මක වුණු අයිලාස්ටත් මගේ ස්තුතිය පුද කරන්න මේ පෝස්ට් එකම අවස්තාවක් කර ගන්නවා.
පහුගිය
සඳුදා.... එදත් මං සුපුරුදු විදියට රාජකාරියට
පිටත් උණා. දවසේ වැඩ ටික ශෙඩියුල් කරගෙන බිම් කළුවර වැටෙන්න පෙරාතුව ගෙදර එන්න
තමයි මගේ බලාපොරොත්තුව තිබුණේ. කොහොමින් කොහොම හරි උදේම ගිය තැන පැයේ වැඩේට පැය තුනක්
විතර ගියා. අදාල නිලධාරීන්ගේ පරක්කුවත් එක්ක.
එතනින්
එලියට ආපු ගමන් බැලුවේ උඩ අහස දිහා. ඊළඟට තීරණය කළා යන්න ඕනි තැන් වලට පිළිවෙලට
නොයා දුරම තැනින් පටන් ගන්න. මොකද නගරයේ යා යුතු ඉතිරි තැන් දෙකට ගියොත් හවසට
නාන්න වෙන්නේ. නාන දුර අඩු කරගන්නත් දවල්ට නගරයේ තියෙන කලබලකාරීත්වයෙන් මිදිලා ගම්බද
රාජකාරි කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් හේතුව නිසයි ඒ තීරණේ ගත්තේ.
LED බල්බ්
එකක් හදන්න බඩු ටිකක් ගන්නත් ඔය ගමන ඇතුලෙම ප්ලෑන් කරලා තිබුණේ. (දඹුලු යනකොට
තලගොයෙකුත් එලා ගන්න එපැයි.) ආයෙත් හිතුණා ඕකත් උස්සන් ගියාට ආයෙත් මේ ටවුන් එක පහු
කරන් නෙව එන්න තියෙන්නේ ඔන්න ඔහේ එන ගමන්ම ගන්නවා කියලා. එහෙම හිතලා කි.මී.
තිස්හයක් විතර දුෂ්කර පාරක
(පොඩ්ඩ මිස් උණොත් කෑලිත් නැතිවෙන)
ඔන්න ගමනාන්තයට ගියා.
එතන
එක ළඟ තියෙන බැංකු දෙකක්. මහජන බැංකුවේ හත් අට දෙනෙක් හිටපු හින්දා එතන නම මාර්ක්
කරලා ලංකා බැංකුවට ආවා. මොකද හවසට වහින එක ෂුවර් නිසා අපතේ අරින්න කාලයක් නැති
හින්දා. ඔය බැංකු දෙකේදීම දොරකඩදී ඔයාලා වෙනුවෙන් ෆොටෝවක් අල්ලන්න හිතුණත් කළේ
නැත්තේ ගමට පිටින් එන අය ගැන ගමේ අය වැඩි සැලකිල්ලක් දක්වපු හින්දා. මොකද දන්නවද
ෆොටෝ ගන්න හිතුණේ? ගණුදෙනු වෙනුවෙන් එන අය පන්සලකට යනවා වගේ සෙරෙප්පු දොරකඩින්
ගලෝලා තමයි ඇතුළට ගිහින් තියෙන්නේ.
ඔන්න
දැන් මං වැඩේට සූදානම්. මේකේ මැනේජර් ගෑණු කෙනෙක්. එයා යටතේ තව ලේඩීස්ලා
තුන්දෙනෙකුත් ජෙන්ට්ස්ලා දෙන්නෙකුත් හිටියා. කට්ටියගෙම වැඩ කටයුතු නවත්තලා මුල්ලක
තිබුණු මැෂින් එක උස්සලා ගත්තේ එතන හැරෙන්නවත් ඉඩක් නොතිබ්බ හින්දා. ඕක උස්සගෙන
හැරෙන කොටම වම අතේ වැලමිට දිගේ විදුලියක් යනවත් ඒත් එක්කම “දඩ බඩාන්” සද්දෙකුත්
ආවා.ඒත් එක්කම කකුල දික් කරනවත්, දැවිල්ලකුත්. මුකුත්ම හිතා ගන්න බැරුව ඉන්නකොට
තමයි ටික ටික වෙච්ච දේ මතක් උණේ. වැලමිට පාටිශන් එකේ ඇලුමිනියම් බාර් එකේ වැදුනත් එක්කම අත හිරි
වැටීමත් එතකොටම මැෂින් එක අත ඇරීමත් තමයි උණේ. මැෂින් එකට වෙන හානිය වලක්වගන්න
කකුල දාලා.
එහෙම්මම
ලන්ච් රූම් එකට ආවා. කකුලේ දැවිල්ලත් එක්ක
උනේ මොකක්ද කියල හිතාගන්නත් බැරුව හිටියේ. මොකද මේ තමයි මගේ රාජකාරි දිවියේ ප්‍රථම
අනතුර. කකුලේ තැල්මට මොකක් හරි කරන්න කියලා සපත්තුව ගැලෙව්වා. ටිකක් වෙලා අල්ලාගෙන
ඉඳලා මේස් එකත් ගැලෙව්වා. එතකොටයි දැක්කේ. සුලඟිල්ල අඟල් තුන්කාලක් විතර පැලිලා.
කට ඇරිලා. හැබැයි ලේ බින්දුවක්වත් නෑ.
එතකොටම
මැනේජරුත් ආවා. මැඩම් ඉක්මනට තුවාලේ පිහදාලා රෙදි පටියකිනුත් බැන්දේ එපා කියද්දීම.
ඊළඟට එතන හිටපු තරුණ මහත්මයෙක් එක්ක බෙහෙත් දාන්නත් ගියා. ඒක බොහොම පොඩි තැනක්.
මැහුම් ඕන්නෑ කියලා බෙහෙත් දාලා දුන්නා. ඊළඟට තමයි වැඩේට බැස්සේ.
ඇත්තටම මේක වෙන
තැනකදී උනානම් ලැබෙන ප්‍රතිචාරය හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා කියලා හිතෙන්නේ
ලැබිලා තියෙන අත් දැකීම් එක්ක. එදාම
අඳුරගත්ත ඒ සෙනෙහෙබර මිනිසුන් වෙනුවෙන්, විශේෂයෙන් ලොකුකම් මුකුත් නැති මැඩම් හා ඒ
තරුණ නිලධාරියා වෙනුවෙන් මගේ ස්තුතිය පල කරන්න තමයි මේක ලිය උණේ.
ඔච්චර
දුර ආපු එකේ තව කිලෝමීටර් දහතුනක් විතර ඈතින් තියෙන තැනකටත් ගිහින් ඒ පැත්තෙන්ම
නගරයට එන්න කියලා පිටත් උණා. හ්ම්ම්ම්.... මගදීම වැහි දෙයියෝ වැඩියා. පාලු පාරේ
ළඟම තියෙන පුංචි ලෑලි කඩේක නැවතුණා. ඒ කඩේ හිටපු ඇන්ටිත් ගොඩාක් හොඳින් සැලකුවා.
එළියේ තියෙන පොඩි පුටුවේ වාඩි වෙලා හිරිකඩින් කකුල බේර ගන්න දඟලනකොට කඩේට ඇවිත්
හිටපු පණ්ඩිත ආච්චියෙක්.. (ආච්චියෙක් කිව්වට අවුරුදු දාහතරක පහළොවක විතර කෙල්ලෙක්)
“මෙන්න නැන්දේ තුවාලෙකුත් තියෙනවා” කියලා කියපි. නෝන්ඩි එකයි.

මුලදී අප්සෙට් ගියත්
පස්සේ තේරුනේ ඒක ඒ පැත්තේ එහෙමත් නැත්නම් එයාගේ හැටි කියලා. එහෙම කියපු ගමන් අර ඇන්ටිගේ සැලකිල්ල දෙගුණ
තෙගුණ උණා. එතන ඉඩ මදි නිසා ගේ ඇතුළට එන්නත් ආරාධනාවක්. ඊළඟට මං ගත්තු ෂොපින්
දෙකටත් සල්ලි එපා කිව්වා. (අපේ පැත්තෙනම් ඉන්නේ පණ අදින එකාටත් වතුර පොදක්
විකුනන්න බලන් ඉන්න පොරවල්නේ) එදා එයාලට සතුටු දවසක්. ඒ ගෙදරට අලුත් ත්‍රීවීල් එකක්
ගෙනාවේ මං ඉද්දැද්දීමයි. ඒ ඇන්ටිගේ පුතත් අවු:20ක්
විතර ඇති. හොඳට ඉගෙන ගත්තු ඒ සමාජයට වඩා ඉස්සරහින් ඉන්න කොල්ලෙක්. ඒ හිටපු පැය තුන
හමාරට එයත් මාත් එක්ක පුදුම විදියට ලෙන්ගතු කමකින් කතා කළේ.”මහත්තයා””සර්” කෑලි අත
ඇරියෙම නෑ. පස්සේ දැනගත්තු විදියට සර්ප වෙදමහත්තයෙකුගේ ගෙයක් ඒක.
ඕක
තමයි එකම දවසකදී අවස්ථා දෙකකදී මං අත් දැකපු මනුස්සකම. නගරෙත් ගමෙත් අතර වෙනස
සල්ලිද? මනුස්සකමද?
ඔන්න
එදා දවසේ ඊළඟ විශේෂත්වය තමයි ගෙදරට එන්න තියෙන කිලෝමීටර් හැටක් විතර වුණු දුර
එකම එක තැනකදී විතරක් ඇරෙන්න සම්පූර්ණයෙන්ම කෑෂ් බාර් එක උඩ කකුල තියාගෙන ආපු එක.