Monday, March 25, 2013

ගැට පද විවරණය

ප.ලි. ඊයේ ලියපු පද වැලේ ගැට පද විවරණය මෙන්න....


------------------------------------------------------------------------------------------------------------------------------------------

අද වංචාවෙන් ලබා ගත් මිල මුදල
පඩිසන් දෙයි මතු දිනෙක 
මහ පාරට වැටි කලෙක
වහළ වෙයි සොඳුරු අහස

ගොදුරු වූ වංචාවට 
සුවාසක් දනන් කැළගෙ
සෝ සුසුම් පළි ගැහිලි 
එහි පාදමේ නිධන් වස්තුවය




වැය කරන විට මනුස්සකම 
දැන ගත යුතුය තනිවන බව ලොවෙන් නුඹ
එකළ නුඹේ නිවහන මහපාරම වෙයි සබඳ
ඕනෑම අගු පිලක් සයනයකි අහස වහලය නුඹට


ඒ නිවහනේදිවත්
නිවැරදිව ලොව දකින්නට
කිසිවෙකුටවත් බරක් නොවන්නට
හැකිනම්........

Sunday, March 24, 2013

දන්නවද මතු දිනෙක.....


දන්නවද?
සොඳුරු ආකාසෙ තරු මල් පිපුණෙ
මතු යම් දිනෙක මගෙ ලෝකෙ  
ඉදිවන සෙවණෙ සිතුවමක් විලස කියා....

දන්නවද? ඒ සෙවණෙ
පදනම අතර හිර කළ
ආශිර්වාදය පිරි අනෙකුන්ගෙ
පැතුම් මල් හිර කළ දිනය අද කියා....

දන්නවද?
වියදම් කර මනුස්සකම
බිත්තිය ඉහළට බඳින කළ
ලොවෙන් වෙන් වන දිනය ළඟ කියා...

දන්නවද? ලොව විසල් මාළිගයෙ
හිමිකරු වන විට හෙට දිනෙක
එහි වහල මෙන්ම සයනය
රියන් වලින් මැනිය නොහැකි බව.....
ඡායාරූපය මම ගත්තේ බූන්දියෙන්....

ඒ නිවහනේදිවත්
නිවැරදිව ලොව දකින්නට
කිසිවෙකුටවත් බරක් නොවන්නට
හැකිනම්........

Tuesday, March 19, 2013

අංකල් අයියා...

ප.ලි.

     මේ ලිපිය මීට මාස තුනකට පමණ පෙර ලියන්නට උත්සාහ කළ එකක් බව කරුණාවෙන් සලකන්න. 


               කවුරු හරි මුදලක් වියදම් කරලා හරි ණය වෙලා හරි අළුතින් භාණ්ඩයක් ගන්නෙ බලාපොරොත්තු ගොඩක් හිතේ හිරකරගෙන. ඒත් තමන් කාලයක් භාවිතා කරපු දෙයක් කැඩුනොත්.... තමන්ගෙ වැඩ කටයුතු කරගන්න බැරි වෙන හින්දා ඒ වගේම  මුදලක් වැය වෙන හින්දා  වගේ හේතු නිසා අර මනුස්සයා එන්නේ මළ අතේ තියාගෙන. මුල් අවස්ථාවේදී හිනාවෙලා සන්තෝෂයෙන් යන කෙනා එතකොට 100%ක් වෙනස්. ඉතින් ඉංජිනියරින් සෙට් එකේ ඉන්න අපි ඒ එන අයට සෑර් බෑර් කියලා, මහත්තයා කියලා කොහොම හරි ශේප් කර ගන්නවා. ඔය එන කවුරුවත් ඒ වෙලාවට සෙකන්ඩ් වෙන්න, ඒ කියන්නේ මල්ලිලා වෙන්න කැමති නෑ. ඉතින් ඔය වෙලාවට ආයේ කිසි දෙයක් ගැන හිතන්නැතුව ඉහ නිකට පැහිච්ච කෙනෙකුට උණත් “අයියා” කියලා කියන්න දෙපාරක් හිතන්න ඕනි නෑ. අනික ඔය මිනිස්සු කටේ එක දතක්වත් නැති උණත් “අංකල්”ලා වෙන්න කැමතිත් නෑ.
හැබැයි මං ඔය කියපු කාරනාව හැමෝටම අදාළ නෑ. අපේ කස්ටමර්ස්ලා ගොඩක් වෙලාවට සාමාන්‍ය අය නෙවෙයි. කම්පැනි, ෆැක්ට්‍රි අයිති අය. එහෙමත් නැත්නම් හොඳ බිස්නස් කරන උදවිය. ගොඩක් වෙලාවට ඒකෙ පර්චසින් එකේ ඉන්න හරි IT සෙක්ෂන් එකේ හරි ඉන්න ලෝකෙ කාපු ඇම්බැට්ටයෝ තමයි එන්නේ. ඔය වෙලාවට “අයියා” ගොඩක් පිහිට වෙනවා.

          කවුරු හරි ඔය වගේ කෙනෙක් ඇවිත් “මල්ලි” කියලා අපිත් එක්ක කතා කලොත් මිනිහා යනකන් ඉන්නෙ හිර කරන් ඉන්න හිනාව එළියට දාන්න. 

“අන්න උඹේ පොඩි අයියා යනවා”
“උඹේ ලොකු අයියගෙ වයස කීයද බං?”
                       නෝන්ඩි ලෝකයයි.
 
            ඉස්සර ඉඳන් අපේ කුලී වැඩක් එහෙම කර ගන්න වෙලාවට කතා කරන මනුස්සයෙක් හිටියා. “දාස අංකල්” කියලා තමයි අපි එයාට කියන්නේ. අයියගෙ ගේ හදන්න ගත්තේ දැන් අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා. ඕකෙ බාසුන්නැහැ ගමේ කෙනෙක්. අපි කියන්නේ “කමල් අයියා” කියලා. ඔය කමල් අයියා එයාගෙ ගෝලයා වෙච්ච දාස අංකල්ට කියන්නේ “අයියා” කියලා.

         ඉතිං දාස අංකල් එයාගේ ගණිත හැකියාව මනාව පිළිඹිඹු කරලා පට ගාලා බරපතල සමීකරණයක් විසඳුවා.

"අපි අයියා කියලා කතා කරන බාස්, එයාට අයියා කියනවනම් අපි එයාගෙ මල්ලිලා වෙන්න එපැයි."

          එයා මට මල්ලි කියන එක ක්ලික් වෙන්නත් මට දවස් දෙක තුනක් ගියා. හැබැයි එයා කොච්චර මල්ලි කිව්වත් මට තාමත් කියවෙන්නේ අංකල් කියලා.

            ආ.... මට දැන් මතක් උනේ. අපේ තාත්තා ගණන් වලට කොච්චර දුර්වලද කියලා.තාත්තගේ බාප්පගෙ පුතා මට වඩා වැඩිමල් වෙන්නෙ අවුරුදු පහකින් විතර. ඉතින් එයා මට අයියා වෙනකොට එයා තාත්තට කියන්නේ අයියා කියල නෙව.

            කොච්චර පණ්ඩිත කම් කියෙව්වත් මටත් ඔය අන්කලුයි අයියයි වෙන් වෙන සීමාව තාමත් හිතාගන්න බෑ. මූණ බලලා කියන්න ගියත් කෙලවෙනවා. ඉස්සර ඉඳන්ම අපේ ගමේ අයියා කෙනෙකුට අයියා කියද්දී හුචක්කුවක් එල්ලගෙන ඉන්න එයාගෙ වයිෆ්ට ඇන්ටි කියන්න හුරුවෙලා හිටියේ හිතලනම් නෙවෙයි.මග තොටදී උණත් වෙන වෙනම හම්බවෙන නිසා කිසිම අතුරු ආන්තරාවක් වෙලා නෑ. ඒත් දැනට අවුරුදු එක හමාරකට විතර කලින් ඒ දෙන්නා කඩයක් දැම්මා. ඔන්න එතකොට තමා වචනේ වැරැද්ද තේරුණේ. ඒකෙ රියැක්ෂන් එක කොච්චර බරපතලද කියනවනම් අයියා “පුතා” කියන්නත් ඇන්ටි “මල්ලි” කියන්නත් එක පාරට පටන් ගත්තා.

              ඔය අව් අස්සෙ අයියා කියා කියා හිටපු එකෙක් අපේ ගෙදර ආවා. මූණ බැලුවත් මං හරි කියලම තමයි හිතුනේ. (කළුවරේනේ දැක්කෙත්) 

ඒත් අන්තිමේදී,

      “උඹ මොන අවුරුද්දෙද?”
       ආයේ ඉතින් ඇඹරි ඇඹරි ඉන්න දෙයක්යැ. දුන්න “ඩෝං" ගාලා උත්තරේ.

එතකොට ඇස් දෙක නළලේ තියා ගත්ත මේකා ප්‍රියම්බිකාවට කියපි,

“එතකොට මං පත්වීමත් අරගෙන. නේද මෙයා....”

   මේ ලෝකෙ හරි කූරයි මෙයා. දෙව්දත්තරටත් පොළොව පලාගෙන යන්න චෑන්ස් එකක් දුන්නට මට එහෙමවත් එකක් දුන්නෑනේ.  :-(

Monday, March 18, 2013

අහසින් පොළොවට.....







 













මහ රජතුමනි, 
         අප ඉල්ලුවේ ඉගිලෙන්නට වරම් නොව, පොළොවේ පය ගැසීමට වරමක් පමණි.


Tuesday, March 12, 2013

බාප්පෙක් වෙලා අවුරුද්දයි.....



         පුංචි දෝණිට බාප්පව මුණ ගැහෙන්න වෙන්නෙ මාස දෙක තුනකට සැරයක් විතර. ඒ බාප්පා දෝණිව බලන්න ගියොත් හරි, දෝණි ගමේ ආවොත් හරි. පහුගිය සෙනසුරාදා දුවගේ අත්තම්මගේ ගෙදර, ඒ කියන්නෙ අම්මගේ මහ ගෙදර කිරිදානයක් තිබුණා අදට යෙදෙන එයාගේ පලවෙනි උපන් දිනේ වෙනුවෙන්. කලින් දවසෙ රෑ ඔන්න බාප්පයි, නැන්දයි, ආත්තම්මයි ගියා දෝණිගෙ අම්මලගේ ගෙදර. 

            කලින් දෝණිව හම්බ උනු හැම පාරම වගේ තමයි මේ පාරත්. බාප්පව දැකපු ගමන් උඩ පැනගෙන ඇවිත් කරේ එල්ලුණා. අනිත් අයට නෝ චාන්ස්. අම්මටවත්... තාත්තට විතරයි ඔන්න පොඩ්ඩක් ලකුණු ටිකක් දාගන්න පුළුවන් උනේ. 

         දැන් කෙල්ල ඇවිදිනවා. මේකි ඇවිදිනකොට අනිත් අය හිනාවෙවී බලන් හිටියට මමනම් හිටියේ මාර බයකින්. ඉස්සා වගේ ඇවිදිනවා නෙවෙයි විසික් වෙනවා. ටිකක් දුර ගිහිං මහා ලොකු වැඩක් කරපු එකෙක් වගේ හිනාවෙනවා. බලන් ඉන්නත් ලෝබයි. 
තාත්තයි, දූයි.
මේ දෝණිගෙ හපන්කම් පෙන්නන්න එවපු පින්තූරයක්.

             ඒ වගේම තමයි ෆොටෝ එකක් ගන්න හැදුවොත් දාන හිනාව. තාම එයාගේ ෆොටෝ එකක්වත් දැකලා නැද්ද කොහෙද. ඒ උණාට ෆෝන් එක දික්කරනකොට හොඳ හිනාවක් දාගෙන කරන වැඩෙත් අමතක කරලා බලන් ඉන්න හැටි.



අතේ තියෙන දේත් අමතක කරන්...
         එදා එන්න එනකොට බාප්පත් එක්ක ආවෙ ගෙදර අයවත් දාලා.  අම්මට "ටටා" කියන්න කිව්වම මූණ දිහා බලලා හොඳ හිනාවක් දාලා බාප්පිත් එක්කම මේකි ආපි. 



"මගේ පුංචි සුදු දුවේ, ඔයා තාම පලවෙනි පියවර තිබ්බා විතරයි. ඔයාට සාර්ථක දිගු ගමනකට ආසිරි!!"

Friday, March 8, 2013

ඇයි එකක්? ඉල්ලන්නකො එකසිය අසූදෙකක්....

             ධර්මද්වීපය කියල නම වැටිලා තිබුණු අපේ රටේ ඉස්සර ගෑණු කෙනෙකුට පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට යනකන් ඕන රෑක යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට හේතුව ඒ කාලේ හිටපු අයගෙ හැදියාව. ඒ විතරක් නෙවෙයි, කාන්තාව පිළිබඳ තිබුණු ගෞරවාන්විත හැඟීම.
         ඉස්සර හිටපු මිනිස්සුන්ගෙ ජීවන රටාව බොහොම සරල එකක්. ඉර ඇහැරෙන්න ඉස්සරින් නැගිටලා උයලා පිහලා, වැස්සිගෙන් කිරි ටිකක් දොවාගෙන හේන් ගොවිතැන් බතක් කරගෙන හිටපු මිනිස්සු හවහට පන්සල පැත්තෙ ගිහිං කරුවල වැටුනායින් පස්සේ නින්දට ගියේ ඒ බව මොනවට පැහැදිලි කරමින්. ඒ සමාජෙදී මවට, දියණියට එහෙමත් නැත්නම් ස්ත්‍රියට ලැබුණේ උතුම් තැනක්.

               බෞද්ධයෝ වෙච්චි අපේ ලෝකේ උතුම්ම පුද්ගලයා වුණු බුදුන් වහන්සේ ළඟට දෙවැනි බුදුන් කියලා විරුදාවලි ලබන්න තරම් කාන්තාව වැදගත් තැනැත්තියක් උණා. එහෙනම් ඇයි මේ කාන්තාවන්ට එක දවසක් හරි දෙන්න කියලා ඉල්ලන්න තරම් කාන්තාව මෙච්චර අසරණ වෙලා. අපි කවදාවත් කාන්තාවට දවසක් විතරක් දුන්නෑ. සම තැන දෙන්න ගියෙත් නෑ. එහෙනම්....? නිසි තැන, නිසි ගරුත්වය තමයි දුන්නේ. ස්ත්‍රිය කියන්නේ මව් පදවියක් දැරිය හැකි ගෞරවණීය තැනැත්තියක්. ඒ නිසයි එයාලට නිසි ගරුත්වය ලැබුණේ. 

           රජෙක් උණත් මඩ නාගෙන ඉන්නවනම් කවුරුවත් ගරු කරන්නේ නෑ නේද? එහෙනම් රජා දැනගන්න ඕනි නේද මඩ නොනා ඉන්න. පාරේ යන හිඟන්නෙකුට “උතුමාණෙනි” කියලා දන බිම ඔබන්න තරම් පුද්ගලයෙක් ඉන්නවද මේ ලෝකේ? ඒත් ඒ හිඟන්නම හොඳට ඇඳ පැළඳ ගෙන සැප වාහනෙකින් ඇවිත් බැස්සොත්.......

එකක් ඇතිද...?

“හෝව්... හෝව්...” බනින්න ඉස්සෙල්ල මේ ටිකත් කියවන්න.

    
             බලු බෙට්ටත් මාකට් කරන්න පුළුවන් විවෘත ආර්ථිකයක් තියෙන කාලේ නාරි දේහයට ලංසුවක් තැබීම පුදුමයට කාරණයකුත් නෙවෙයි.  කට්ටියක් නාරි දේහේ විකුණන් කනකොට තව කට්ටියක් විකිණෙන්න ගත්තා. අදටත් ඔසරියක් ඇඳන් යන කෙනෙක් දිහා බලන ගෞරව සම්පන්න ආකාරයෙන් නෙවෙයි හිරට හිරේ තදවුණු කලිසමක් ඇඳලා යන කෙල්ලෙක් දිහා බලන්නේ. බටහිරයන්ට ඕනි උනේ කාන්තා ශරීරයට ගරු කරන්න නෙවෙයි, ඒකෙන් රස විඳින්න. පංච කල්‍යාණි තරඟ තියපු අපිට ගෑණුන්ගේ ඇඳුම් ගලෝලා බිකිනියකට බස්සලා මිස් ක්වීන් තියන්න ඕනි උණා. 

         බටහිරයන්ගේ දේ අමු අමුවෙම අනුකරණය කරපු අපි උතුම් ස්ත්‍රිය බඩුවක්, කෑල්ලක් දක්වා ගෙනාවා. බටහිරයන්ට අනුව සෙක්ස් ඩෝල් කෙනෙක් වෙච්චි ගෑණිගේ සංකල්පය මෙහාටත් ගෙනාවා.

         මෙව්වයින් හෙම්බත් උණු බටහිර ස්ත්‍රීන් එක දවසක් හරි ඉල්ලද්දී දේශපාලන වාසි ගන්න එහෙමත් නැත්නම් මාකටිං පාරක් දාලා බඩු ටිකක් විකුණගන්න ඉන්න වෙළෙන්දෝ එකතු වෙලා මෙහාටත් ඒ ක්‍රමේ හඳුන්වලා දුන්නා. වැඩිහිටි, ළමා, පෙම්වත් දින අස්සේ කාන්තාවන්ටත් දිනයක්.  
          එදාට විතරක් බෝඩ් ලෑලි උස්සන සංවිධාන සාක්කුව පුරෝගෙන අයින් වෙනවා. දේසපාලුවෝ කතිර ටිකක් එකතු කරගන්නවා. වෙළෙන්දෝ බඩු ටිකක් විකුණා ගන්නවා. සෙක්ස් ඩෝල් එක අට වෙනිදත් විකිණෙනවා.

            කාන්තාවන්ට එක දවසක් දුන්නොත් ඉතුරු ඔක්කොම දවස් නිල වශයෙන් නැතත් පිරිමින්ගේ වෙනවා. ඒක හරිද? ඒ නිසා අකම්ගෙන් තුන්සිය හැට පස් දවසෙම නිසි තැන එයාලට හම්බ වෙයි. ඒත් මාර්තු අට වෙනිදා ඕනිමනම් අර ගනිල්ලා. ඒකට අකමැත්තකුත් නෑ.



Sunday, March 3, 2013

සීයගෙ සීය


සීයයි සීයයි සීයාට            සීයයි
සීයගෙ සීයත්, සීයම       ගැහුවයි
සිව්දෙස සීපද සීයට     මතකෙයි?
සීයක් කිව්වොත් සීයට      සීයයි






මෙන්න තව එකක්......


පාප්ප අරගෙන බාප්පා                   ආවයි
පප්පගෙ රූපේ තාප්පෙ           ඇලෙව්වයි
"හප්පා" කිය කිය පොඩ්ඩා     නැලෙව්වයි
පීප්පෙ ඉඳගෙන ආප්ප                කැව්වයි