Monday, October 29, 2012

මමත් යමි පන්සල්

අන්තර්ජන්ජාලෙනි


මල් විකුණන නෙක පාට
මල් නංගිගේ සිත සනසන්
මලුත් ගෙන තොසින් මම්
ගියා පන්සල් පිනක් ගනු වස්

     තැබුවාට කම් නැත මල්
     සුවඳ දුම් පහන් වැටි නම්
     බුදු හිමි ළඟට රැගෙන නොම එන්
     පින්වත පින්වතිය දැන ගන්

            හිස නමමි මුළු හදින් මන්
            බුදු හිමිට නොව දැනගන්
            කුළුණු බර ඒ වදන්
            පිලිගනිමි හිස් මුදුනින් මන්

පාදුකාවන් තබා මහමග
කෙලෙස් ඇති සිත නිවා ගැනුමට
ටයිල් අල්ලා ඇති සුමට
අහිමි වූ වැලිමළුවේ පා නගමි මොනවට

     සිහිවෙයි සැමකල්
     ගනීදෝ හොරු මෙකල්
     ගෙවා දහසින් බැඳී පියල්
     ගත් යුවල, පාදුකා කළුවන්

          හැරගතිමි මන්
          ආසා ඒ ගැන සිත උන්
          ලොබ සිත නිවන්
          කුසල් ගැනුමට මම් වඳීම්

දුටිමි නෙතු පිනවන
හැඳගත් නේක සළුපිළි අබරණ
පරදන දෙව්ලියන්
සොඳුරු නෙතු පිනන යුවතියන්

     එකෙක් නතු කර ගැනුමට තමන්
     සිත් වෙයි මට දැන් ඉඟි මරන්
     හැඩැති සිරුරකි පාට රන්වන්
     යන්නට සදයි සිත, කර මෙමා අතරමං

          සිහිකර මරඟනන්
          බලා වෙනතක මන්
          පිටකර සුස්ම සොඳින්
          නිව්වෙමි රාග ගිනි දැල්
   
ඇසුණි නම පීකරෙන්
අල්ලපු ගෙදර හුන් උන්දගේ
පරම්පරාවම සිහිකරන්
නිවන් යන්න වැඩියෙන් දුන් පිනෙන්

     පසු කළා නොවෙද මගෙ සීය පන්සීයෙන්
     ගේමක්ද උඹ මට දුන්නෙ
     දෙන්නම් ලබන පෝයට මන්
     සිතුනි මට හීන් නූලෙන්

          හදා ගතිමි සිත
          නැති උනේ සීයකි මට
          දැනගනිවු තොප
          හාරසීයම ඉතුරු උනි අද

බන මඩුව පිරිලා
ඇත උවැස උවැසියන් සුද හැඳලා
වඳිති ධර්මාසනයෙ ඇති හඬ නගලා
කැසට් යන්ත්‍රයෙ යකඩ හඬටා

     බැලුවෙමි වට පිටා
     ලොකු හාමුදුරුවො කෝ කොහිදෑ
     ඇත දොරකඩ බුදු මැදුරෙ පිටලා
     ආධර පත්තර මුදලට විකුණ විකුණා

          ඉතුරු රුපියල් විස්සට
          නැත පත්තරේ ඉලක්කම් කෙටී
          ගුලි කර ගතිමි ලජ්ජාවෙන්
          යනවිට කමි රටකජු බඩ පුරා

කැම්පස් ගොසින් ආ
පොඩි හාමුදුරුවො යයි ලොකු උන්නාන්සෙ පරදා
ආසියාවෙන් ලොකුම
චෛත්‍යය තම සතු කර ගැනුමටා

     ඉවර වූ පොත ගන්න
     පොඩි පුතුට දෙන්න
     තියෙන සීය අරගන්න
     කියයි මැගිලියා සිත පහදා

          අත තියෙන විස්ස
          දුනහොත් කියයි මට පිස්‌ස
          නැති එකෙකුට පියස්ස
          සැදුමට දෙමි තෝරා නිස්සා

නොකැළැල් සිත කැළැල් විය
ගෙදර සිටියානම් මට සිත් විය
ශීර්ශයෙ හෝ කොම්බුවේ
බණ අසමි ඇඩ් අස්සේ

වැදගත්:  සියළු පන්සල් මෙයින් නියෝජනය නොවන අතර මොඩ් වන්නට හදන ඒවාට පමණක් ටොක්ක                     ඇණ ඇත්තෙමි.
              එවන් තැන් උපේක්ෂාව ප්‍රගුණ කිරීමට හොඳ තෝතැන්නකි.

Sunday, October 28, 2012

බයයි මන් යන්න පන්සල්

ඉස්සුවේ මෙතනින්


සුදු හැඳගත් යුවතියන්
යට ඇඳුමෙ හැඩ පෙන්වන්
ගනියි සිල්, අර බලන්

මන් ගියොත් ඒ පැත්තෙන්
සරම හිල්වෙයි, බයයි මන්
සුදු සරමෙ පැල්ලන්
මොකට ඇතිකර ගනිමි මන්

Monday, October 22, 2012

කැලේ නුඹට ඉඩ මදිවීදෝ...


"කැලේ නුඹට ඉඩ මදිවීදෝ

          මවගෙ තනේ කිරි නැති වීදෝ"

        ත්‍රීරෝද රථයක පිටුපස ගහලා තිබුන රුවන් වැකියක් අහම්බෙන් අද මං දැක්කා. පොඩි වෙනසක්.  ඇත්තටම  හිතුවොත් මේක ලොකූ වෙනසක්. ත්‍රී වීල් එකක රුවන් වැකි දකින්න ලැබෙන එක සාමාන්‍ය  දෙයක්.

ඒත්...,

"ගත්තෙ අමාරුවෙන් හප්පන්න එපා"


"පොඩි උනාට දඟ කලාට එපා රවන්න"


"මේ වෑයම රජ වෙන්න නොවේ"


"පිඹගෙන එන්නෙ ඉඹගෙන යන්නද"


"අහක බලන් යන්නෙ නංගි ඇයි අපි කළුද"


"මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපට"

           වගේ දේවල් අතරේ,

"අම්මාගේ මහන්සිය"


"පහු කරගෙන යන ඔයාට බුදු සරණයි"


"පරිස්සමින් ගිහින් එන්න"


      වගේ ටිකක් හිත කූල් කරන වදනුත් තියෙනවා. මේවා පොදු වැකි. කොයි පාර්ක් එකට ගියත් මේවයින් එකක් තියෙනවා. හරියට අර ඉස්සර පච්ච ගහනවා වගේ.


"අම්මා බුදුවේවා"


"මරුවා සමග වාසේ"


         ඒත් ඒවා අතරේ,
          "කැලේ නුඹට ඉඩ මදිවීදෝ
                   මවගෙ තනේ කිරි නැති වීදෝ"




         මේක ගැන මොකද හිතෙන්නේ. මටනම් මුලදී මුකුත් හිතාගන්න බැරි උනා. ඔෆිස් එකට එනකම් හිත  හිතා ආපු මට පොඩි අදහසක් ආවා. 
            ත්‍රී රෝද රථ වල නැගිලා ගෙස්ට් හවුස් ගානේ රිංගන අය ගැන කරපු නිර්වචනයක් විදියටයි මට මේක  මුලදී දැනුනේ. කැලේ ඉඩ මදි වෙලා කාමර ගානේ ගිහින් අම්මගෙන් නැතුව වෙන අයෙකුගෙන් තනකිරි ඉල්ලා බීමක් ගැන කරපු අදහසක් කියලා මට හිතුනේ.

         අමුතු අදහසක් නිසා ඔෆිස් එකට ඇවිත් කට්ටියගෙනුත් මේ ගැන අදහසක් ගත්තා.  ඔන්න බට්ටා තමයි  නියම අදහස දුන්නේ.

         තිරිසන් සතෙකුගේ ආත්මයක් ලැබුනාදෝ....
       කැලයේ ඉඩ මදි වී මිනිසුන් තුල ඉපදුනාදෝ.......
        නැතිනම් තනයෙන් කිරි බිව්වේ නැතිදෝ....
        මවු සෙනෙහස නොලැබ තිරිසන් ගති පල කලාදෝ...


ප.ලි.


“අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ,
Campus යන්නට ලකුණක් මදි ඇති, ඒකයි තවමත් මහ පාරේ…”



මේක ගත්තෙ හෙන්රි අයියගේ මේ පොස්ට් එකෙන්

Saturday, October 20, 2012

අතට හුරුකරගත්ත පව........

තුරුලට ගත්තා...
මෙන්න මූ සැපට නිදි.......
හුරතල් කරන්න හැදුවම මෙහෙමත් නිදා ගන්නවද මං අහන්නෙ?
ශික්! අතට හුරු කරගත්තම තියෙන වදේ.....

...ආආආආ............
මෙන්න ඒ ගමන ගෑනිට ඩෝන් ගිහින්.......
ගස්සගෙන යන්න ගියෙ
ආත්මාර්ථකාමී උන්

"තමුසෙ දැන් මට ආදරේ නෑනේ 
නලෝගන්නවා ඕන එකෙකුට කියලා
ආයේ එහෙම මට වද නොදී...."

ශික්!......
මගෙ මූණත් එක්ක රතු වෙලා
වගක්වත් නැතුව මූ සැපට නිදි...
ආදරේ වැඩි කමට අතට හුරු කර ගත්තු එකට මං කීපාරක්... කීදෙනෙක්ගෙන් බැණුම් අහගෙන ඇද්ද?









ඔක්කොම පැත්තකට දාලා නාගන්න කියලා බාත්රූම් එකට ගියා
ඔක්කොම ප්‍රශ්ණ ටිකකට අමතක කළා 
හිත හෑල්ලු කර ගත්තා
හ්ම්ම්ම්.....
මෙන්න මූ ඇහැරලා.....

Friday, October 12, 2012

අකමා ඇලි බලපු හැටි

       වේලාව උදේ 6.55ට විතර. අකමා ඔපීසියෙන් දීපු දඬු මොණරේ එලියට ගත්තෙ අද දවසේ යන්න තියෙන දුර ගැන හිතමින්. යන්න හිටියෙ ගෙදරින් 6ට.

    "අඩේ මේකෙ පෙට්‍රල් වැඩ කරන්නෑ බන් 35ක්වත්. යන්න ඉස්සෙල්ලා හදාගෙන පලයන්."
ඊයෙ එන්න හදනකොට ජිම් පප්පා කිව්වා.(අපේ ඔපීසියේ ටෙක්නිකල් ටීම් එකේ ඉන්නේ ජිම් පප්පා, කෝටු කිතයියා, බක මූන්ස් සමග අකමා බව කරුණාවෙන් සලකන්න.)

         ඔන්න ඉතින් උදේ පාන්දරම දන්න කියන ශිල්ප දාලා පෙට්‍රලුත් අඩු කරලා ගමන යන්න පටන් ගත්තා. 100CC උනත් යකා වගේ. ඔය අනිත් ඉන්දියන්  කටු වගේ නෙවෙයි. තාක්ශනේ ජපන්. බැලන්ස් එක උපරිමයි. ඉතින් දෙයියනේ කියලා මීටරේ 70 , 80  අතරේ දෝලනය වෙන්න ඇරලා සේද සලුපොටක් වැනි ජැකට්ටුව අතරින් ගලා එන සීතල සුලන් වල පහස විඳිමින් ලොක් එකක් නැති හෙල්මට්ටුවේ පටියත් පටලෝගෙන අකමා යනවා. ගෙවාගෙන ආපු දුර  අඟුරුවැල්ලට එනකොට 100ට පොඩ්ඩක් අඩුයි. අත පයේ හිරි ඇරගන්න විනාඩි 5ක් විතර ඉන්නකොට ආයෙත් බොක්ක දන්න ගත්තා. බලනකොට මටත් හොරෙන් යන්න තියෙන දුර මතක් වෙලා.

        බුලත්කොහුපිටිය ටවුන් එක පටන් ගන්නකොටම ඔන්න අතක් දික් උනා. දැම්මත් වැඩකරන්නැති හින්දා සිග්නල් නොදමාම නැවැත්තුවා. තඩි බෑග් එක බයික් එක උඩම තියලා හෙල්මට් එකවත් නොගලවා හිමින් හිමින් ගියා ගම් බට්ටා ගාවට. අලුත් කලායින් පස්සේ  කාටවත් පෙන්නපු නැති ලයිසොම එලියට අරන් පෙන්නුවා. මූ දැන් එල්ලී එල්ලී කතා කරන්න හදනවා. (බයික් එක WP හින්දද මන්දා.) හෙන්රි අයියට වගේ මටත් පේන්න බැරි ජාතියක් නිසා මාත් හිනාවක් නැතුවම අහපු දේට උත්තර දීලා යන්න තිබුණු Tea Estate එකට පාරත් අහගෙන පිටත් උනා.

          දේදුගල පාරට දැම්මත් එක්කම මෙන්න ලොකු බෝඩ් එකක් පින්තුරත් එක්ක. "නළඟන ඇල්ල දුර කි.මී.6යි" කියලා අකුරින් ගහලා.  තමන් හදාපු එකක් වගේ අයියා මලෝල සෙට් එක තමන්ගේ මුනත් තහඩු ටිකත් අලෝගෙන ඇල්ලේ පින්තුරෙකුත් දාලා. ඕකත් හිතේ තියාගෙන ඔන්න මං යනවා.

    වත්තට ඇතුල් වෙන කොටම තියෙන පාලම උඩ අංකල් කෙනෙක් මාළුන්ට පාන් කවනවා.

"අංකල් ඔෆිස් එකට යන්නේ කොයි පාරෙන්ද?"
පාරේ යන හැම ගෑන් ළමයගෙන්ම පාර ඇහුවත් උන්ව ශුවර් නැති හින්දා ආයෙත් ඇහුවා.

"බලන්න මහත්තයෝ මුන් මෙ අහින්සකයොත් මරාගෙන කනවනේ. කෑම දෙන්න හුරු කර ගත්තාම ඕක තමයි වෙන්නේ"
යන පාරත් කියපු ලොකු උන්නැහේ හිතන්නත් දෙයක් එකතු කරා.

          සුද්දගේ කාලෙන් පස්සේ තාර කඳුලක් නොදැකපු ගල් පාරේ කිලෝ මීටර් 3ක් විතර තනි කන්ද නගින්න විනාඩි 45ක් විතර ගියා. ඔය අස්සේ වට පිටාවේ තියෙන චමත්කාරය දෑහින් ඇදල අරන් හිත ඇතුලටම දා ගන්නත් අමතක කරේ නෑ. මීටර් 100ක් දුරින් තියෙන කඩේට යන්නවත් දඬු මොණරේ නැතුව බැරි අපිට බැරි වෙලාවත් අන්තිම ප්‍රධාන නගරෙත් (හුහ්.. ඒකෙත් මොන ප්‍රධානයක්ද?) පහු කරලා 6KM විතර ඇවිත් ආයෙත් හද්ද පාලු කැලයක් මැදින් 3KM විතර එන්න උනානම් දැනෙන සැප ගැන සිහි කර කර අදාළ රාජකාරිය ඉවර කරලා වත්ත ඇතුලෙම තියෙන ඇල පාරක සිරියත් නරඹලා පාරට ආවා.



"නළඟන ඇල්ල"
ඉස්සුවේ මෙතනින්

ඔන්න ආයෙත් පිස්සුව.

           කොහෙද ඉතින් සනීප කරන්නත් එපැයි. ගියා හොයාගෙන. 6යි කිව්වට හත්වෙනි කිලෝමීටර් කණුවට මීටර් 20ක් විතර මෙහායින් කැලේ වැවිච්ච ගුරු පාරක් තියෙනවා. හුහ්.. ඒ පාරේ විදුලි බලාගාරෙකුත් තියෙනවලු. ඔන්න එහෙව් පාරක් තමා මේ. 100ක්-200ක්   විතර යනකොට ලොකු ගේට්ටුවකින් පාර ඉවරයි. ආයෙත් එනකොට අඩි පාරක්. අහන්නත් කෙනෙක් නැති හින්දා ඕන රෙද්දක් කියලා වීරයා වගේ ගියා. (නොදන්නා පලාතක කැලයක් මැදින් අඩි පාරක යනගමන් මටම බැන බැන.)

හුටා.....

      මෙන්න පොඩි ගෙයකට අල්ලලා තියෙන සරසපු මඩුවකින් පාර ඉවරයි. (එතන ගෙයක් තියෙනවා දැක්කෙත් මඩුව අස්සෙන්) මඩුව ඇතුලෙ කොල්ලො සෙට් එකක් කුට්ටමක් දිග ඇරගෙන  බෝතලේකට වග කියනවා. බලනකොට මගුල් ගෙයක්. මගෙ වෙලාවට මගුල ඉවර වෙලා. (නැත්නම් කපලා එකයි.) මඩුවට අඩි 10ක් 15ක් විතර මෙහායින් බයික් එක නවත්තගෙන ඇල්ලට පාර ඇහුවා. 

"මේ තියෙන්නේ මල්ලි"

යකෝ වහලෙට උඩින් ලොකුවට පෙන්නේ ඇල්ලනේ. 

"බයික් එක ඔහොම දාල යන්න මල්ලි. මෙතනින් තමයි යන්නේ."

අඩිය මතුවෙනකොට ඇතිවෙන ගොතෙත් එක්ක යෝජනාවක්.

          නොදන්නා පලාතක්. පාලු කෑලෑවක්. නොදන්නා බීමත් තරුණයන් පිරිසක්. ඒ මදිවට කෑ ගැහුවත් ඇහෙන්නැති ඇල්ලේ සද්දෙ. අඩි පාරෙන් ගුරුපාරට එතනින් තාර පාරෙත් 2KM විතර ගියාම තමයි ගෙයක්වත් හම්බ වෙන්නේ. (මතක හැටියට කිව්වේ ඕන්. වැරදිනම් කියන්න) 

මොකක්ද තීරණේ.......



ලබ් ඩබ්..    ලබ් ඩබ්..


          ගියත් අවුලක් නෑ කියමුකෝ. ඒත් මෙහෙම සෙට් එකක් මැද බයික් එක. ගෙවන්න උනොත් පට්ට ගහපු එකකට අලුත් එකක ගාන. (ඔහොමනෙ කොම්පැණි)



ලබ් ඩබ්..    ලබ් ඩබ්..




"පස්සේ එන්නම්"
ට්රූම්.....


         ඔන්න වීරයා! ආයෙත් එනකොට කෝටු කිතයියවවත් එක්ක එන්න ඕනි කියලා හිත හිතා ඔන්න අකමා ආපහු ගමනේ යා.

         තව වතු දෙකක රාජකාරි කටයුතු නිම කරපු අකමා ශෝර්ට්කට් හොයන්න ගිහින් රබර් වතු මැදින් කිලෝමීටර් 5-6 විතර කරක් ගහලා ආයෙත් දන්නා පාරෙන්ම ආවා. දැන් කට්ටිය හූ තියන්න කට උල් කරනවා නේද? හුහ්.. මට පාර වැරදුනේ නෑ යකුනේ. පාර හරහා ලොකු කොට දාල කොන්ක්‍රීට් කරනවා. මග කිසිම බෝඩ් එකක් නෑ. ඒත් ඉතින් නගරේ පැත්තට මිසක් රබර් වත්තකට මොන බෝඩ්ද? නෙහ්. ඉතින් මුවා වෙන්නවත් තැනක් නැතුව වැස්සකටත් තෙමීගෙන ආවා.


           ආයෙත් නුවර පාරට දාගෙන අවිස්සාවේල්ලට ඇවිත් කාපට් එකේම බදුල්ල පැත්තට හැරුණා. කොච්චර වේගෙන් ආවත්, වාහන මිටි බැඳන් ඉස්සර කලත් පේන්නැති වංගු වලදී ඉස්සර කරන්නනම් මං කොහොමත් යන්නෑ. මගේනේ අත පය. ඉරි කපන්න ඉස්සරත් දෙපාරක් හිතනවා. ඔන්න ඇහැලියගොඩ පහු උනා. වැස්සකට පැය බාගයක් විතර ඉඳලා පොදේම ආවා. රත්නපුරේ පහුවෙලා තුන්වෙනි කන්ද නැග්ගා. එතන ගාමන්ට් එක ඇරලා හින්දා ට්‍රැෆික් එක. ලොරි, බවුසර්, බස් බඩගානවා. තෙමුණු සපත්තු, කමිසේ, කලිසම, ජැකට් එක ගෙදර මව මවා පෙන්නනවා. වමෙන් දකුණෙන් අස්සෙන් රිංගමින් අකමා යනවා. කන්ද මුදුනේදී වාහන පෝලිම ඒත්. මුන්ට යන්න බැරිනම් මමවත්....

          මිටියක් බැඳලා එක පාරින්ම දානකොට මාව දැකපු එකෙක් එක පාරටම කලබල උනා. අනිත් පැත්තෙන් එන උන් ගැනවත් හිතන්නැතුව පාර මැද්දේ සුදු ඉරි දෙක උඩටම පැනපු එකෙක් මහා හයියෙන් විසිල් එකකුත් ගහගෙන අත දික් කරනවා. පූසා ලස්සනට මීයා ඇල්ලුවා. කඩාගෙන යන්නත් බෑ අත දාපු විදිහට. මොනා කරන්නද. ඩබල් ඉර පටන් ගන්න තැන සිග්නල් නැතුවම නවත්තලා ටිකක් හති ඇරලා ගියා අනික් රාලහාමි ළඟට. කිරි ටොයියා වගේ තියෙන අලුත්ම අලුත් ලයිසොම අතට ගත්තා. දුන්නා. අනික්වා තියෙනවද බැලුවෙත් නෑ.


"මොකක්ද සර් වැරැද්ද" 
තෙමිලා තෙමිලා හෙම්බත් වෙලා හිටපු අකමා මේ වෙච්ච අකරතැබ්බෙන් මල පැනල හිනා පොදක්වත් නැතුවම ඇහුවා.

"අතන කහ ඉරයි සුදු ඉරයි දෙකම ඔයා කපාගෙන ආවේ"

"එතන ත්‍රීවීල් එකක් ආවේ. ඉර කපන්නැතුව ඕවර්ටේක් කලේ"
අන්තිම තුරුම්පුව.

"නෑ නෑ "අන්න අරයකා දාපු දැමිල්ල" කියාගෙනමයි මේ රාලහාමි අත දැම්මේ"

දැන් ඉතින් කියපියව්කෝ. නොකර සද්ද අකමාත් ඉන්නවා. ලොක්කත් දැන් යට ඉඳන් ලියාගෙන එනවා.

"දැන් ලිව්වේ මොකක් කියලද"
මල පැනපු වොයිස් එකෙන්ම මං තදින් ඇහුවා.

         එහෙම ඇහුවේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ හින්දා. කහ ඉර කැපීම, සුදු ඉර කැපීම, අපරක්ෂාකාරි ධාවනය, වමෙන් නොපැදවීම, සිග්නල් නොදමා ඉස්සර කිරීම, සිග්නල් නොදමා නැවත්වීම... තව කොච්චරක්ද?....


වමෙන් නොපැදවීම.

වෙලාවට ඒක විතරයි ලිව්වේ.


          වතුර පිරුණු සපත්තුව චිරිචිරි ගාද්දී අකමා පාර පැන්නේ හෝන් ඒක ගහගෙන ඩබල් ඉර කපාගෙන ආපු සැප වාහනේට යන්න ඇරලා.

--------------------------------------------------
කොච්චර බැන්නත් මේ අයත් කරන්නේ රාජකාරියනේ. අනික අපේම හොඳටනේ.

Thursday, October 11, 2012

බලපන් අර බඩ ඒකත් මගෙ වැඩ


කුලේ අඩුලු
සල්ලි නෑලු
බැඳී ආදරේ
වෙන් කරන්නට
හේතුව ඒකලු

හොඳ කුලය
යාන වාහන
මං නැග්ගා 
පෝරුවට
කරන්නට වාල්කම

නැන්දම්මගෙ රැවුම
නෑනගේ සමච්චලය
නොවුණු කල බඩ
උනා මං වඳ ගෑනි

පරම්පරා හෑල්ල 
දිග හැරෙයි නියමෙටම
පුතුගෙනුත් නොරිස්සුම
මතු උනිය පැතු ලෙසට

"නොදකින් ඒකවත් 
කරගන්න බැරි ගෑනි
බලපන් අර බඩ
ඒකත් මගෙ වැඩ"

හිරිකිතක් නැතුවමම
කියන හැටි 
මගෙ මිනිහා

ඔන්න මම 
උනා බඩ
දැන් ඉතින්
බැනපු උන්
කටවහන් හිටපියව්

පරපුරේ නාමය
ගෙනියන්න ඉදිරියට
කලා මම 
හපන් කම

දැන් ඉතින් 
නලවපන්
මගෙ පුතුව
තුරුළු කර දෝතින්ම

තාත්තගෙම කටලු
නහය ඒ වගෙමමලු
පුතාගෙ වැඩ හොඳලු
ගෑනි ගැන නෑ වගක්

කමක් නෑ නැන්දම්මෙ
ඔහොම කරපන් මටම
උඹේ පුතාටත් වඩා
කුලහීන ඒ මිනිහා
වැඩකාරයා බව
දන්නෙ මං විතරමලු